ශ්‍රී ලංකා ආර්ථිකය ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් කරන්න නව සංවර්ධන වැඩසටහන ඇරැඹුවා | දිනමිණ

ශ්‍රී ලංකා ආර්ථිකය ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් කරන්න නව සංවර්ධන වැඩසටහන ඇරැඹුවා

රටේ ණය බර අධික වෙමින් ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට රට පත්ව තිබුණා. එම නිසා ණය ගෙවීමට හැකි ආදායමක් රටේ ක්‍රමානුකූලව ඇති කළ යුතු වුණා. ආර්ථිකය ස්ථාවර කරමින් ණය බර ක්‍රමානුකූලව පාලනය කළ යුතු වුණා. මේ සියල්ල සිදු කරමින් 2020 වන විට ණය ප්‍රමාණය රටේ අය-වැයෙන් 70% කට සීමා කිරීම අපේ අරමුණයි.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයෙහි අධීක්‍ෂණය යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ඉදිකරන ලද ‘විසල් කුරුණෑගල ජල සම්පාදන හා සනීපාරක්‍ෂක ව්‍යාපෘතිය‘ විවෘත කිරීම පෙරේදා (13) කුරුණෑගල නගරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රට බෙදීමට ඉඩ නොදී ධෛර්යෙන් යුතුව යුද්ධ කළ ආකාරයටම, ධෛර්යෙන් සහ විශ්වාසයෙන් යුතුව ක්‍රියා කරමින් ශ්‍රී ලංකාව ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් කිරීමට ක්‍රියා කරමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

1977 දී කොළඹට සීමා වී තිබූ ආර්ථිකය බියගම ප්‍රදේශයට ව්‍යාප්ත කළ ආකාරයටම එම දියුණුව වර්තමානයේ හලාවත, කුරුණෑගල, මහනුවර ආදී ප්‍රදේශවලටත් ගෙන එන බවත්, කොළඹ සිට මහනුවර දක්වා ඉඳිවන මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවෙන් ඉදිරියේදී වයඹ පළාතේ විශාල දියුණුවක් ඇති වන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයෙහි අධීක්‍ෂණය යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ඉදිකරන ලද ‘විසල් කුරුණෑගල ජල සම්පාදන හා සනීපාරක්‍ෂක ව්‍යාපෘතිය‘ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මෙම පානීය ජල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම පිළිබඳව නගරාධිපතිතුමාත් මෙහිදී සඳහන් කළා. කුරුණෑගල ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය අපට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන වැඩසටහනක්. ඊට කාරණා 02 ක් අදාළ වෙනවා.

අප කුඩා කාලයේ සිට කුරුණෑගල ප්‍රදේශය හොඳින් හඳුනන නිසා මෙම ප්‍රදේශයට ඇති ජල ගැටලුව පිළිබඳව අප දන්නවා. ඒ අවධියේ සිට අද වන විට කුරුණෑගල ඇති වී ඇති වෙනසත් හොඳින් පෙනෙන්නට තිබෙනවා. අනෙක් ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාවේ නව ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන්නේ කුරුණෑගල වීමයි. කුරුණෑගල ශීඝ්‍ර දියුණුවක් හරහා ඉදිරියට ගෙන යාමට නම් අප ඊට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දිය යුතුයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රධානව අප මේ රටේ ආණ්ඩුව භාර ගන්නා විට ආර්ථික ගැටලු ගණනාවක් තිබුණා. ඊට විසඳුම් ලෙස අප නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට උත්සාහ ගත්තා. රටේ ණය බර අධික වෙමින් ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට රට පත්ව තිබුණා. එම නිසා ණය ගෙවීමට හැකි ආදායමක් රටේ ක්‍රමානුකූලව ඇති කළ යුතු වුණා. ආර්ථිකය ස්ථාවර කරමින් ණය බර ක්‍රමානුකූලව පාලනය කළ යුතු වුණා. මේ සියල්ල සිදු කරමින් 2020 වන විට ණය ප්‍රමාණය රටේ අය-වැයෙන් 70% කට සීමා කිරීම අපේ අරමුණයි. මේ වන විට රටේ ආදායම අපි 10% න් වර්ධනය කර තිබෙනවා.

