ඇලුමෙක්ස් නවතම කම්හල ඒකලදී විවෘත වූ වගයි | දිනමිණ

ඇලුමෙක්ස් නවතම කම්හල ඒකලදී විවෘත වූ වගයි

මෙරට ඇලුමීනියම් හැඩගැස්වීමේ නිෂ්පාදක ඇලුමෙක්ස් පසුගියදා ශ්‍රී ලංකාවේ ප‍්‍රථම පූර්ණ ස්වයංක‍්‍රීය ඇලුමීනියම් හැඩගැස්වීමේ කම්හල සහ පේටන්ට් බලපත‍්‍ර සහිත SAT Travisan CUBE තාක්ෂණය සඳහා දකුණු ආසියාවේ ප‍්‍රථම සිරස් පවුඩර් ආලේපන පහසුකම ජා ඇල ඒකලදී විවෘත කළේය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය හරහා ඉදිරියේ දී ආනයනික ඇලුමීනියම් සමඟ ඉතා හොඳ තරඟකාරීත්වයක් සමඟ පහසු මිලකට පාරිභෝගිකයාට සිය නිෂ්පාදන ලබා දීමේ හැකියාව පවතින බව ඇලුමෙක්ස් PLC ආයතනය සදහන් කරනු ලැබේ.

මෙය ශ‍්‍රී ලංකා රුපියල් බිලියන 02ක දැවැන්ත ව්‍යාපෘතියකි. මෙය පරිමාණය සහ නිෂ්පාදනය අතින් නිල වශයෙන් ඇලුමෙක්ස් PLC ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇලුමීනියම් හැඩගැස්වීමේ නිෂ්පාදකයා බවට පත් කරයි.

හේලීස් PLC හි අනුබද්ධ ආයතනයක් වන ඇලුමෙක්ස්, මෙම නව කම්හල මගින් මසකට ඇලුමීනියම් හැඩගැස්වීමේ සහ පවුඩර් ආලේපනය කිරීමේ ටොන් 1000ක ධාරිතාවක් සපුරාලීම තහවුරු කිරීම සඳහා පුද්ගලයන් 185කට අධික සංඛ්‍යාවක් සේවයේ යෙදවීමට අපේක්ෂා කර ඇත.

”මෙම සුවිශේෂී මෙහෙයුම අපේ ධාරිතාව සහ ප‍්‍රමිතිය ඉහළ නංවමින් අපට දකුණු ආසියාවේ ජාත්‍යන්තර තලයේ ඇලුමීනියම් පද්ධති හැඩගැස්වීමේ බලාගාරයක් බවට පත්වීම සඳහා අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කර දෙනවා” මේ පිළිබඳව අදහස් දක්වමින් ඇලුමෙක්ස් PLC සහ හේලීස් PLC සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා පැවසීය. ”මෙම පහසුකම් දෙක මගින් අපට ජගත් තලයේ නිපැයුම් නිෂ්පාදනය කිරීමට සේම ඇලුමීනියම් පද්ධති හා ආකෘති මෙරටට ආනයනය කිරීම අවම කිරීම තුළින් ශ‍්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ඉතිරි කරගැනීමේ අවස්ථාවද සලසනු ලබනවා” යැයි ඔහු වැඩිදුරටත් සදඟන් කළේය.

මෙය ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇලුමීනියම් හැඩගැස්වීමේ කම්හල වේ.

කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන්නේ ඉතාලියේ නිෂ්පාදිත Presezzi 23 meganewton හැඩගැස්වීමේ යන්ත‍්‍ර පද්ධතිය වර්තමානයේ වෙළඳ පොල තුළ පවතින සෙසු යන්ත‍්‍ර පද්ධති සමග සසඳන කල නිෂ්පාදන කටයුතු සඳහා වැය වනනේ ඉතා අවම බලශක්ති ප‍්‍රමාණයකි. නිෂ්පාදනය සඳහා ස්වයංක‍්‍රීය උපකරණ යොදා ගැනීම මෙන්ම ඒ සඳහා අධෝරක්ත කිරණ හා බ්ලූ ටූත් තාක්ෂණයන් යොදා ගැනීම තුළින්ද ඇලුමෙක්ස් විශාල ප‍්‍රතිලාභයක් අත් කරගැනීමට සමත්ව සිටී.

