ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණයට සබරගමුව සභාවෙන් මූල්‍ය දායකත්වය | දිනමිණ

ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණයට සබරගමුව සභාවෙන් මූල්‍ය දායකත්වය

ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සබරගමුව පළාත් සභාව මඟින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පසුගිය දා (8) සඳහන් කළාය.

එම වැඩසටහන යටතේ මුද්‍රිත ප්‍රථම ග්‍රන්ථය වන කල්තොට වරුණ ග්‍රන්ථය සඳහා මුදල් ප්‍රදානය කිරීම පසුගිය දා (8) සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ සිදු කෙරිණි.

කල්තොට ශාසනාරක්ෂක බලමණ්ඩලය මඟින් සංස්කරණය කළ මෙම ග්‍රන්ථය පිටපත් 500කින් යුක්තව මුද්‍රණය කර ඇත. එහි පළමු කණ්ඩය සඳහා වැය වූ මුළු මුදල වන රුපියල් 60,000ක මුදල කල්තොට වරුණ ග්‍රන්ථයේ ප්‍රධාන සංස්කාරක බුදුගල සෝමරතන හිමි වෙත සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය එදින ප්‍රදානය කළාය.

ඉදිරියේ දී ද ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සබරගමුව පළාත් සභාව මඟින් ලබාදීම කටයුතු කෙරේ.

මේ අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් රුක්මණී ආරියරත්න මහත්මිය ද එක්ව සිටියාය.

නව අදහස දක්වන්න