තෙවසරක වෙනස | දිනමිණ

තෙවසරක වෙනස

වසන්ත ප්‍රිය රාමනායක

ජනාධිපති මෛත්‍රීගේ මැදිහත්වීම නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපති ක්‍රමයේ රකුසු මුහුණුවර ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පසුගිය වසර තුනහමාර තුළ රටට අත්පත් කර ගැනීමට හැකි විය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාගෙන ඒ සඳහා පෞද්ගලිකව මැදිහත් නොවන්නට මේ ජයග්‍රහණ ලබාගැනීම කෙසේ වෙතත් ඊට ළඟාවීමට වුවද නොහැකි වනු ඇත.

සිවිල් යුද්ධයක් පවතින වකවානුවක රටක ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස පැත්තෙන් දක්නට ලැබෙන්නේ ව්‍යාකූලත්වයකි. එය ලෝකයේ ඕනෑම තැනක දක්නට ලැබෙන පොදු සාධකයකි. උදාහරණයක් ලෙස ගතහොත් ජලාශයක බොරදිය වාගේය; අපැහැදිලිය. මේ නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී, මානව විරෝධී විවිධ කාරණා සිදුවිය හැකිය. මේවා සම්බන්ධයෙන් විවේචකයන්, විකල්ප මත දරන්නන්, යුද විරෝධීන් හා මාධ්‍යවේදීන් ප්‍රවේශම් විය යුතුය. නොඑසේ නම් රටක් ත්‍රස්තවාදී, බෙදුම්වාදී ව්‍යාපාරයකින් නිදහස් කර ගැනීමට අවසාන විසඳුම ලෙස යුද්ධයක් ප්‍රකාශ කළ විට ඊට එරෙහි වන සියලු බලවේග අනතුරකට මුහුණ දේ. අපේ රටේ පසුගිය සමයේ සිදුවූයේ නැතිනම් 2009 මැයි 18 ට පෙර දක්නට ලැබුණේ මෙවන් වාතාවරණයකි. එහෙත් 2009 මැයි 18න් පසු සියල්ල වෙනස් විය. ඊට හේතුව එල්.ටී.ටී.ඊ.ය සහමුලින්ම පරාජයට පත්වීමය. මේ නිසා ක්‍රමයෙන් බොරදිය පෑදි දිය බවට පත්වන්නා සේ ශ්‍රී ලංකාව නමැති ජලාශය පවිත්‍ර විය. ක්‍රමයෙන් පතුල පෙනෙන මට්ටමට පෑදී දිය මතුවීමට පටන් ගැනුණි. එය සාමාන්‍යයෙන් සිදුවන්නකි.

ඒ සමඟම එවකට පැවැති රජය වඩාත් උනන්දු වූයේ උතුරු නැඟෙනහිර ඇතුළු රට පුරාම සංවර්ධනය පෙරමුණට ගැනීමට බව පෙනේ. මේ අතර එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් හා හිතවාදීන් පුනරුත්ථාපනය කිරීම ද කඩිනමින් ඇරඹුණි. එහෙත් යුද්ධයට හේතු, මානව හිමිකම් කඩකිරීම, ජාතීන් අතර සුහදතාවය හා සහජීවනය යන කාරණා එතැන් සිට ශ්‍රී ලංකාව ගොඩනැගීමේ දී එතරම් වැදගත් සාධක ලෙස නොසැලකිණ. මින් අදහස් වන්නේ ඉහත සඳහන් කාරණා සම්පූර්ණයෙන්ම බැහැර කිරීම නොවේ. දේශප්‍රේමය තරම් එම කාරණා ඉස්මතු නොවීමය. යුද ජයග්‍රහණයට සාපේක්ෂව වඩාත් ඉස්මතුවීමට පටන් ගෙන තිබුණේ, සංහිඳියාව වෙනුවට දේශප්‍රේමය බව පැහැදිලිය.

මානව හිමිකම්

එය කොතරම් ද යත් සිවිල් යුද සමයටත් වඩා ප්‍රබල විය. ජනවාර්ගික කොටස් කීපයක් ජීවත්වන රටක සිවිල් යුද්ධයක් අවසන් වීමත් සමඟම මහ ජාතියේ දේශප්‍රේමය අසීමාන්තිකව ඉස්මතු කරමින් එල්ටීටීඊය යළි හිස එසවිය හැකිය යන භීතිකාව සමාජගත කිරීමත් සමඟම ඇතිවිය හැකිව පැවතියේ අනෙක් සුළුජාතීන් නොසලකා හැරීමකි. ඔවුන් අනාරක්ෂිත වීමකි.