ඒ අතරම රටේ ජනතාවගෙන් බැනුම් ඇසීමටත් අපට දැන් සිදුව තිබෙනවා. ජනතාව දෝෂාරෝපණය කළත් රටේ ණය බර පාලනය කිරීමට අපට සිදු වුණා. ඒ වගේම රටට වැඩි වශයෙන් විදේශ විනිමය උපයා ගැනීමටත් අප කටයුතු කරනවා. මේ වනවිට රට තුළ විදේශ විනිමය හිඟයක් පවතින නිසා විදේශ ණය ගැනීමට අපට සිදුව තිබෙනවා. මෙම ගැටලුවට විසඳුමක් සොයා ගන්නා තුරු අපට ඉදිරියට යාමට නොහැකියි.

රටේ ජනතාවට ආදායම් මාර්ග තිබුණත් එම ආදායම් මාර්ග දියුණු කිරීමට අප කටයුතු කළ යුතුව තිබුණා. ආදායම් මට්ටම දියුණු කරන අතරම රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීමත් අප කළ යුතුයි. මෙම ප්‍රධාන කාරණා කිහිපය ඉටු කිරීම සඳහා යුද්ධයෙන් විනාශ වී ගිය ශ්‍රී ලංකාවට 2015 දී අපි නව ආර්ථිකයක් ඇති කිරීමට ක්‍රියා කළා. ඒ හරහා අපි රට තුළ විශාල ආර්ථික සැලසුමක් ඇති කළා.

රටේ කර්මාන්ත ශාලා දියුණු කිරීම, අලුත් කර්මාන්තශාලා ආරම්භ කිරීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, රටට පැමිණෙන සංචාරක ප්‍රමාණය වැඩි කිරීම, නව තාක්‍ෂණය උපයෝගී කරගනිමින් සේවා හා කර්මාන්ත අංශයන්ගේ විශාල දියුණුවක් ඇති කිරීම ආදී වැඩකටයුතු රාශියක් අප ආරම්භ කළා.

රටේ දැනට තිබෙන කෘෂි සහ ධීවර කර්මාන්ත දියුණු කිරීමටත් අප පියවර ගත්තා. ගෙවුණු වසර 03 අපහසු වර්ෂ බව අපි දන්නවා. නමුත් මේ වනවිට අප ආර්ථිකය ස්ථාවර කර තිබෙන නිසා අපට ඉදිරියට යාමට හැකියාව ලැබී තිබෙනවා.

රටේ අලුත් ආර්ථිකයට අවශ්‍ය පරිදි නුවර සිට හම්බන්තොට දක්වා වන මාර්ග පද්ධතියක් ඉදිකරනවා. කොළඹ සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භකර තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ මාතලේ සිට හම්බන්තොට දක්වා මාර්ග පද්ධතිය ඉදිකර තිබෙනවා. අපේ ආණ්ඩුව යටතේ කොළඹ නගරය නවීකරණය සඳහා ‘මහානගර සංවර්ධන වැඩසටහන‘ ඉදිරිපත් කළා. එමෙන්ම කොළඹ සිට නුවර දක්වා වන අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා. 2003, 2005 දී 2013 දී යන සෑම වසරකදීම අප මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කළත් ඊට අවශ්‍ය මුදල් අප සතුව තිබුණේ නැහැ. නමුත් 2015 දී අපට බලය ලැබීමෙන් පසු එම වැඩකටයුතු ආරම්භ කළා.

කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවන්නේ වයඹ පළාත හරහායි. එම මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු චීනය විසින් බාරගෙන තිබෙනවා. එහි දෙවන අදියරේ ඉදිකිරීම් සඳහා ශ්‍රී ලංකා සමාගම් වෙත ලබාදීමට අපේ රජය කටයුතු කළා. අප ඊට අවශ්‍ය මුදල් සොයා ගත්තා. අධිවේගී මාර්ගයක ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකාවේ සමාගම්වලට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ හරහා ඉදිරියේදී වෙනත් රටවල ඉදිකිරීම් කටයුතු සඳහා යොමුවීමටත් ඔවුන්ට හැකියාව ලැබෙනවා.

