හැමෝටම දැනෙන්න ශේක්ස්පියර් නාට්‍ය කරන එක අභියෝගයක් | දිනමිණ

හැමෝටම දැනෙන්න ශේක්ස්පියර් නාට්‍ය කරන එක අභියෝගයක්

සම්පත් පෙරේරා

l ඔබගේ අධ්‍යක්ෂයට ලක්වන ‘හැම්ලට්’ අනෙක් ‘හැම්ලට්’ වේදිකා නාට්‍ය නිෂ්පාදනවලින් වෙනස් වන්නේ කෙසේ ද?

එසේ වෙනස් වීමට ප්‍රධාන හේතුව වන්නේ මේ ‘හැම්ලට්’ නිෂ්පාදනය කිරීම සඳහා මා යොදාගත් නිෂ්පාදන මිදිලියයි. එය ක්ෂේත්‍ර විශේෂයක්. එය හඳුන්වන්නේ සයිට් පැසිපික් නමින්. ප්‍රොසීනියම් වේදිකාවේදී කෙරෙන සාම්ප්‍රදායික රංග අවකාශවලින් ප්‍රේක්ෂකයා හෙම්බත් වීලයි මේ වනවිට සිටින්නේ. ඔවුන් පමණක් නොවෙයි, අධ්‍යක්ෂවරයකු විදියට එහි කටයුතු කිරීමෙන් මාත් සිටින්නේ හෙම්බත්වයි. ඉන් ඈත්වීමටයි මට වුවමනා වුණේ. එහිදි ප්‍රේක්ෂකයා වෙතට රඟහල රැගෙන යෑමේ මාධ්‍යයක් ලෙස ‘හැම්ලට්’ නිර්මාණය කිරීමට මා කල්පනා කළා.

l මේ නිර්මාණය ඔබ වේදිකා ගත කිරීමට තෝරා ගන්නේ වෙනස් ම ස්ථානයක නේද?

ප්‍රේක්ෂකයාට ඒ වෙනස් අත්දැකීම ලබාදීමට සඳහා අප තෝරා ගන්නේ සව්සිරිපාය පරිශ්‍රයයි. බ්ලෝබ් රඟහලට සමාන වූ ගෘහ නිර්මාණ ශිල්පයක් සව්සිරිපාය පරිශ්‍රයේ තිබෙන බව මා දුටුවේ එහි පැමිණි කාලයේදියි. එහි තිබුණු ගොඩනැගිල්ලේ ආකෘතියට ගැළපෙන අයුරින් කළ යුතු නිර්මාණයක් විදියට මා සිතුවේ ශේක්ස්පියර්ගේ නිර්මාණයක්. ඒ කියන්නේ ‘හැම්ලට්’. එය වේදිකා ගත කිරීමට අවශ්‍ය මහල් තුනකින් යුතු ගොඩනැගිල්ල වගේ ම පහළ තිබෙන්නා වූ පහළමාලය අපූරු පිහිටීමක් ලෙසයි මා දුටුවේ. ඒ පිහිටීමට ගැළපෙන අයුරිනුයි හැම්ලට් නිර්මාණය වුණේ. ඒ අනුව එහි පිහිටි ගොඩනැගිල්ලට උචිත අයුරින් හැම්ලට් පිටපත වෙනස් කිරීමට භාජනය කරමිනුයි ‘හැම්ලට්’ නිෂ්පාදනය වුණේ. මේ නිසා සුපුරුදු ලෙස ප්‍රේක්ෂකයා පැමිණෙන්නේ සාම්ප්‍රදායික රඟහලකට නොවෙයි. ඒ වේදිකාවේ තුන් පැත්තකින් ඉඳගෙන නාට්‍යය නැරැඹිය හැකි වේදිකාවකටයි. ප්‍රේක්ෂකයාට සජීව ප්‍රේක්ෂාගාරයක අත්දැකීමක් ලැබේවි ය යන බලාපොරොත්තුවෙනුයි අප සිටින්නේ.

l ශේක්ස්පියර්ගේ හැම්ලට් වැනි නිර්මාණයක් වේදිකා ගත කිරීමට තෝරා ගැනීමට ඔබට බලපෑවේ ඒ සඳහා තිබෙන ගොඩනැගිලිවල පිහිටීම පමණක් ද?

