වැලිකඩ හෝටලය! | දිනමිණ

වැලිකඩ හෝටලය!

අපේ රටේ හිරගෙවල්වල සැබෑ තත්ත්වය හෙළිදරව් වන්නට පටන්ගත්තේ මෑතක සිට ය. එම හෙළිදරව්වලට අනුව ඇතැම් සිරකරුවන් කල්දේරම් බත කන්නේ නැත. ඔවුන්ට සුපිරි කෑම පිටින් ලැබේ. සමහර සිරකරුවන්ට ඇති ජාත්‍යන්තර සබඳතා දෙස බලන විට විදේශ අමාත්‍යාංශයට එබඳු ජාලයක් නැතැ’යි සිතන්නට පුළුවන. හිරකාරයෝ එහි සිට රටේ මත්කුඩු ජාවාරම මෙහෙයවති. සමහරු මිනිස් ඝාතන සැලැසුම් කරති. කුලියට මිනී මරවති. ඇතැම් සිරකාරයන් ඉඳහිට හෝටලයකට ගොස් “ෆන්” එකක් හෙවත් ජොලියක් ලබාගන්නා බව ද කියති. මේ අනුසාරයෙන් බලන විට අපේ හිරගෙවල් සුපිරි හෝටල් යැයි සිතන්නට පුළුවන.

ඩිලන්ත මාලගමුව යනු ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙන දුන් තවම ලෝක මෝටර් රථ ධාවන තරගවලඉදිරියෙන් සිටින සුපිරි රිය ධාවකයෙකි. ඔහු වැනි අය රටට සම්පතකි. ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීම සඳහා හිර ගෙදරට කොන්ත්‍රාත්තුවක් ලැබී ඇතැ’යි දැන් හෙළිදරව් වී ඇත. ප්‍රාදේශීය දේශපාලයකු මීට මැදිහත් වී ඇති බව හෙළිදරව් වී ඇති අතර ඉඩම් ආරවුලක් ඊට හේතු වී ඇති බව ද කියැවේ. හිර ගෙදර සිට මිනිස් ඝාතන සැලැසුම් කරන ආකාරය පිළිබඳ යම් වැටහීමක් මේ සිද්ධිය ඔස්සේ ලබාගත හැකි ය. කොයි ආකාරයෙන් බැලුව ද හිර ගෙදර යනු හොඳ තැනක් නොවේ. පසුගිය කාලය තුළ එය වඩාත් නරක අතට හැරී ඇතැයි කිව හැකි ය.

ජන මාධ්‍ය ඊයේ වාර්තාකර තිබු ආකාරයට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෝ පිරිසක් එහි වහලය මතට නැඟී උද්ඝෝෂණයක නිරත ව සිටිති. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ ‘අපේ අම්ම අපට දියවු!‍’ යන්න ය. මෙහි කියන අම්මා යනු කාන්තා රැඳවියන් භාරව ක්‍රියා කරන නිලධාරිනිය යි. විශේෂ හේතු සමූහයක් මත එම නිලධාරිනිය වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇත. එය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ තීරණයකි. සිරකාරයෝ ඊට එරෙහි ව සටන් කරති. මේ සිද්ධියෙන් පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ හිර ගෙවල්වල නිලධාරී පැළැන්තිය හා හිරකාරයන් අතර පවත්නා සම්බන්ධය යි. හිරකාරයන් සියලු ජාවාරම් කරනුයේ ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සහයෝගය මත ය.

සමහර බන්ධනාගාර නිලධරයකුගේ දෛනික කොමිස් මුදල රුපියල් විසිපන් දහස ඉක්මවන බව හෙළිදරව් වී තිබේ. හිරගෙවල්වල නිලධාරීන් හා සිරකරුවන් එකමුතුව ජාවාරම්වල යෙදී සිටින බව මෙයින් පැහැදිලි වේ. සිරකරුවන් හෝටල්වලට ගොස් විනෝද වන්නේ කෙසේ ද? සුපිරි තාක්ෂණය සහිත ජංගම දුරකථන භාවිත කරන්නේ කෙසේද? කල්දේරම් බත වීසි කොට සුපිරි කෑම - බීම ලබා ගන්නේ කෙසේ ද? මේවාට බන්ධනාගාර ඇතැම් නිලධාරීන්ගේ සහයෝගය තිබිය යුතුය. ඒ පිළිබඳ සැකයක් නැත. ඇතැැම් බන්ධනාගාර නිලධාරීන් මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස මේ තත්ත්වය පවත්වාගෙන යන බව පැහැදිලි ය.

