මිහිර-බෘහස්පති-රන්පත් ජාතික ළමා චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය මහ ඉහළින් | දිනමිණ

මිහිර-බෘහස්පති-රන්පත් ජාතික ළමා චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය මහ ඉහළින්

ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ

ශ්‍රී ලංකාවේ පැරණිතම ළමා පුවත්පත වන මිහිර පුවත්පත, බෘහස්පති සරසවිය හා එක්ව රන්පත් ආයතනය අනුග්‍රහයෙන් පාසල් දරුවන් සඳහා ප්‍රථම වරට සංවිධාන කරනු ලැබූ මිහිර බෘහස්පති ජාතික ළමා චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා (11) උදෑසන කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙහිදී කාණ්ඩ තුනක් යටතේ පැවති මේ චිත්‍ර තරගය සඳහා දිවයිනේ නන්දෙසින් ලැබී තිබුණු විශාල චිත්‍ර සංඛ්‍යාවක් අතුරින් තෝරාගත් ජයග්‍රාහකයන් තිස්දෙනෙකුට රුපියල් 25000 ක් බැගින් මුදල් ත්‍යාගයක් ද වින්සන්ට් වැන්ගෝ කුසලානයත් සමඟ වටිනා සහතිකයක් ද පිරිනැමුණි.

එමෙන්ම සෑම ජයග්‍රාහකයකුටම වසරක් පුරා නොමිලේ මිහිර පත්‍රයක් පිරිනැමේ. ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, ආචාර්ය නන්දා මාලිනී, ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රසන්ත චන්ද්‍රතිලක, ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්ධුල හරිස්චන්ද්‍ර, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහ, කේ. එච්. දයාශීල, බී. ටී. මෙන්ඩිස්, මහාචාර්ය රාජ් සෝමදේව, ප්‍රවීණ ගීත රචක කුමාර ලියනගේ, චිත්‍ර ශිල්පී නිශාන් හේවගේ, රන්පත් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරූන් බුද්ධසිරි, බෘහස්පති සරසවිය අධ්‍යක්ෂ හර්ෂදීප් වල්ගොඩ සහ මිහිර ප්‍රධාන කර්තෘ ජගත් හේවාපන්න මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ආචාර්ය විශාරද නන්දා මාලිනිය සහ ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර දෙසුම් පැවැත්වූ අතර බෘහස්පති සරසවියේ දරු දැරියන්ගේ මනරම් ගීත ප්‍රසංගයක් ද පැවැත්විණි.

මිහිර පුවත්පත කරන්නේ ජාතික මෙහෙවරක් 
- ප්‍රවීණ ගායිකා නන්දා මාලිනි ජාතික හැඟීම්වලින් දරුවන්


සන්නද්ධ කිරීමට චිත්‍ර කලාව සාර්ථකම ක්‍රමවේදයක්
- ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර

දරුවන් ජාතික හැඟීම්වලින් සහ අපේකමින් සන්නද්ධ කිරීමට චිත්‍ර කලාව යොදාගැනීම සාර්ථක ක්‍රමවේදයක්. "දරුවන්ගේ සෞන්දර්යාත්මක සිතිවිලි ප්‍රවර්ධනය කිරීමට මං පෑදීම සඳහා චිත්‍ර කලාව උපයෝගී කරගත හැකිය" යන සංකල්පය අනුව මිහිර පුවත්පත මුල්වී ළමා චිත්‍ර තරගයක් පවත්වා කුසලතා සහිත දරුවන් දැයට හඳුන්වාදීමට කළ මෙහෙවර ජාතික වශයෙන් ඇගයීමට ලක්කළ හැකි බව ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ප්‍රකාශ කළේය.

ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මිය -

චිත්‍ර ශිල්පය ප්‍රගුණ කිරීමෙන් කලා ක්ෂේත්‍රයේ සුවිශේෂ ඇගයීමකට ලක්වන අතර වසර දශක ගණනාවක් ගෙවී ගියත් ඒවායේ අගය වැඩිවීම හැර බාලවීමක් නොවන බවත් සීගිරිය - කැලණි විහාරය වැනි චිත්‍ර කලා නිර්මාණ දකින අදත් අපට ඇතිවන්නේ සෞන්දර්යාත්මක සිතිවිලි බවත් ප්‍රකාශ කළාය. වසර ගණනාවක් තිස්සේ ළමා පුවත්පතක් හැටියට නොකැළැල් ජාතික මෙහෙවරක යෙදෙන මිහිර පුවත්පත සම්පූර්ණ සහයෝගය දක්වමින් සිත් සුපහන් කරන මිහිරි සැඳෑවක් උදාකර දීම ළමා සිත්වල පමණක් නොව ප්‍රවීණයන්ගේ සිත්වලත් රැ‍ඳෙන අවස්ථාවක් බවට පත්කිරීමට සංවිධාන කර තිබීම ප්‍රශංසනීයයි. මෙවැනි ක්‍රියාවලට සහාය දක්වන රන්පත් ආයතන‍යත්, බෘහස්පති ආයතනයත් ජාතික මෙහෙවරක යෙදී සිටින දෑ හිතවතුන් බව ඉතාම සාදර සිතින් අගය කරනවායැයි ද නන්දා මාලිනී මහත්මිය ප්‍රකාශ කළාය.

මිහිර පුවත්පත ඇතුළු ලේක්හවුස් ආයතනය අගය කළ බෘහස්පති ආයතන ප්‍රධානී හරිස්දීප් වල්පොල , මිහිර පුවත්පත් කර්තෘ ජගත් හේවාපන්න මහත්වරු දැක්වූ සහාය අතිශයින් වැදගත් බවත්, චිත්‍ර කලාව වත්කම් අවශ්‍ය නැතිව දස්කම් දැක්වීමට හැකි වෘත්තීය ඇගයීමක් සහ ඓතිහාසික ඇගයීමක් ඇතිවන කලා අංශයක් බවත් පැහැදිලි කළේය.

රංජිත් අම්පිටියාවත්ත
බියගම විශේෂ

ඡායාරූප - රංජිත් අසංක සහ බියගම විශේෂ

නව අදහස දක්වන්න