මීට අමතරව යුද ජයග්‍රහණයෙන් පසුව සිදුවූ මානව හිමිකම් කඩවීම් පවා නොසලකා හැරීමේ තත්ත්වයකට පත්වීම රටේ සමස්ත සහජීවනය ගොඩනැගීමේ ක්‍රියාදාමයට අනතුරුදායක ලෙසින් බලපෑවේය.

ප්‍රභාකරන්ගේ හා එල්.ටී.ටී.ඊ.යේ ඉවත්වීමත් සමඟම සියල්ල සන්සුන් වේ යැයි හෝ එතැන් සිට ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරැකේ යැයි කල්පනා කිරීම සාධාරණ නොවේ. එතැන් සිට වුවද සියල්ල සිදුවන්නේ ක්‍රමයෙනි; සීරුමාරුවටය. ජාතික හා ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් බලාපොරොත්තු වන වේගයෙන් නොවේ. එහෙත් යම් මට්ටමකින් හෝ ඒ සම්බන්ධයෙන් කාලසටහනකට අනුව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සිදුවිය යුතුව තිබුණි. එසේම ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් දිගින් දිගටම කල් නොදමන යම් ක්‍රියාදාමයක් සිදුවිය යුතුව තිබුණි. ඒ වෙනුවට ක්‍රියාත්මක වූයේ සංවර්ධනයයි. සංවර්ධනය හා යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල නව පදිංචිකිරීම් හා යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් නොවිය යුතු යැයි මින් අදහස් නොවේ. එහෙත් මූලික දේශපාලන විසඳුමක්, ව්‍යවස්ථා සංශෝධනයක් හා සංහිඳියා පිළිවෙතක් ක්‍රියාත්මක කිරීම කොමිෂන්වලට පමණක් සීමා වූ බවක් දක්නට ලැබුණි.

මෙහි සමස්ත ප්‍රතිඵලය වූයේ ජනතාව විසින් පසුගිය රජය පෙරළා දැමීමය. එය ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? එවකට පැවති විපක්ෂයේ ශක්තියද? රජයෙන් කොටසක් කැඩී යෑම නිසා සිදුවූක්ද? යනුවෙන් විවිධ විග්‍රහ ඉදිරිපත් කළ හැකිය. මේ සියල්ලේ ඇත්ත නැත්ත කෙසේ වුවද ආණ්ඩුව වෙනස් කළ යුතුය යන ජනමතයක් රටේ නිර්මාණය වී තිබුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීම නිසා එම ජනමතයට නව පණක් ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටේ බහුතර ජනමතය රජයට එරෙහි වී 2015 දී මෛත්‍රී ජනාධිපති වූ අතර ඉන්පසු එළැඹි මැතිවරණයේ දී රටේ ජනතාවගෙන් බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කළ කණ්ඩායම එක්සත් ජාතික පෙරමුණ බවට පත්විය.

මෛත්‍රී ආගමනය

වත්මන් ආණ්ඩුව නිර්මාණය වී තිබෙන්නේ එම ජනමතයට අනුවය. ඊට මෛත්‍රීගේ ආගමනය හා මැදිහත්වීම ප්‍රබල සාධකයක් විය. ගෙවීගිය සමය හුස්ම ගැනීමට ඉඩ ලැබුණු යුගයක් සේ හැඳින්වෙන්නේ නම් එහි නිර්මාතෘ හා මෙහෙයවන්නා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පැහැදිලිය. මේ නිසා මෛත්‍රී සාධකයට පිටුපා ඒ ගැන කතා කළ නොහැකිය.

මෙම වෙනස නිසා පරාජයට පත්වන්නේ යුද ජයග්‍රහණයක් රටට අත්පත් කරදුන් ජනප්‍රිය නායකයෙකි. ඔහු එසේ මෙසේ නායකයෙක් ද නොවේ. වැඩ නොකළ නායකයෙක් ද නොවේ. එහෙත් නිසි වේලාවට කළයුතු ප්‍රතිසංස්කරණ නොකිරීම හා යුද ජයග්‍රහණයෙන් පසු ජනතාව අතර සහජීවනය හා සංහිඳියාව සුළුජාතීන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට ගොඩනැගීමට කෙටිකලක් තුළ නොහැකි වීම මීට හේතුවී තිබෙන බව පෙනේ. ඊට අමතරව එම පාලනයේ සමහරු ගෙනගිය මානව හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හා විවිධ දූෂණ සමස්තයක් වශයෙන් රටේ නායකයාගේ පරාජයට හේතු විය.

