නේවි සම්පත් අත්අඩංගුවට | දිනමිණ

නේවි සම්පත් අත්අඩංගුවට

ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ කොටුව ලෝටස් මාර්ගයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

2009 - 2010 වර්ෂවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම, ඔවුන් රඳවා තබාගෙන කප්පම් ලබාගැනීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබුණි


රවිරාජ් සහ තරුණයන් 11ක් ඝාතනයේ සැකකාර නේවි සම්පත් අල්ලයි

දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රවිරාජ් නඩරාජ් මහතා 2006 නොවැම්බර් 10 දාකොළඹ ඇල්විටිගල මාවතේදී ඝාතනය කිරීම සහ 2008 වර්ෂයේ දී කොළඹ දී තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන විවෘත වරෙන්තු මත කාලයක් අතුරුදන්ව සිටි නේවි සම්පත් නොහොත් නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය ඊෙය් (14) රහස් පොලිසියට අවසර ලබා දුන්නාය.

ඊයේ (14) සවස රහස් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවත් තවත් කරුණු අනාවරණය කැර ගැනිම සඳහා ඔහු රඳවා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව දන්වමින් රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම සළකා මහෙස්ත්‍රාත්වරිය දිනක් රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර ලබා දුන්නාය.

පොල්වත්ත ගාල්ලගේ අශෝක නමින් සැකකරු පෙනී සිට ඇති අතර නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු වෙස් වලාගෙන දොම්පේ ප්‍රදේශයේ පොල්වත්තක සේවය කර ඇති බවත් එක්වරක් විදේශ ගත ව ඇති බවට ද තොරතුරු අනාවරණය වේ.

රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඊයේ (14) දින ලොටස් පාරේ ගමන් කරමින් සිටිය දී අහඹු ලෙස සැකකරු නෙත ගැටි ඇති අතර සැකකරු රීලොඩ් එකක් දමා ගැනීමට අවට තිබු වෙළෙඳසලකට ගොඩ වු අවස්ථාවේ දී රහස් පොලිසිය සැකකරු පරීක්ෂා කොට අත්අඩංගුවට ගෙන ඇත.

2008 වසරේ දී කොළඹ දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන මොහු සිද්ධියට අදාළව අධිකරණය මඟින් විවෘත වරෙන්තු නිකුත් කර කාලයක් අතුරුදන්ව සිටි අයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශ කොමදොරු ඩි.කේ.පී දසනායක , සුමිත් රණසිංහ,ලක්ෂ්මන් උදයකුමාර,නලින් වික්‍රමසුරිය,ඉහළ ගෙදර ධර්මදාස ,රාජපක්ෂලාගේ කිත්සිරි ඇතුළු සැකකරුවන් අටදෙනකු රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැනට මහාධිකරණ ඇප මත මුදා හැර සිටි.

පැහැරගෙන ගිය තරුණයින් 11දෙනා සම්බන්ධ කිසිදු තොරතුරක් මේ දක්වා අනාවරණය නොවු අතර සැකකරුවන් ඝාතනය වන්න‍ට ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා එවකට සිට නාවික හමුදා නිලධාරින්ගේ විමර්ශන ආරම්භ කැර ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරිමෙන් අනතුරුව අද (15) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ,පොලිස් පරික්ෂක සුදත් පෙරේරා යන නිලධාරින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළහ.

සිරන්ජනි කුමාරි

 

නව අදහස දක්වන්න