එජාප අපේක්ෂකයාගේ ජය නියතයි | දිනමිණ

එජාප අපේක්ෂකයාගේ ජය නියතයි

එළඹෙන ජනාධිපතිවරණයේ වැඩි වාසිදායක අවස්ථාව නිර්මාණය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය වටා බැවින් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය සහතික බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මහලේකම්වරයා මේ බව පැවසුවේ සිරිකොත ගමට ගෙනයන වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත්පාලන ආයතන නියෝජිතයන් සහ දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ හමුවකට එක්වෙමිනුයි.

එක්සත් ජාතික පාක්ෂිකයන් මුහුණ දෙන ගැටළු හඳුනාගනිමින් ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙමින් ක්‍රියාත්මක සිරිකොත ගමට ගෙනයන වැඩසටහන යටතේ පසුගියදා(12) බදුල්ලේ පැවැති මෙම ජනතා හමුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් ද සහභාගි වූහ.

රැස්ව සිටි පිරිස ඇමතූ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ පළාත්පාලන ආයතනවල හෝ පළාත් සභාවල බලය නොමැතිව මෙන්ම ජාතික ආණ්ඩුව තුළ ද විවිධ අභියෝග පැවතියත් මහජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට උපරිම සේවාවක් කිරීමට පසුගිය වසර තුනක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළ බවයි.

දිස්ත්‍රික් බල මණ්ඩල ප්‍රධානීන් හමුවීම, ඔවුන්ට ඇති ගැටළු සොයාබැලීම, ඔවුන්ගේ අදහස්, යෝජනා කෙරෙහි අවධානය යොමුකිරීම පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් තම වගකීමක් බැවින් මේ අයුරින් සියලු දිස්ත්‍රික් බල මණ්ඩල ප්‍රධානීන් දිස්ත්‍රික් මට්ටමින් හමුවීමට පියවර ගන්නා බවත්, අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න