එම අධිවේගී මාර්ගයේ 03 වන අදියර ජපාන සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ජපාන සමාගම් විසින් බාර ගෙන තිබෙනවා. එහි සිව්වන අදියරේ ඉදිකිරීම් කටයුතු ඉන්දියන් ආණ්ඩුව විසින් බාරගෙන තිබෙනවා. ඒ අනුව අදියර 4ක් යටතේ මෙහි වැඩකටයුතු සිදු වෙනවා. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම හරහා නුවර පමණක් නොව කුරුණෑගලත් විශාල දියුණුවක් ඇති වෙනවා.

1977 අප බලයට පත් වූ අවස්ථාවේ කොළඹට සීමා වී තිබූ ආර්ථිකය බියගම ප්‍රදේශයට ව්‍යාප්ත කළා. ඒ අනුව බියගම, කටුනායක සීතාවක ආදී ප්‍රදේශවල ආයෝජන කලාප ආරම්භ කළා. ඒ හරහා ඒ ප්‍රදේශවල විශාල දියුණුවක් ඇති වුණා. මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය ගම්පහ යි. එම දියුණුව වයඹ ප්‍රදේශයට ගෙන ඒම අපේ අරමුණයි. හලාවත, කුරුණෑගල, මහනුවර ආදී ප්‍රදේශවල විශාල දියුණුවක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වනවා.

එහි මූලික වැඩකටයුතු ලෙස ඉරණවිල සංචාරක කලාපයත්, මාවතගම සහ බිංගිරිය ප්‍රදේශවල ප්‍රධාන කර්මාන්ත කලාප 02 ත් අප මේ වන විට ආරම්භ කරමින් සිටිනවා. රටේ කර්මාන්තකරණය ආරම්භවන්නේ ඒ ආකාරයටයි. එවැනි කර්මාන්ත ශාලා කිහිපයක් කුලියාපිටියේ ආරම්භ කර තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාලයෙන් කොටසකුත් කුලියාපිටියේ ආරම්භ කළා. ඒ සියල්ල හරහා මේ ප්‍රදේශය විශාල දියුණුවකට පත්වෙනවා.

කුරුණෑගල නගරය පිහිටා තිබෙන්නේ අනුරාධපුර, දඹුල්ල මාර්ගයේයි. මේ නිසා ඉදිරියේදී කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත් වෙනවා. එවිට අපට තවත් සංවර්ධන වැඩසටහන් අවශ්‍ය වෙනවා. හම්බන්තොට දක්වාම එම සංවර්ධන වැඩසටහන් ව්‍යාප්ත කළ යුතුයි. ගාල්ල නගරය දියුණු කිරීමේ විශාල සැලසුමක් අප සතුයි. හම්බන්තොට විශාල කර්මාන්තපුරයක් ආරම්භ කරනවා. එය අක්කර 10,000ක් පමණ වෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සියලුම වෙළඳ කලාප පිහිටා තිබෙන්නේත් අක්කර 3000ක පමණ ප්‍රමාණයක පමණයි.

සංචාරක ව්‍යාපාරය සඳහා ගාල්ල ප්‍රදේශයේ අක්කර 4000ක් පමණ වෙන් කර තිබෙනවා. මහනුවර නගරය දියුණු කිරීමට ජපානය විසින් නව සැලසුමක් සකස් කරනවා. එවැනි විශාල වැඩසටහනක කේන්ද්‍රස්ථානය ලෙස කුරුණෑගල හැඳින්විය හැකියි. අප කුරුණෑගල දියුණු කරමින් ඉදිරියට යා යුතුයි.

පසුගිය මැතිවරණයේදී මේ ප්‍රදේශයට ජාතික පාසල් 02ක් ලබාදීමට මම පොරොන්දු වුණා. ඉන් එක් පාසලක වැඩකටයුතු මේ වනවිට අප කුරුණෑගල ආරම්භ කර තිබෙනවා. අනෙක් පාසල වාරියපොළ ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිතයි. මේ හරහා කුරුණෑගල පමණක් නොව මාවතගම ආදී ප්‍රදේශ ඉදිරියේදී විශාල දියුණුවකට ලක් වෙනවා. කුලියාපිටිය, හලාවත, කුරුණෑගල ආදී ප්‍රදේශ ලංකාවේ විශාල සංවර්ධන වැඩපිළිවෙළට විශේෂයෙන් එකතු වන නගර ලෙස හැඳින්විය හැකියි.