‘හැම්ලට්’ අධ්‍යක්ෂණය කිරීමේදී අධ්‍යක්ෂවරයා ලෙස මට බලපෑම් කළ පොදු වූ කාරණා මෙන්ම පෞද්ගලික වූ කාරණාත් තිබෙනවා. ඒ අනුව ඊට පොදු වූ කාරණා මා පළමුව සඳහන් කරන්නම්. එහිදි ‘හැම්ලට්’ නිර්මාණය වන්නේ ටවර් නාට්‍ය පාසලේ අධ්‍යයන කාර්යයක් විදියටයි. අපේ රටේ විවිධ පළාත්වලින් පැමිණි ශිෂ්‍ය - ශිෂ්‍යවන් පිරිසකුයි මෙහි සිටින්නේ. ඔවුන්ට වැඩ කළ හැකි විභවයක් සහිත පිටපතකුයි අප තෝරාගත යුත්තේ. ඒ පිටපතේ විභවයේ තිබුණු පොහොසත් බවත්, වැඩබිමක් ලෙස ඔවුන්ට එය භාවිත කළ හැකිවීමත් කියන කාරණා මෙවැනි පිටපතක් තෝරා ගැනීමේදී අප උත්සුක වුණා. එපමණත් නොවෙයි බොහෝ අයට අවස්ථා උදා කළ හැකි පිටපතක් ලෙසයි ‘හැම්ලට්’ පිටපත මා දුටුවේ. ඒ වගේ ම පසුගිය කාලයේ උදා වුණේ ශේක්ස්පියර්ගේ හාරසීය වැනි සංවත්සරයයි. එහිදියි අපේ නාට්‍ය කලාවට ශේක්ස්පියර්ගේ දායකත්වයක් සිදු විය යුතුයි යන කතාබහකුත් නිර්මාණය වුණා. ඒ අනුවත් ‘හැම්ලට්’ නිෂ්පාදනයක් විදියට වේදිකාගත කිරීමට අවස්ථාව සැලසුණා. මේ විදියට හුදු කාරණා පෙළ ගැසී තිබෙද්දී හැම්ලට් නාට්‍යයක් ලෙස වේදිකා ගත කිරීමට බලපෑ පෞද්ගලික කාරණයක් ද තිබෙනවා. ඒ අධ්‍යක්ෂවරයකුට නිර්මාණවේශය සැපයීමට තරම් හැම්ලට්වල තිබෙන විශේෂත්වයයි. අපූර්වත්වයයි. අප මේ කතාබහ කරන මොහොතේත් ලෝකයේ කොහේ හෝ තැනක හැම්ලට් රඟ දැක්වෙනවා. එහෙමත් නැතිනම් හැම්ලට් ගැන කතාබහ වනවා විය හැකියි. ඒ තරමටම මේ කෘතිය ජනප්‍රසාදයට පත්වුණු කෘතියක්.

විශිෂ්ට කෘතියක් ලෙස විචාරකයක්ගේ විචාරයට ලක්වුණු කෘතියක්. එවැනි කෘතියක් වේදිකා නාට්‍යයක් ලෙස නිෂ්පාදනය වීම ම වඩාත් වැදගත් බවයි සිතුණේ.

l මේ සියලු කාරණාවලට අමතරව හැම්ලට් නිර්මාණය කිරීමේදී ඔබට බලපෑ පෞද්ගලික කාරණයකුත් තිබෙනවා. එය කුමක් ද?

මගේ නාට්‍ය ජීවිතයේ සංදිස්ථානයක් ලෙස සැලකෙන්නේ ප්‍රියංකර රත්නායකගේ ‘ඊඩිපස්‘ වේදිකා නාට්‍යයේ ඊඩිපස් විදියට රඟපෑමයි. ඊට පසුව රාජ්‍ය නාට්‍ය උලෙළේදී මා ඇගයීමට පාත්‍ර වන්නේ ‘මුහුදු ලිහිණියා‘ වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන්. ඒ වගේ ම රංගන පාසලේදී යළිත් වතාවක් ‘මුහුදු ලිහිණියා‘ නිෂ්පාදනය කිරීමට මට අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා ‘ඊඩිපස්‘, ‘මුහුදු ලිහිණියා‘ සහ ‘හැම්ලට්’ කියන්නේ එකිනෙකට බැඳුණු තේමා සහිත නාට්‍යයයි. නාට්‍ය ශිල්පියකු විදියට මේ නිර්මාණ තුනක් සමඟ ම කටයුතු කිරීමට මට වුවමනා වුණා. ඒ අදහසත්, පොදුවේ ඒ නාට්‍යයේ තිබුණු විභවයත් කියන කාරණා දෙක ම හැම්ලට් වේදිකා ගත කිරීමට මූලික ලෙස ම බලපෑවා.

l හැම්ලට් වේදිකා නාට්‍යය අද වනවිට අපේ රටට බෙහෙවින් උචිත නිර්මාණයක් ලෙසත් හැඟෙනවා ද?

