විමල්ගේ ඥාති සංග්‍රහයේ තරම | දිනමිණ

විමල්ගේ ඥාති සංග්‍රහයේ තරම

කමනි අල්විස්

* මහජන දේපළ හිතුමතයේ ඥති හිතවතුන් අතර බෙදා හැරලා
* රාවණා බළකායට රජයේ වාහන හතක් දීලා
* ශිරන්ති රාජපක්ෂටත් විමල් වීරවංශගෙන් වරප්‍රසාද

කල දුටු කල වළ ඉහගැනීමේ ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරමින් බලතල අනිසි අයුරින් පරිහරණය කළ හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ඇතුළු තවත් හත්දෙනකුට අපරාධ චෝදනා යට‍තේ නඩුපවරන ලෙස මේ වන විට නිර්දේශ වී තිබේ.

ඔහු විසින් වසර 2010 මැයි මාසයේ සිට වසර 2015 ජනවාරි 9 දක්වා නිවාස හා ඉදිකිරීම් ඇමැති ධුරය දරමින් සිදුකළ බරපතළ වංචා හා දූෂණ ක්‍රියා මගින් රජයට සිදු වී තිබෙන සමස්ත අලාභය රුපියල් හාරකෝටි හත් ලක්ෂ අනුතුන්දහස් හත්සිය එකොළහයි ශත දහ හතක් බව බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතාකිරීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී තිබෙන නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාවේ සඳහන්ය.

එය ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශන මඟින් සොයාගත් අලාභයයි. ඊට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරගෙන යයි. එම පරීක්ෂණ අවසන් වූ පසු රජයට සිදු කර තිබෙන අලාභය තවත් කෝටි ගණනින් වැඩිවනු නියත බව ලැබුණ තොරතුරුවලින් දැක්වීමට හැකිය.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ඇතුළුව සෙසු පරීක්ෂණ කිහිපයක තොරතුරු පදනම් කර ගනිමින් විමල් වීරවංශ මහතාගේ සැබෑ පැටිකිරියේ එක් පැතිකඩක් මෙසේ හෙළිදරව් කරන්නෙමු.

රජයේ වටිනා දේපළ තම අම්මා අප්පාගේ බූදලය ලෙස සලකා එම දේපළ සඳහා නොවටිනා තක්සේරු සිදුකොට තම ඥාති වර්ගායට රිසි සේ බෙදාහැර තිබෙන්නේ බය, ලැජ්ජාව හෝ හිරිකිතයකින් තොරවය. ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවච කීකරු ගෝලයකු ලෙස රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඉල්ලීමකට අනුව ඇයගේ හිතවතකු වන මිලින්ද රත්නායකටත් රජයේ නිවාස ලබා දී තිබේ.

නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පවතින ආයතනවල වාහන සහ රාජ්‍ය මුදල් අවභාවිතයට ලක්කරමින් විමල් වීරවංශ ඇමැතිවරයකුව සිටියදී රජයට සිදුකර ඇත්තේ සුළුපටු අලාභයක් ද නොවේ.

වීරවංශ මහතාගේ සොහොයුරු සොහොයුරියන්, බිරිඳගේ සොහොයුරන් ඇතුළු ඥාතීන් දොළොස් දෙනෙකුට සහ හිතවත් කලාකරුවන් හිතවතියන් ඇතුළු පහළොස් දෙනෙකුට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු දේපළ අඩු තක්සේරුවකට මෙසේ ලබා දී තිබේ. වීරවංශ මහතාට රිසි සේ මාළිගාවත්ත නිවාස යෝජනා ක්‍රමය, පිටකොටුව ගුණසිංහපුර, නාරාහේන්පිට මැනිං ටවුන්. මත්තෙගොඩ, කහතුඩුව, දෙහිවල පිහිටි රජය සතු වටිනා නිවාස දේපළ මෙලෙස ඥාතීන්ට, හිතවතුන්ට ලබා දී තිබේ.

රජයේ නිවාස අණ පනත්වලට අනුව එක පුද්ගලයකුට හිමිවිය යුත්තේ එක රජයේ නිවසක් වුවත් එකී සියලුම සීමා මායිම් බිඳ හෙලමින් තම අණසක පතුරවා ක්‍රියාකිරීමට තරම් බලවතකු බවට වීරවංශ මහතා ක්‍රියා කර තිබේ.