මේ වැඩකටයුතු සැලසුම් කිරීම සඳහා අපට වසර 03ක් ගත වුණා. කන්න 04ක නියඟය නිසා රටේ කෘෂි ආර්ථිකය කඩා වැටුණා. ගොවි ජනතාව ජීවත් වූයේ ඉතා අපහසුවෙන්. මෙම නිසා රටේ ආදායම් ඉහළ නැංවීමට විවිධ තීරණ ගැනීමට අපට සිදුවුණා. එවිට අප ජනතාවගේ විවේචනයට ලක් වුණා.

නමුත් මේ වන විට විදේශ සහ පුද්ගලික අංශයේ ආයෝජන ලබාගනිමින් රටේ ආදායම් වැඩිකරමින් ඉදිරියට යෑමට අප බලාපොරොත්තු වෙනවා. අප රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යන බව මේ වසර 03 අවසන් වනවිට අපට විශ්වාසයකින් යුතුව පැවැසිය හැකියි.

මේ රට දියුණු රටක් බවට පත් කළ යුතුයි. මම කුඩා අවධියේදී ශ්‍රී ලංකාව ආසියාවේ තිබූ දියුණුම රාජ්‍යයයි. පසුගිය අවුරුදු 30ක යුද්ධයේ විපාකය නිසා අනෙක් සෑම රටක්ම මේ වන විට අපව පසු කරමින් ඉදිරියට ගොස් තිබෙනවා. රට බෙදීමට ඉඩ නොදී ධෛර්යෙන් යුතුව යුද්ධ කළ ආකාරයටම අපේ රට ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් සහිත රටක් බවට පත් කරනවා යන ධෛර්යෙන් යුතුව විශ්වාසයකින් යුතුව අප දැන් නව සංවර්ධන වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

අශෝක අබේසිංහ නියෝජ්‍ය ඇමැතිතුමා මේ ප්‍රදේශය දියුණු කිරීමට විශාල උනන්දුවක් දක්වනවා. ‘ගම්පෙරළිය‘ වැඩසටහන හරහා ලැබෙන මුදල්, ජාතික ප්‍රතිපත්ති, මහා මාර්ග ඇතුළු අමාත්‍යංශ හරහා ලැබෙන මුදල් කුරුණෑගල වෙනුවෙන් ලබා ගනිමින් කුරුණෑගල දියුණුවේ මූලික පදනම එතුමා ඇති කර තිබෙනවා. ඒ වැඩ කටයුතු කරන අතරම, දුම්රිය වර්ජනය නතර කිරීමටත් එතුමා විශාල කාර්යයක් ඉටු කළා. එතුමාත්, මුදල් ඇමැතිතුමාත් පැකිලීමකින් තොරව එම වැඩකටයුතු සිදු කළ නිසා අද රටේ ගමනා ගමනය පහසු වී තිබෙන බව මම පැවසිය යුතුයි.

ඒ වගේම මෙම ජල සම්පාදන ක්‍රමය ජනතාවට ලබා දීමට රාවුෆ් හකීම් ඇමැතිතුමා විශාල උත්සාහයක් දරනවා. නාගරිකකරණය සිදු වන විට ජල සම්පාදනය සහ සනීපාරක්ෂාව ඉතා වැදගත්. මෙම වැඩකටයුතු අපි තවදුරටත් ඉදිරියට ගෙන යනවා. රටේ පිරිසිදු ජලය ලැබෙන සංඛ්‍යාව පළමුවෙන් 60% ක් බවට පත් කළ යුතුයි. පසුව එය 75% ක් දක්වා ඉදිරියට ගෙන යා යුතුයි. අනාගතයේදී එම වැඩකටයුතු සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එම වැඩකටයුතු වෙනුවෙන් සැලසුම් සකස් කරමින් අවශ්‍ය වැඩකටයුතු සිදු කරන රාවුෆ් හකීම් අමාත්‍යතුමාට අපි ස්තූතිවන්ත වෙනවා.

