ඒකද ප්‍රශ්නය? | දිනමිණ

ඒකද ප්‍රශ්නය?

පෙට්ටි කඩේ ළඟදි කෝච්චි මගීන් දෙතුන් දෙනෙක් එකතුවෙලා, කෝච්චි ඩ්‍රයිවර් කෙනකුට ගහලා. කළු ජෙමා කඩේ ලෑල්ලක් අස්සෙන් ඔළුව එළියට දාලා 'කවුරුත් නැද්දෝ...මෙන්න ගහගන්නවෝ' කීවා මිසක් එළියට වත් බැස්සෙ නෑ. කොහොම හරි ඩ්‍රයිවර් පසුබැහැලා යන්න ගියා. ඇත්තම කීවොත් එහෙමත් නෙවෙයි, එයාගෙ නළල තුවාල වුණා. ඒ හින්දා එතැනින් පැනලා යන්න ගියා. මං එතෙන්ට ළං වෙද්දි සුපුරුදු විදිහට වෙන්න ති‍යෙන දේ වෙලා ඉවරයි.

“ඇයි ජෙමා එළියට බැහැලා රණ්ඩුව බේරුවෙ නැත්තේ?“ මං ඇහුවා.

'පිස්සුද බණ්ඩි මහත්තයා. ඕවට පැටලිලා ගුටියක් දෙකක් වැදුණොත් මම නොවැ දුක් විඳින්නෙ. මෙතනට එන එවුන් නම් ඉතිං එයි. යයි. මං මෙතැන ඉන්න එපායැ‘ ජෙමත් තරහින් වගේ කියාගෙන කියාගෙන ගියා.

කොහොම වුණත් කෝච්චි ස්ට්‍රයික් වැඩේදි දුම්රිය මගීන්, කොළඹ කොටුවෙදිත් වෘත්තීය සමිති නායකයන් කීපදෙනෙකුට ගහල තිබ්බා. ඒකට අදාළ සමහර වීඩියෝ ටී.වී එකේ ප්‍රවෘත්තිවලත් දැක්කා. මීට කාලෙකට ඉස්සර මාධ්‍යවේදීන්ට ගහලා, 'ඒ ගැහුවෙ කෝප වෙච්චි දුම්රිය මගීන්' කියලා කියපු නායකයොත් අපට හිටියා. ඒත් මෙදා පොටේ නම් ඇත්තටම ගැහුවෙ, ඇත්තම ඇත්ත මගීන් තමයි. මගීන්ගෙ කෝපය සාධාරණයි. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා හදිසියේම මේ වගේ ස්ට්‍රයික් එකකට ගියාම දවසේ ලක්ෂ සංඛ්‍යාත දුප්පත් ජනයාගේ දෛනික සැලසුම් සම්පූර්ණයෙන්ම අර්බුදයට යනවා. විශේෂයෙන්ම අ.පො.ස(උ/පෙ) වැනි තීරණාත්මක විභාගයකට දරුවන් මුහුණදෙමින් සිටින අවස්ථාවකදී සිදුවන බලපෑම අතිශය භයානකයි. එක විෂයකට පෙනී සිට ඊළඟ විෂයට පෙනී සිටිනු සඳහා පාඩම් කිරීමට කල්වේලා ඇතිව ගෙදර යාමේ බලාපොරොත්තුවෙන් දුම්රිය ස්ථානයට කිට්ටු වෙන සිසුවෙකුට බොහෝවිට ගෙදරයාමට සිදුවන්නේ රාත්‍රියටයි. ඇතැම්විට බස් රථවල තෙරපි තෙරපී හොඳටම හෙම්බත්ව ගෙදරට ළඟා වන සිසුවෙකුට/ සිසුවියකට පසු දින විභාගයට සූදානම්වීමට තරම් සැහැල්ලු මානසිකත්වයක් තියෙන්නට බෑ. මේ ආකාරයෙන් අසරණ මගීන් හා රටේ අනාගත පරම්පරාව පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව හදිසියේ ආරම්භ කළ මේ වර්ජනය තුච්ඡයි. නින්දිතයි.

“දැනෙන්න ස්ට්‍රයික් නොකර කොහොමද ඉල්ලීම් දිනාගන්නේ?“ වෘත්තීය සමිති ක්‍රියාධරයන් අහන්නෙ එහෙමයි.

“මේවායින් පීඩාවට පත්වෙන්නෙ දුගී දුප්පතුන් මිසක් වගකිව යුතු පාලකයන් නෙවෙයි.“ අපේ මායියා වගේ නූගත් උදවිය හිතන්නෙ එහෙමයි.

ටික වෙලාවකින් පොලිස් ජීප් රථයක් ඇවිත් පෙට්ටි කඩේ ළඟ නැවැත්තුවා. ඒකෙ දෙතුන් දෙනෙක් හිටියා. එළියට බැස්සෙ දෙන්නෙක් විතරයි. එයින් එක් කෙනෙක් එස්.අයි කෙනෙක්.

“මෙතන දැන් රණ්ඩුවක් වුණාද?“ එස්.අයි මහත්තයා, ජෙමාගෙන් ඇහුවා.

“මෙත....න.... දැ...න්...?“ ජෙමා තාලෙට අදිමින් පදිමින් උඩ බිම බලනවා.