ර‍ට පුරා ලක්ෂ සංඛ්‍යාත දරු පවුල් හිසට වහළක් නොමැතිව සෝ සුසුම් හෙළද්දී ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසකට පමණක් යම් යම් සුළු සහන ල‍බා දෙමින් මාධ්‍ය සංදර්ශන හරහා මහා ජනතාවාදියකු ලෙස රඟමින් අසරණ මහ ජනයා ගැන තුට්ටුවකටවත් මායිම් නොකළ කුහකයකු වූ වීරවංශ තම ඥාති වර්ගයාගේ සුඛවිහරණය හා හිත සුව පිණිස ක්‍රියා කර තිබෙන්නේ මහා දානපතියකු ලෙසින්ය.

මාළිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි අනූෂා නිරෝෂණී නානායක්කාර, විමල් වීරවංශ මහතාගේ සමීපතම හිතවතියකි. රාජපක්ෂ පාලන සමයේදී වීරවංශ මහතාගේ බලය අතට රැගෙන ඇගේ අණසක දසත පතුරවාගෙන ක්‍රියා කළ අනූෂාට වසර 2014 තක්සේරු වටිනාකම අනුව රුපියල් 6,825,000 ක් වටිනා මාළිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ E1/G1 කඩ සාප්පුව 1999 තක්සේරු වටිනාකමට සීයට පනහක් එකතු කර රුපියල් 549,000 ක මුදලකට 2014 වසරේ නොවැම්බර් 7 දා සින්නක්කර ඔප්පුවකින් විකුණා තිබේ. එයින් රජයට සිදු වී තිබෙන අලාභය රුපියල් 6,276,000 කි.

වීරවංශ මහතාගේ ඥාති වර්ගයාට ඔහු ඇමැති ධුරය දැරූ නිවාස අමාත්‍යාංශය යටතේ බෙදා දී තිබෙන නිවාස එා දේපළ සමහරක් මෙසේය.

*කොළඹ ඩයස් පෙදෙස නිවාස යෝජනා ක්‍රමයේ අංක F/G/14 කඩ සාප්පුව වීරවංශ මහතාගේ සහෝදරිය වන සුමනා වීරවංශගේ සැමියාගේ සොහොයුරා වන ඉසංක ලක්මාල්ටය.

*දෙහිවල නිවාස යෝජනා ක්‍රමයේ අංක දෙක දරන කඩ සාප්පුව ලබා දී තිබෙන්නේ ඩී. එච්. පද්මිණිටය. ඇය වීරවංශ මහතාගේ සොහොයුරු සරත්ගේ බිරියගේ සොහොයුරියයි.

*දෙහිවල මහල් නිවාස යෝජනා ක්‍රමයේ අංකC3දරණ කඩ සාප්පුව ලබාදී තිබෙන්නේ විමල් වීරවංශ මහතාගේ සොහොයුරකුවන සරත්ගේ බිරියගේ සොහොයුරාගේ බිරය වන ගුණවතී නැමැත්තියකටය. *දෙහිවල නිවාස යෝජනා ක්‍රමයේ අංක 4 දරන කඩ සාප්පුව ලබා දී තිබෙන්නේ වීරවංශ මහතාගේ සොහොයුරිය සුමනාගේ පුතා වන ලලිත් පුෂ්පකුමාරටය. ලලිත්ගේ බිරිඳට කහතුඩුවෙන් ද රජයේ නිවසක් ලබා දී තිබේ. මත්තෙගොඩ නිවාස යෝජනා ක්‍රමයෙන් වීරවංශ මහතාගේ සොහොයුරියගේ සැමියා හේමසිරිට නිවසක් ලබා දී තිබේ.

*සොහොයුරිය නිලානිගේ සැමියා ආනන්ද ප්‍රියදර්ශනට මත්තෙගොඩ නිවාස යෝජනා ක්‍රමයෙන් නිවසක් ලබා දී තිබේ. සුමනා සොහොයුරියගේ පුතා වන සාරංගගේ බිරිඳට කහතුඩුව ප්‍රදේශයෙන් නිවසක් ලබා දී තිබේ. මීට අමතරව ඩයස් පෙදෙසේ නිවාස දෙකක්, දෙහිවල මහල් නිවාස තුනක්, මාළිගාවත්තේ කඩ කාමරයක් තවත් ඥාතීන් සිවුදෙනෙකුට ලබා දී තිබේ.

*කලාකරුවකු වන වීරවංශ මහතාගේ හිතවතකු වන සුදත් රෝහණ ජයන්ත නමැත්තාට දේපළ දෙකක් ලබා දී තිබේ. එක දේපළක් වන්නේ මැනිං ටවුමේ පිහිටි රජයේ තක්සේරුව රුපියල් ලක්ෂ හැත්තෑ අටක් වන නිවස රුපියල් ලක්ෂ තිස්නවයකට ලබාදීමයි.