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධතාවක නිරත වූ රැඳවියන් ඊට පෙර එහි නිලධාරිනියන් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවද වාර්තාවී ඇත. එම ගැටුමේදී දෙපාර්ශ්වයට ම තුවාල සිදු වී ඇත. රැඳවියන්ගේ බලය ද මෙයින් තහවුරු වෙයි. නිලධාරිනියන්ට පහර දී එළියට පැන ගස් දිගේ බඩ ගා වහලය මතට නඟින්නට තරම් සංවිධාන ශක්තියක් හා ජවයක් රැඳවියන්ට තිබී ඇත. ඇතැම් නිලධාරීන්ගේ සහාය මත රැඳවියන් සංවිධාන වී ඇති බවක් ද පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ උත්සාහය වන්නේ වැලිකඩ බන්ධනාගාරය තමන්ගේ රුචි - අරුචිකම් අනුව පාලනය කිරීම යැයි සිතන්නට පුළුවන. එයට ඉඩ දී කරබාගෙන සිටිය යුතු ද?

සිරකරුවන් ද මනුෂ්‍යයන් බව ලෝකය පිළිගනිති.ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගනී. එම සංවිධානය ඒ ගැන සොයා බලන බව ද සත්‍යයෙකි. එහෙත් හිරගෙවල් පාලනය කිරීමට හෝ නීතිය වෙනස් කිරීමට හෝ අයිතියක් සිරකාරයාට නැත. සිරකාරයන්ගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් අපේ රටේ තිබේ. එය සිරකරුවන් සුරැකීමේ සංවිධානය ලෙස හඳුන්වයි. මේ සංවිධානය ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සංදේශයක් භාර දී තිබේ. එහි සඳහන්ව ඇත්තේ සිරකරුවන්ට සිදුවන වධ හිංසා ගැන බව ද සඳහන් ය. මෙයින් පෙනී යන්නේ බන්ධනාගාරවල ඇතිවන සිද්ධි හුදෙකලා ඒවා නො වන බව ය. සංවිධානාත්මක පිරිසක් මේවා පසුපස සිටිති.

2012 දී වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ මෙබඳු ම සිද්ධියක් නිසා සමූහ ඝාතනයක් සිදු විය. එය මානව හිමිකම් ක්ෂේත්‍රයේ කතාබහට ලක්වූ ප්‍රධාන සිද්ධියක් ද විය. කෙනකු එවැන්නක් අපේක්ෂාවෙන් මෙබඳු සිද්ධියක් සැලැසුම් කරන්නට ඇතැ’යි සිතන්නට පුළුවන

එහෙත් අද තත්ත්වය වෙනස් ය. සිරකරුවන් මරා දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට නැත. එහෙත් මෙය පාලනය කළ යුතුය. හිරගෙවල් හිරගෙවල් ලෙස ම පැවැතිය යුතුය. රැ‍ඳෙවියන් ඕනෑවටත් වඩා කුල්මත් වී පිස්සු නටන බවක් ද පෙනෙන්නට තිබේ. අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය කියා ඇත්තේ වහලය මත නැඟුණ ද අයුක්ති සහගත ඉල්ලීම් කිසිවක් නො ලැබෙන බවය.

රැඳවියන්ගේ ඉල්ලීම් එක අතෙකින් පුදුම සහගත ය. තව අතෙකින් හාස්‍යජනක ය. ප්‍රධාන ඉල්ලීම වන්නේ කාන්තා රැඳවියන් භාර බන්ධනාගාර නිලධාරිනියගේ මාරු කිරීම අවලංගු කිරීම ය. තවත් ඉල්ලීමක් වන්නේ බන්ධනාගාරවල නිලධාරිනියන්ට ස්ථාන මාරු ලබා දීම වහාම නවත්වනු යන්න ය. එබඳු ඉල්ලීමක් කිරීමේ අයිතියක් සිරකාරයන්ට නැත. සිරකාරයන් බන්ධනාගාරවල පාලනයට අත ගසන්නේ නම්‍; එතැන හිර ගෙදරක් තිබිය නො හැකි ය. සමහර රටවල්වල හිර ගෙදරක් තිබිය ‍ෙනා හැකිය. සමහර රටවලවල හිර ගෙවල්වලදී කට වරද්දා ගතහොත් කස පහර ලැබේ. අපේ හිරගෙවල් තුළ එබඳු දඬුවම් නැත. එබැවින් බන්ධනාගාර රැඳවියන්ගේ විනය පිරිහී ඇත.

බන්ධනාගාර හා එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ නිසා; හිරගෙදර ජාවාරම්කරුවන්ට ද, ඊට සහයෝගය දෙන නිලධාරීන්ට ද පහර වැදී තිබේ. අද අප අත්දකින්නේ එහි ප්‍රතිඵල යැයි කියන්නට පුළුවන. මේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත්; හිරගෙවල් හෝටල් නො වනු ඇත.

නව අදහස දක්වන්න