මෙම පවුඩර් ආලේපන කම්හල ආර්ථික මෙහෙයුම සඳහා මෙන්ම ඉහළම කාර්යක්ෂමතාවයක් ලබාදීම සඳහාද අතිශයින් වැඩි දියුණු කරන ලද ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර පද්ධතියකින් සමන්විත ය. 100%ක ප‍්‍රතිප‍්‍රාප්තියක් සහිත අංග සම්පූර්ණ පවුඩර් ආලේපන කාර්යාවලියේදී කිසිදු අපතේ යාමක් සිදු නොවන බැවින් නිෂ්පාදන පිරිවැයද සැලකිය යුතු අන්දමින් අවම කරගැනීමට හැකිවීමද විශේෂත්වයකි. එසේම සමාගම ‘අන්තර්ජාලය ඔස්සේ දෝෂ දුරු කරගැනීමේ පහසුකමක් ’ සමගින් විශිෂ්ට මෙහෙයුම් කාර්යාවලියකට අවතීර්ණය වීමටද සමත්ව සිටී.

පසුගියදා මෙම කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක් සදහා මාධ්‍යවේදීන්ට අවස්ථාව උදාවිය.

එහිදී ඇලුමෙක්ස් PLC කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවල මහතා කියා සිටියේ මෙය ලෝකයේ මෙම කලාපයේ වඩාත් දියුණු ඇලුමීනියම් හැඩගැස්වීමේ හා පවුඩර් අලේපනය කිරීමේ පහසුකම්වලින් සම්න්විත බවයි. මෙම නිෂ්පාදන පහසුකම් දෙක සමගින් ඇලූමෙක්ස් මෙරට වඩාත් ඉදිරියෙන් සිටින ඇලුමීනියම් හැඩගැස්වීමේ සැපයුම්කරු බවට පත්වන අතර ඇලුමෙක්ස් පරිසර පද්ධතිය යටතේ විදෙස් වෙළඳ පොලවල් සමග තරග වදිමින් ජාත්‍යන්තර තලයට පැමිණෙන්නට සහ දේශීය ඇලුමීනියම් සැකසුම්කරුවන් සහ කොන්ත‍්‍රාත්කරුවන් බල ගන්වමින් අපේ පිය සටහන් දකුණු ආසියානු කලාපයේ තබන්නට මේ මගින් හැකියාව උදාවන බවද ඒ මහතා කියා සිටියේය.

මෙම කම්හල සුවිශේෂී වන්නේ අපවිත්‍රජලය ඉතා අවම වීම සහ බැහැර කෙරෙන ජලයද පරිසරයට අංශු මාත‍්‍රයකින් හෝ බලපෑමක් සිදු නොවන ලෙස සම්පූර්ණයෙන්ම පිරිපහදුවට ලක් කෙරෙන බැවිනි. නිෂ්පාදන කටයුතු වලදී මිශ‍්‍රණයන් සඳහා යොදා ගනු ලබන පරිසර හිතකාමී ක්‍රෝම් රහිත රසායනික ද්‍රව්‍යය නිසා ඇලුමෙක්ස් නිෂ්පාදන ජලය කාන්දුවීම, වාතය විනිවිද යාම, සුලං පීඩනය සහ ශබ්ද වලට ඔරොත්තු දෙමින් වසර 30 කාලයක් දක්වා මනා පැවැත්මක් සහිත බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

ඇලුමෙක්ස් 1988ව සරේ සිට ශ‍්‍රී ලංකාවේ පූර්ණ ඒකීය ඇලුමීනියම් ආශ‍්‍රිත නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

නව අදහස දක්වන්න