*ලියනආරච්චිගේ ඉන්ද්‍රානි නමැත්තියට ඩයස් පෙදෙසේ පිහිටි F/G/13 දේපළ ලබා දී තිබේ.

*ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඉල්ලීමකට ඇගේ හිතවතකු වන මිලින්ද රත්නායක නමැත්තාට කහතුඩුව නිවාස ව්‍යාපෘතියෙන් නිවසක් රුපියල් ලක්ෂ පහකට ලබා දී තිබේ. මෙම නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ එකසිය දෙකකි.

පැවැති රජය යටතේ ඉදිකිරීම් සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පැවැති ඕෂන් වීව් සංවර්ධන සමාගම වීරවංශ මහතාගේ ඥාතීන්ට ලබා දුන් නිවාස A, B, C වගුවල දක්වා ඇත.

නෛතික ගිවිසුම් අස්සන් නොකර අත්තිකාරම් මුදල් ලබාගෙන මෙම නිවාස ලබා දී තිබුණි.

නිවාසවල විදුලි සහ ජල බිල්පත් නීති විරෝධී ලෙස අයිතිකරුවන්ගේ නමට හරවාගෙන තිබේ.

ඥාතිවර්ගයාගේ වුවමනාවට ඔවුන්ට ගැපෙන ආකාරයට නිවාස සාදා ඇත. නිවාස තුනක් නැවත සමාගම පවරා ගත්තද සිදුකර තිබෙන ඉදිකිරීම් ඒවා අලෙවියට හරස් වී තිබේ.

තවද රාජ්‍ය වාහන අවභාවිතා කර තිබෙන කාරණා රැසකි.

අධිකාරියේ 35 වැනි සංවත්සරය සඳහා සංග්‍රහ වියදම් වශයෙන් රුපියල් 500,000/- මුදල් අත්තිකාරමක් ලබාගෙන තිබේ. එම මුදල් කුලී වාහන සඳහා ගෙවීමට යොදාගෙන ඇත.

අධිකාරියට කුලී පදනම මත වාහන ලබාගැනීමක් සිදු නොකර එහෙත් එයාකාරයට ලබාගත් බව සඳහන් වාහන සඳහා ඉන්ධන වෙනුවෙන් බවට කියමින් රුපියල් පහළොස්දහසක මුදල් අවස්ථා තුනකදී ලබාගෙන තිබේ.

තවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කුලී පදනම මත වාහන ලබාගත් බවට කූට ලේඛන ඉදිරිපත් කර රුපියල් 360,000/- මුදල් වංචාවක් සිදු කිරීම.

වසර 2014 ජනවාරි 7දා මාධ්‍ය දැනුවත් කිරීමක් සඳහන් කරමින් බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයට රුපියල් 1,602,000/- මුදලක් වැය කිරීම.

මාළිගාවත්ත ‍රන්පොකුණ නාන ළිඳට මායිම්ව පිහිටි වටිනා ඉඩම වසර තිහක් සඳහා සියයට එකක නාමික වටිනාකමට රුපියල් 240,000/- මුදලකට ලක්දිරිය නමැති කාන්තා සමිතියකට බදු දීම.

ඇල්විටිගල මාවතේ පිහිටි 117 වත්ත ඉඩමේ බිම් කොටස් වසර තිහක් සඳහා රුපියල් 180,000/- අඩු මුදලකට බදු දීම (මාසික පොලිය රුපියල් පන්සීයක වැනි සුළු මුදලකි). රන්පොකුණ සහ ඇල්විටිගල දේපළ පිළිබඳව නිවාස අධිකාරිය වර්තමානයේ නීතිපති උපදෙස් ලබාගැනීමට ක්‍රියා කර තිබේ.

ඕෂන් වීව් ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත සපයා නොමැති දිනපොත් සහ දින දර්ශන වෙනුවෙන් රුපියල් 2,582,020/- මුදලක් අධිකාරිය වැඩිපුර ගෙවා ඇත.

රාවණා බළකායේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් වීරවංශ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස ව්‍යාජ හඳුන්වාදීමක් සිදුකර උන්වහන්සේගේ පරිහරණයට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන හතක් ලබා දී තිබේ. මෙම වාහන සංස්ථාවේ වැඩබිම් සඳහා කුලී පදනමකට ලබාගත් ඒවාය. එම වාහන සංස්ථාවේ ප්‍රයෝජනයට මිස පිටස්තර භාවිතයට ලබාදීමට නොහැකි බව විමර්ශන හෙළිකර ගත්තේය.

