ජර්මනියේ රැකියා පෙන්වා වංචා කළැයි අත්අඩංගුවට | දිනමිණ

ජර්මනියේ රැකියා පෙන්වා වංචා කළැයි අත්අඩංගුවට

මහින්ද අලුත්ගෙදර

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ සමීපතයෙක් බව පවසමින් ජර්මනියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ සැකකරුවකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් අම්පාර, උහන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්පාර, වෑරැන්කැටගොඩ, වළගම්බාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට පත් සැකකරු ඊයේ (14) දිනයේ දී අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

විදේශ රැකියා සඳහා පුද්ගලයන් පිටත්කර යැවීම සඳහා වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ එකොළහකට අධික මුදලක් වංචාකර ඇති බවට මේ වනවිට සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙන අතර මෙම සැකකරු මුදල් වංචාකර රටින් පිටවයාමට සූදානම් වෙමින් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබූ බව ද ඒ අනුව වහාම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ජර්මනියේ හෝටලක රැකියා අවස්ථා ඇති බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ විස්සක මුදලක් අවශ්‍ය බවත් අත්අඩංගුවට පත් සැකකරු රැකියා අපේක්ෂිත තරුණයින් දෙදෙනෙක්ට පවසා අවස්ථා තුනක දී රුපියල් ලක්ෂ එකොළහක මුදලක් ලබාගෙන ඇති අතර මෙම මුදල ලබාගැනීමෙන් පසුව රැකියාව ලබා නොදෙමින් මුදල් වංචා කර තිබුණි. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ පැමිණිල්ල අනුව කළ විමර්ශණවල දී උහන ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ කාර්යමණ්ඩලයේ සේවය කරන අයෙක් බවත් රජයේ ප්‍රභල ඇමැතිවරයෙක් වන විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ මස්සිනා තමන්ගේ හිතවතෙක් බව පවසමින් තවත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය ඒ සම්බන්ධයෙන් ද විමර්ශණයක් ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් බැංකු වාර්තා ඉදිරිපත් කරන ලෙසත් බී වාර්තාවක් ඉදිරිපත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරින් ප්‍රනාන්දු, නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර මහත්වරුන්ගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්ති මුතුකුමාරණ, විශේෂ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ජී. වෙලගෙදර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නීති ක්‍රියාත්මක කිරිමේ නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්. කුමාරසිංහ, පොලිස් පරීක්ෂක කේ.එස්. පුෂ්පකුමාර, කාර්යාංශ නිලධාරී අමිල පෙරේරා සහ අජිත් ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකළහ.

විදේශ රැකියා සඳහා පුද්ගලයන් බදවා ගැනීමට අවසර ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබූ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනයකට පමණක් බවත් නීත්‍යානුකූල නොවන ආකාරයට රැකියා ලබාදෙන ආයතනවලට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසයි. එසේ නීති විරෝධී ලෙස රැකියා ලබාදෙන හා මුදල් වංචාකරන ආයතන හෝ පුද්ගලයන්ට කිසිඳු සමාවක් ලබානොදෙන බවත් ඔවුන්ට විරුද්ධව දැඩි නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න