‘හැම්ලට්’ වේදිකා නාට්‍යය හරහා කතාබහට ලක්වන්නේ අප ජීවත් වන සමාජයේ වෙසෙන මනුෂ්‍යන්ගේ ස්වභාවයයි. මනුෂයයන් අතර තිබෙන කුමන්ත්‍රණ, එකිනෙකා කොටා ගැනීම්, කේළම් කීම්, සැඟව සිට අසාගෙන සිටීම, ඝාතන ආදී බොහෝ දේවල් ‘හැම්ලට්’ හරහා කතාබහට ලක්වනවා. ඒවා මේ වේදිකා නාට්‍යය හරහා හෙළිවන එක් පැතිකඩක් පමණයි. හැම්ලට් පරිවර්තනය කරන්නේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහයි. ඔහුගේ පරිවර්තනය හරහා අප උත්සාහ කළ යම් කාරණයක් අන්තර්ගතයි. ඒ ශේක්ස්පියර් කියන විට පැවසෙන එක් කාරණයක් නම් පොදු ප්‍රේක්ෂකයාට ළඟා විය නොහැකි, ඉංග්‍රීසි පමණක් උගත්, සම්භාව්‍යය සාහිත්‍ය පමණක් උගත් ප්‍රේක්ෂකවයන්ට පමණක් රසවිඳිය හැකි නිර්මාණකුරුවකු ය යන්නයි. එය හරියට මතුමහලක තිබෙන ආහාරයක් වෙතට සාමාන්‍ය මනුෂ්‍යයකුට ළඟා විය නොහැකි ය යන කාරණය වගෙයි. මෙතෙක් පැවැතුණු එවැනි අදහස් වෙනස් කරමින් ශේක්ස්පියර්ව, ඔහුගේ නිර්මාණ පොදු ප්‍රේක්ෂකයාට සමීප කිරීමටත්, ඔවුන්ටත් රසවිඳිය හැකි අයුරිනුයි නිර්මාණය වුණේ. ඒ හරහා අපට වුවමනා වුණේ ශේක්ස්පියර්ව පොදු ප්‍රේක්ෂකයාට සමීප කිරීමටයි. මේ වනවිට ඒ කාරණය ජය අරගෙන තිබෙන බවයි අපට හැඟෙන්නේ.

l එවැනි අදහසක් පළ වුණත් ශේක්ස්පියර්ගේ නිර්මාණ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට රසවිදීමට බාධාවක් ඇති බවත් අපට හැඟෙන්නේ නැහැ

සමාජයේ මෙවැනි විවිධ මත ගොඩනැඟී තිබුණත්, ඔහුගේ කෘති හා ප්‍රේක්ෂගාරය දෙස විමසිල්ලෙන් බලන විට අපට පෙනෙන කාරණයක් නම්, ශේක්ස්පියර් නාට්‍ය ලියා තිබෙන්නේ සෑම කෙනෙකුට ම බවයි. අපගේ අධ්‍යක්ෂණ කාර්යයේදී මා උත්සාහ ගන්නේ මෙවැනි දුරස් බවක් තිබෙනවා නම් එය ජය ගැනීමටයි. අපේ රටේ පමණක් නොවෙයි ලෝකයේ ම ශේක්ස්පියර් ව හඳුන්වන්නේ සම්භාව්‍ය රචකයකු විදියටයි. සම්භාව්‍ය වීමේ යතුර වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. ඒ දැනුම, කියැවීම කළ හැක්කේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. ඒ භාෂාව ගැන විමසීමේදී පෙනෙන්නේ එය අපේ රටේ කොටසකට පමණක් සීමා වී ඇති බවකුයි . ඒ නිසා සිදු වී තිබෙන්නේ මේ කෘති ඉංග්‍රීසි නොදන්න පරම්පරාව අතරට අහිමිවී යෑමයි. එහෙත් නාට්‍යකරුවන් විදියට අප කළ යුත්තේ ඉංග්‍රීසි නොදත්, සාහිත්‍ය දත්, නාට්‍ය අභිලාෂී ප්‍රේක්ෂකයන් වෙතට දැනෙන ආකාරයෙන් ශේක්ස්පියර්ව රැගෙන යෑමයි.

