මයිලෝ ‘රෝඩ් ටු බාසිලෝනා’ පාපන්දු ශූරයෝ කින්යාවෙන්-ශූරියෝ කවිසිගමුවෙන් | දිනමිණ

මයිලෝ ‘රෝඩ් ටු බාසිලෝනා’ පාපන්දු ශූරයෝ කින්යාවෙන්-ශූරියෝ කවිසිගමුවෙන්

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ නෙස්ලේ ලංකා ආයතනයේ ‘මයිලෝ’ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධාන කළ ‘රෝඩ් ටු බාසිලෝනා’ සමස්ත ලංකා වයස අවුරුදු 12න් පහළ පාපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට කින්යාහී අල් අක්සා මහ විදුහල සමත් වූ අතර බාලිකා ශූරතාව කුරුණෑගල කවිසිගමුව මධ්‍ය මහ විදුහල සමත් විය.

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ බාලක අවසන් තරගයේදී අල් අක්සා පිල විසින් යාපනය සාන්ත හෙන්රික්ස් විදුහල පරාජයට පත් කළේය. තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිල ගෝල් 1 බැගින් රැස්කරමින් සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් දඬුවම් පහර මගින් ජයග්‍රාහකයන් තෝරා ගැනීමට සිදුවිය. එහිදී 2-0ක් ලෙස අල් අක්සා පිලට ජය හිමිවිය.

අල් අක්සා පිල අවසන් පූර්ව වටයේදී යාපනය සාන්ත ජෝන්ස් විදුහල 3-1කින් පරාජය කරමින්ද, හෙන්රික්ස් විදුහල මඩකලපුව ෂදුලියා මහ විදුහල ගෝල් 2-0කින් ද පරාජය කරමින් බාලක අවසන් තරගයට එක්වුහ.

බාලිකා අවසන් තරගයේදී කවිසිගමුව ක්‍රීඩිකාවෝ පහසු ජයක් අත්කර ගත්තේ මීගමුව විද්‍යාලංකාර මහ විදුහල 2-0කින් පරදවමිනි.

ජයග්‍රාහී කවිසිගමුව පිල අවසන් තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී කෑගල්ල පල්ලෙකණුගල මහ විදුහල 2-0කින් පරාජය කරමිනි. අවසන් පූර්ව වටයේදී පස්සර මහ විදුහලට 2-1ක ජයක් සමගින් විද්‍යාලංකාර පිල බාලිකා අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

අවසන් වටයේ තරග සඳහා බාලක හා බාලිකා කණ්ඩායම් 32 බැගින් එක්ව සිටි අතර තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් මංජුල කාරියවසම් සහ නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ මහත්වරුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ තරගාවලියේ දැක්වූ දක්ෂතා මත තෝරාගත් හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 දෙනකු වෙනුවෙන් විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වෙන අතර ඉන් තෝරා ගන්නා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට ලොව සුප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් වන යුරෝපයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ බ්‍රකා පාපන්දු පාසලේ (BRACA Academy) සිවුදින පුහුණු කඳවුරකට සහභාගි වීමට අවස්ථාව උදාවෙයි.

නව අදහස දක්වන්න