“ඔව්. මෙතන තමයි. අර කෝච්චියෙ මහත්තයෙකුට ගහලා.“

“ආහ්. මොකක්ද කතා බහක් ගියා. කවුරු කාට ගහනවද කියලා නම් මං දැක්කෙ නෑ. ටිකක් කෑ කෝ ගහන සද්දයක් ඇහුණා. ඒත් මං එළියට වත් බැස්සෙ නෑ.“ ජෙමා උත්තර දුන්නා.

“තමුසෙ මාර පොරක්නෙ අයිසෙ. මේ කඩේ ඉස්සරහ රණ්ඩුවක් යනකොට නිකමට වත් බලන්නෙ නැද්ද? එහෙම බැලුවෙ නැති හින්දම තමුසෙට කට උත්තරයක් දෙන්න වෙනවා. යමු පොලීසියට..“ එස්.අයි මහත්තයා තර්ජන ස්වරයෙන් කීවා.

“ඔය ඇත්තමද සර්?“ ඒ සැරේ ජෙමා ටිකක් බයාදු විදිහට ඇහුවා.

“නැතුව ඉතිං. තමුසෙලා එක්ක පෙට්ටි කඩ ළඟ විහිළු කර කර ඉන්න පොලීසියේ අපට වෙන වැඩ නැද්ද? නඟිනවා ජීප් එකට“ සිවිල් පිට හිටපු අනෙක් කෙනා සද්දය දැම්මා.

මං ‍ජෙමාගෙ මූණ බැලුවා. ඒක තව ටිකක් කළු ගැහිලා. ජෙමා කඩේ ලෑලි කවුළුව වහලා දැම්මා. මං දිහා බැලුවෙත් තරහින් වගේ. ඒත් මං මොනව කරන්නද?

“ජෙමා බය වෙන්ට කාරි නෑ. ගිහින් දැකපු දේ විතරක් කියලා කට උත්තරයක් දීලා වරෙන්. ඉක්මනට එන්න පුළුවන්“ මං, මිනිහගෙ හිත හැදෙන්නත් එක්ක කීවා.

'ක්ෂණික කෝපය' කියන්නේ උසාවියෙදි ඒක එහෙමයි කියලා, ඔප්පු කළොත් මරණ චෝදනාවකින් වුණත් නිදහස් වෙන්න පුළුවන් කියලයි බොහෝ දෙනා කියන්නෙ. ඒකෙ ඇත්ත නැත්ත මං දන්නෙ නැති වුණත් ගම්මුන් එහෙම දෙයක් විශ්වාස කරනවා. ඒත් ඉතිං ඕක තේරුම් බේරුම් කරගන්නෙ කොහොමද? එතකොට වෙන්නෙත් අලකලංචියක්ම තමයි.

“කෝච්චි ඩ්‍රයිවර්ස්ලා ක්ෂණික කෝපය නිසා වර්ජනයකට යනවා. ජනයා, ක්ෂණික කෝපය නිසා කෝච්චි ඩ්‍රයිවර්ස්ලට ගහනවා. කෝප වූ ජනයා මහ පාරට පැනලා උද්ඝෝෂණය කරන නිසා බස් මගීන් අපහසුතාවට පත්වී, එහෙමත් නැත්නම් ක්ෂණික කෝපයට පත්වී, කෝච්චි මගීන්ට ගහනවා. ඉතිං‍ මේක හෙණ ගිනි විජ්ජුම්බරයක්. වැටුප් විෂමතා ප්‍රශ්නය වගේමයි.

“මොනවගේ විෂමතාවක්ද අනේ කෝච්චි ක්‍ෂේත්‍රයේ තියෙන්නේ?“ ජෙමා, පොලීසියට ගියාම මං ගෙදර ආවා. මායියට ඒ විස්තරේ කීවම, ජෙමා ගැන වචනයක් වත් අහන්නෙ නැතුව මායියා එහෙම අහනවා.

“විෂමතාව කියන්නෙ 'වෙනස්කම්' නොවැ. කෝච්චි කම්කරුවෙකුට ගෙවන ගාණයි, කෝච්චි ඩ්‍රයිවර් කෙනෙකුට ගෙවන ගාණයි වෙනස්“ මං කීවා.

“ඉතිං වෙනස් වෙන්න එපායැ. කම්කරුවගෙ වැඩේ කෝච්චි ඩ්‍රයිවර්ස්ලට කරන්න බෑ. කෝච්චි ඩ්‍රයිවර්ස්ල කරන දේ කම්කරුවන්ට කරන්න බෑ. ඉතිං වැටුප් ශ්‍රේණි අතර විෂමතාව කියන්නේ අහම්බයක් නෙවෙයි.“ මායියා කියනවා.

“එතකොට ඒකද ප්‍රශ්නය?“ එයා මගෙන් අහනවා.

“ඈහ්. මොකක්ද ප්‍රශ්නය?“ මං මගෙන් අහනවා.

අපි උත්තරේ දන්නෙ නෑ. ඒත් සෑහෙන වෙලාවක් යනකල් ප්‍රශ්න අහ අහ හිටියා.

බණ්ඩි රාල

නව අදහස දක්වන්න