රුපියල් ලක්ෂ එකසිය හතළිස් අටක දිනපොත් මුද්‍රණය කිරීම, ලක්ෂ ගණන් රජයේ මුදල් වැයකර භෝජන සංග්‍රහ පැවැත්වීම, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන සිදුවීම් විසිහතරකට අදාළව අවභාවිතය කිරීමෙන් රජයේ මුදල් ලක්ෂ හයසිය අනූපහක් යොදවා ඒ සඳහා ඉන්ධන ලබාගැනීමකි.

වසර 2011, 2012, 2013, 2014 වර්ෂවල බත්තරමුල්ල ව්‍යාපෘති කාර්යාලය නමින් සේවකයින් පහළොස්දෙනෙකු බඳවාගෙන දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් මිලියන විස්සක මුදලක් වැටුප් වශයෙන් ගෙවා තිබේ.

වසර 2016 නොවැම්බර් මාසයේදී ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පී. ඒ. පේමතිලක මහත්වරුන් ඉදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා රජයට සිදු වී තිබෙන රුපියල් 40,793,711.17 සමස්ත අලාභයට අයත් රාජ්‍ය දේපළ පිළිබඳව සාක්ෂි මෙහෙයවීය. ජනාධිපති විමර්ශන කොමිසමට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක බෝධිපක්ෂ, පොලිස් පරීක්ෂක රාජපක්ෂ, පොලිස් පරීක්ෂක නිලන්ත සිල්වා, කොස්තාපල් නිහාල් මහත්වරු බලපෑම් පීඩන මැද සිය රාජකාරිය නොපිරිහෙලා ඉටුකළ බව මෙහිලා සඳහන් කළ යුතුය.

එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු ඇමැති විමල් වීරවංශ අධිකාරියේ එවකට හිටපු සභාපති

ජයන්ත සමරවීර, අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයක් දැරූ වසන්ත බණ්ඩාර, පියසිරි විජේනායක, නිමල් ප්‍රේමවංශ ජයසිංහ, පද්ම උදය ශාන්ත ගුණසේකර මොහොමඩ් මුසම්මිල් වග උත්තරකරුවන්ට එරෙහිව කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් කළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතට කොමිසම විසින් භාරදී තිබේ.

කොමිෂන් සභා වාර්තාව මඟින් නිර්දේශ කර තිබෙන්නේ වගඋත්තරුවන්ට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ “දූෂණය” නමැති වරද සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකි බවයි. “දූෂණය”නමැති වරද සිදුකර ඇති බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 403 වගන්තිය යටතේ වංචාව නමැති වරද සිදුකිරීම ඉහත කී වැරදි යටතේ මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධ නඩු පැවරිය යුතු බවත් කොමිෂම නිර්දේශ කරන බවයි.

ඒ සඳහා සියලු ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කරන ලෙසටත් කොමිසම නිර්දේශ කර තිබේ.

විශේෂ නිර්දේශයක් ලෙස කොමිසම දක්වා තිබෙන්නේ රජයට සිදුවන අලාභ අයකර ගැනීමේ නීති හඳුන්වා දිය යුතු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් නොමැතිව පියසිරි විජේනායක, නිමල් ප්‍රේමවංශ වගඋත්තරකරුවන් නීත්‍යානුකූල නොමැති ලෙස ඇමති ආරක්ෂක කොට්ඨාසයෙන් පොලිස් ආරක්ෂාව ලබාගනිමින්රු. 3, 959, 585.41 සහ රු‍3,836 රු.612.69 මුදල් පොලිස් දෙපාර්තමේන්තුවට අලාභ කර තිබෙන බවත් පද්ම උදය ශාන්ත ගුණසේකර, මොහොමඩ් මුසම්මිල් වග උත්තරකරුවන් ඇමැති ආරක්ෂක කොට්ඨාසයෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට ලබා ගත් පොලිස් ආරක්ෂාව වෙනුවෙන් පිළිවෙළින් රුපියල් 3,570,485.02ක සහ රුපියල් 7,659,538.82ක මුදලක් පොලිස් දෙපාර්තමේන්තුවට පාඩු කර තිබෙන බවයි. අති පාරිශුද්ධ පුද්ගලයකු මෙන් පෙනී සිටිමින් හරයක් නොමැතිව කටමැත දොඩවමින් ජනතාවගේ මුදල් වැනසූ මෙවැනි පුද්ගලයන් ගැන වගකිව යුතුවන්නේ ජනතා අධිකරණය විසින්ම ය.

නව අදහස දක්වන්න