ජනාධිපතිවරණයට එජාපය අපේම අපේක්ෂකයෙක් දානවා | දිනමිණ

ජනාධිපතිවරණයට එජාපය අපේම අපේක්ෂකයෙක් දානවා

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවකට පසුගිය දා එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

ලබන ජනවාරි මාසයෙන් පස්සේ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට යන්න හැකියාව තියෙනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණයකට කලින් ජනාධිපතිවරණයක් එන්නත් පුළුවන්. කවුරු මොනවා කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනෑ. අපිට අපේ ආණ්ඩුවක් ඕනෑ. ගමේ ජනතාවට ඕනේ අපේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. යහපාලන ආණ්ඩුවට ලැබුණ ඡන්දවලින් 80% ඡන්ද අපේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට යමක් කරන්න නම් අපිට තනි ආණ්ඩුවක් අවශ්‍යයයි. එක්සත් ජාතික පක්ෂයට මිළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ ගැන කල්පනා කර අපේ පක්ෂය තවත් ශක්තිමත් කරන්න ඕනෑ.

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය ගැන සමහර අය උදම් ඇනුවා. හැබැයි ඒ ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුවට ලංකාවෙන්ම 44% ක් ලැබුණා කියලා ඒ අය කියනවා. ඒ වුණත් සියයට 56ක් පොහොට්ටුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තියෙනවා. ඉතින් මේක ගැන අපි කල්පනා කරන්න ඕනේ. කලබල වෙන්න අවශ්‍ය නැහැ.

නව අදහස දක්වන්න