ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම අද ඉන්දුනීසියාවට | දිනමිණ

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම අද ඉන්දුනීසියාවට

නිරෝෂාන් ප්‍රියංකර

ඉන්දුනීසියාවේ ජාකර්තා හිදී මේ 18 වැනිදා ආරම්භ වන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන ජාතික ටයිකොන්ඩෝ පිල අද (15) ඉන්දුනීසියාව බලා පිටත්ව යයි.

ක්‍රීඩකයන් තිදෙනකුගෙන් සහ ක්‍රීඩිකාවන් තිදෙනකුගෙන් සමන්විත මේ කණ්ඩායමට අවුරුදු 19න් පහළ ක්‍රීඩකයකුද ඇතුළත්වීම විශේෂත්වයකි.

ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්වන්නේ වසර 8කට පසුව වන අතර ටයිකොන්ඩෝ ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු ක්‍රීඩා උළෙලක් සඳහා සහභාගීවන වැඩිම ක්‍රීඩක සංඛ්‍යාව මෙවර එක්වෙයි.

අවසන් වරට 2010 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටයිකොන්ඩෝ කණ්ඩායමක් එක්විය. එවර සහභාගිවූයේ ක්‍රීඩකයන් දෙදෙනකු පමණි.

ආසියානු ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරග 19 වැනිදා සිට 23 වැනිදා දක්වා ජාකර්තා හිදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා පැවසුවේ මෙවර තරගාවලියට තරුණ ක්‍රීඩකයන් පිරිසක් එක්කර ඇති බැවින් ඔවුන් උපරිම දක්ෂතා දක්වනු ඇති බවයි. මේ තරගාවලියට සහභාගිවීමෙන් ලබා ගන්නා අත්දැකීම් ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගැනීමට පිටුවහලක් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියා සිටී.

 

නව අදහස දක්වන්න