ජපන්නු කොළඹට බෝම්බ දැමූ වසරේදී ඇරැඹුණු ඓතිහාසික ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය | දිනමිණ

ජපන්නු කොළඹට බෝම්බ දැමූ වසරේදී ඇරැඹුණු ඓතිහාසික ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය

ෆවුස් මොහොමඩ්

වසර 1942දී ජපන්නු කොළඹට බෝම්බ දමද්දී ඉන්දීය සාගරයේ නැංගූරම්ලා තිබූ බ්‍රිතාන්‍යය, අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්වික රටවල නෞකාවල අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ බ්‍රිතාන්‍ය ජාතික අද්මිරාල් ජෙෆ්රි ලේට්න්ය. ඒකාබද්ධ නාවික හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ අද්මිරාල් ලේට්න් සිය මෙහෙයුම් කටයුතු සිදුකළේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමිනි.

දෙවැනි ලෝක මහා යුද්ධය ගැන කතා කරද්දි මේ සිදුවීම යළි යළිත් කතාබහට ලක්වුවත් ඊයේ රාජකීය විදුහලේ ‘රෝයල් මාස් අරිනා‘ බොක්සිං වළල්ලේදි ආරම්භ වූ 77 වැනි කාන්තා හා පිරිමි ලේට්න් කුසලාන බොක්සිං තරගාවලියට අද්මිරාල් ලේට්න්ගේ නම ඈඳුණේ කෙලෙසදැයි කිසිවකු කතා නොකරන්නේ ඒ ගැන දන්නා පිරිස අතලොස්සක් වන බැවිනි.

මෙරට බොක්සිං ඉතිහාසඥයකු ලෙස ප්‍රකට පාසල් බොක්සිං සංගමයේ සහ ආධුනික බොක්සිං සංගමයේ හිටපු කීර්තිමත් නිලධාරියකු වන ඩොනල්ඩ් මුණසිංහ මහතා කියන පරිදි ලේට්න් කුසලාන බොක්සිං තරග ඉතිහාසය ජපන්නු කොළඹට බෝම්බ දැමූ සමය දක්වා දිවයන්නකි.

1918දී එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදි රටක් ලෙස පැවැති ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව ආරම්භ වූ අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ඊට ක්‍රීඩකයන් සහභාගි වුහ. පසුව බන්ධනාගාර, පොලිසිය, දුම්රිය දෙපාර්තමේන්තුව කේන්ද්‍ර කරගත් බොක්සිං ක්‍රීඩා සමාජවලටත් සහභාගිවීමට 1927දී ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය ආරම්භ කෙරිණි.

1942දී අද්මිරාල් ලේට්න්ගේ නමින් බොක්සිං තරගාවලිය ආරම්භ වූයේ ඔහු අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ නෞකාවල හමුදා භටයන්ටත් සහභාගිවීමේ අවස්ථාව සලසා දෙමිනි. පළමුවරට පැවැති එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලේට්න් කුසලානය දිනාගත්තේ බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ එල්.හැරිසන්ය. නමුත් ඊළඟ වසරේ පැවැති තරගාවලියේ දි පළමුවතාවට ශ්‍රී ලංකාවට එම ගෞරවය ගෙනදීමට එවකට රෝයල් සිලෝන් වොලන්ටියර් නේවි හමුදාවේ කේ.එඩ්වින් සමත්විය.

එදා මෙදාතුර පැවැති තරගාවලි 76කදි විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රිඩිකාවන් රැසක් දායද කිරීමට සමත්වූ ලේට්න් කුසලාන බොක්සිං තරගාවලියේ ඊයේ ආරම්භ කළ 75 වැනි තරගාවලියට ක්‍රීඩකයන් 102ක් සහ ක්‍රීඩිකාවෝ 36ක් එක්වී සිටිති.

ඒ අතර නමගිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද රැසක් වෙති. මෙරට කාන්තා බොක්සිං වළල්ලේ අසහාය ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු සමග කේෂාණී හංසිකා සහ ක්‍රිෂ්මි ධර්මතිලකත් තරගාවලියට එක්වී සිටින්නේ එළැඹෙන ආසියා ක්‍රීඩා උළෙලට පෙර තම තමන්ගේ දස්කම් මුවහත් කරගැනීමේ අභිප්‍රායෙනි.

මීට අමතරව ආධුනික බොක්සිං තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් සමග අන්තර්මැදි තරගාවලිය, ස්ටබ්ස් පළිහ, ජාතික කනිෂ්ඨ තරගාවලියේ ශූරයන්ටත් මෙවර තරගාවලිය විවෘත වී තිබේ. කෙසේවුවත් ශ්‍රී ලංකා බොක්සිං සංගමය මෙහෙයවන මේ තරගාවලියට සහභාගි වන්නේ අවුරුදු 19ත්, 40ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණි.

පසුගිය වසරේ ලේට්න් කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෙල බොක්සිං ක්‍රීඩා සමාජයේ තිවංක රණසිංහ සම්මාන දිනූ අතර යුනිචෙලා බොක්සිං සමාජයේ ක්‍රීඩා සමාජයේ ක්‍රිෂ්මි ධර්මතිලක දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවූවාය. ආසියා ක්‍රීඩා උළෙලට සූදානම් වන බැවින් තිවංක සමග යුද හමුදාවේ ඉෂාන් බණ්ඩාරත්, ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දිනිඳු සපරමාදුත් මෙවර තරගාවලියට සහභාගි වන්නේ නැත.

ඓතිහාසික අද්මිරාල් ජෙෆ්රි ලේට්න් බොක්සිං කුසලානයට හිමිකම් කියන තවත් ක්‍රීඩකයකු දින 5ක් පුරාවට පැවැත්වෙන මේ තරගාවලියෙන් බිහිවනු ඇත.

 

 

නව අදහස දක්වන්න