කුරුණෑගල සංවර්ධනයට නව ආර්ථිකයක් ඇති කිරීමට අපි සියලුදෙනා එකතු විය යුතුයි. ඉදිරියේදී කුරුණෑගලට විශාල දියුණුවක් ලැබෙන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට කැමැතියි.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා -

කුරුණෑගල විසල් ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය සුවිශේෂවූ ව්‍යාපෘතියක්. මෙහි දෙවැනි පියවර වශයෙන් ‘වඳුරා පීනූ ඇල්ල‘ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරන බව කිව යුතුයි. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ජල සම්පාදන ව්‍යාපෘති කීපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂිතයි. අලව්ව - පොල්ගහවෙල ව්‍යාපෘතිය මේ වන විටත් කරගෙන යන අතර, දැදුරුඔය ව්‍යාපෘතිය ද ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බව කිව යුතුයි. පන්නල - කුලියාපිටිය ව්‍යාපෘතිය ද ළඟදී ආරම්භ කරන අතර, කටුපොත ව්‍යාපෘතියෙහි කටයුතු ද ළඟදීම ආරම්භ කරන බව කිව යුතුයි. ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති මේ වන විට කතරගම ආරම්භ කර තිබෙන අතර මහනුවර, මාතර, අනුරාධපුරය, මීගමුව, මඩකළපුව හා කල්මුණේ ප්‍රදේශවලත් ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කරන බව කිව යුතුයි. නවීන තාක්ෂණ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළ යුතුය.

චීන මහජන සමූහාණ්ඩුවේ තානාපතිවරයා නියෝජනය කළ එහි ආර්ථික හා වාණිජ ලේකම් යං ෂුවෙල් වාන් මහතා -

ගල්කඳුවලින් වටවූ කුරුණෑගල නගරයට ජල හා සනීපාරක්ෂක යෝජනා ක්‍රමයක් ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්විය හැකියි. හැත්තෑ දහසකට අධික ප්‍රමාණයකට මෙමඟින් ප්‍රතිලාභ අත්වීම ද වැදගත් දෙයක්. ඉදිරියේදී මෙවන් ව්‍යාපෘති මඟින් මේ රටේ ජනතාවට අවශ්‍ය සහනය ලබාදීමට ද කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ යුතුයි. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය මත මෙරට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වී තිබීම ද අගය කළ යුතු කාර්යයක්.

අශෝක් අබේසිංහ මහතා -

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති,

චීන මහජන සමූහාණ්ඩුවේ සහාය මත ඉදිවුණු මෙම විසල් ජල හා සනීපාරක්ෂක යෝජනා ක්‍රමය මෙරට ඉදිවූ දෙවැනි ප්‍රධානතම ව්‍යාපෘතිය බව කිව යුතුයි. වත්මන් රජය යටතේ මේ වන විට රුපියල් බිලියන අසූවකට වැඩි ප්‍රමාණයක වියදමකින් කුරුණෑගල ප්‍රදේශයේ ගම්මාන රාශියක් සංවර්ධනය කර තිබෙන බව කිව යුතුයි. ඉදිරියේදී තවත් බිලියන දහයක පමණ වියදමකින් තවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නටත් නියමිතයි.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළ අතර, චිත්‍ර ශ්‍රී නවරත්න මහතා කවි ගායනයක් ඉදිරිපත් කළේය. චීන තානාපතිවරයා නියෝජනය කරමින් පැමිණි ආර්ථික හා වාණිජ ලේකම් යං ෂූ බෙල්වාං මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණ. වයඹ සංවර්ධන හා අභ්‍යන්තර කටයුතු ඇමැති එස්. බී. නාවින්න, ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එම්. මහරුප් කුරුණෑගල දකුණු සමූහ සහ
කුරුණෑගල මධ්‍යම විශේෂ

ඡායාරූප - අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සහ කුරුණෑගල දකුණ සමූහ

 


නව අදහස දක්වන්න

Or log in with...