l ‘හැම්ලට්’ වේදිකා නාට්‍යයේ අනෙක් සියලු ම අනුසාංගික අංශ සඳහා සහය වන්නේ ටවර් රංග කලා පාසලේ ළමයින් ද?

අධ්‍යක්ෂණය, රංගාලෝකය, රංගවස්ත්‍ර හැරුණු විට අනෙක් සියලු ම දේවල් සිදුකරන්නේ රංග කලා පාසලේ ළමයින් විසින්. එහිදි මට පහසුව සැලසුණේ ඔවුන් පාසලේදී ශේක්ස්පියර් පිළිබඳ ව ආචාර්ය, මහාචාර්යවරුන් යටතේ හදාරා තිබීමයි. ඒ වගේ ම ඔවුන් ගම්දනව්වල සිට මෙහි පැමිණෙන්නේ ම නාට්‍ය කිරීමේ, ඉගෙන ගැනීමේ අභිලාෂයෙන්. උණෙන්. ඒ උණ මේ නිර්මාණය කිරීමේදී මට ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබුණා. නාට්‍ය පාසල අවට පරිසරය නාට්‍යය පුහුණු වීම් සඳහා සුදුසු නොවුණත් මුහුදු වෙරළට හෝ දියතට පිවිසෙමින් ශ්වසන අභ්‍යාස, ශරීර අභ්‍යාස කිරීමට අපට හැකි වුණා. මොකද ‘හැම්ලට්’ කියන්නේ කඩු සටන්, කරණම්, පිනුම් ආදී බොහෝ දේ ඇතුළත් නිර්මාණයක්. එයට අවශ්‍ය වූ ශක්තිය රඳවා ගැනීමට නම් අපට සිදු වුණා විවිධ අභ්‍යාසවල නිරත වීමට. අප ඒ කටයුතු කෙලෙස හෝ සිදු කළා. ඒ සඳහා ළමයින්ගෙන් ලැබුණු සහයෝගයත් මේ අවස්ථාවේදී මා සිහිපත් කළ යුතුයි. එය අපගේ රංග කාර්යය පහසු කළා. විශේෂයෙන්ම කිවයුතු වන්නේ රංගාලෝකය නිර්මාණයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ අජිත් කුමාර මහතා හා අපේ ආදි ශිෂ්‍යයකු වන දිනේෂ් චතුරංගත් යන දෙදෙනා බොහෝ කැපවීමෙන් කටයුතු කළ බවයි. ඒ වගේ ම රංගවස්ත්‍ර නිර්මාණයෙන් ජොජෝ ද දැඩි කැපවීමක් කළා.

l එළිමහන් වේදිකාවක වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමේදී රංගාලෝකය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි

මෙහිදි සාම්ප්‍රදායික ප්‍රොසීනියම් වේදිකාවට නොවෙයි රංගාලෝකය සැපයිය යුත්තේ. මේ නිර්මාණයේ සමහර අවස්ථාවල ප්‍රේක්ෂකයා හමුවට අවතාර එනවා. මේ සියලු කටයුතුවලදි අප කරන ලද්දේ කතාව ගලාගෙන යන ආකාරයට කතාවේ යම් යම් වෙනස්කම් කිරීමයි. එය යම් අත්හදා බැලීමක් ලෙසයි අප භාවිත කළේ. ඒ අදහස සාර්ථක වූ බවයි අපට හැඟුණේ. නාට්‍යය අවසානයේ ඔවුන් පැවසූ සාකච්ඡාවෙන් ඒ අදහස හෙළි වුණා.

තිලානි ශානිකා විතානාච්චි


අදහස් 1ක් ඇත

Should be correct as a Globe. Thanks Dinamina Rasamanjari and Thilani..!

පිටු

නව අදහස දක්වන්න

Or log in with...