එහෙත් ජනාධිපති මෛත්‍රීගේ මැදිහත්වීම නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපති ක්‍රමයේ රකුසු මුහුණුවර ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පසුගිය වසර තුනහමාර තුළ රටට අත්පත් කර ගැනීමට හැකි විය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාගෙන ඒ සඳහා පෞද්ගලිකව මැදිහත් නොවන්නට මේ ජයග්‍රහණ ලබාගැනීම කෙසේ වෙතත් ඊට ළඟාවීමට වුවද නොහැකි වනු ඇත. ඊට හොඳම උදාහරණය 19 වැනි සංශෝධනය වැනි සංශෝධනයක් හැරෙන්නට පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තබා කෙටුම්පතක් වත් එළිදැක්වීමට මේ ආණ්ඩුවට නොහැකි වීමය. එහෙත් වර්ජනය කිරීමට, පෙළපාළි යෑමට, විරෝධතා පැවැත්වීමට, ඕනෑම විවේචනයක් රාජ්‍ය නායකයාට එරෙහිව එල්ල කිරීමට අද හැකියාවක් ලැබී තිබේ. එය කොතරම්ද යත් සමහර නාලිකා අමුතිත්ත භාෂාවෙන් රාජ්‍ය නායකයා ඇමතීම්වලට පවා ප්‍රචාරයක් ලබාදීමට පෙලඹී සිටී.

තොරතුරු පනත

එසේම ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය පනතක් ලෙසින් පිළිගැනේ. එම පනත ආසියාවේ පමණක් නොව ලෝකයේම ප්‍රබල පනතක් බවට පත්ව තිබේ. එහෙත් රාජ්‍යය තුළින් ජනතාවට තොරතුරු ලබාදීමේ සංස්කෘතියක් තවමත් නිර්මාණය වී නැත. දුර්ලබ තොරතුරු කෙසේ වෙතත් ආයතන මඟින් ප්‍රකාශයට පත්කර ඇති ලිපිලේඛනවල ඇති තොරතුරු වුවද ලබාගැනීමේ ප්‍රශ්නයක් සමහර තැනක දක්නට ලැබේ. ඒ සඳහා කල්ගන්නා ප්‍රමාණය ජනමාධ්‍යකරුවනට ප්‍රශ්නයකි.

මේ අතර නිර්මාණය වී තිබෙන මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සමහර තැනක වල්බූරු තැනකටම ගමන් කරමින් සිටී. සමහර වෘත්තීය සමිති වැඩවර්ජන කැඳවන්නේ කල්දීමකින් තොරවය. ආණ්ඩුව ඊට විසඳුම් ලබා දෙන්නේ එදාවේල ක්‍රමයකට වාගේය. මේනිසා විවිධ රාජ්‍ය ආයතනවල ඇති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා එක් ප්‍රතිපත්තියකින් සැකසෙන ජාතික කොමිසමක අවශ්‍යතාවයක් පැනනගී. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා ඉදිරියේ ඉදිරිපත් කිරීමට සූදානම් වීම යහපත්ය. එය මීට ඉහත සිදුවිය යුතුව තිබූ කටයුත්තකි.

මහබැංකු බැඳුම්කර සිදුවීමේ සිට සිදුවෙමින් පවතින නාස්තිය දූෂණය හා අක්‍රමිකතා සම්බන්ධයෙන් වෙනත් පාලනයකට ඇඟිල්ල දිගු කළ නොහැකි මට්ටමක් පැවතිය ද ජනාධිපතිවරයා ගේ ප්‍රබල මැදිහත්වීම් මඟින් එම තත්ත්වය පාලනය කිරීමට සූදානම් වීමත් හා අදාළ පිරිස් නීතිය හමුවට ගෙනඒම කඩිනම් වීම වර්තමානයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයකි.

ජනාධිපතිවරයා නිසා සමහර අයට හා ආයතනවලට සොරකම් හා අක්‍රමිකතාවල යෙදීම ප්‍රශ්නයක් වී තිබේ. ඊට හේතුව ඒවාට එරෙහිව ඔහුගේ මැදිහත්වීම ප්‍රබල ලෙසින්ම සිදුවීමය. මේනිසා සමහර වෙලාවට ආණ්ඩුව ඇතුළේ පාලන දෙකක් දක්නට ලැබුණ ද එය දීර්ඝකාලීන වශයෙන් රටට යහපත්ය. මහබැංකු බැඳුම්කර සිද්ධියට එරෙහිව කොමිෂන් සභා පත්වීමද, සිංගප්පූරු ගිවිසුම ගැන සමාලෝචන කිරීමට කමිටුවක් පත්කිරීමද මීට හොඳම උදාහරණ දෙකකි. මේ නිසා පසුගිය තෙවසර තුළ ආණ්ඩුව ඇතුළතින්ම සමහර කාරණා සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා මතුවී නිවැරදි ක්‍රියාවලිය මතුපිටට එමින් පවතී. එය සමහර තැනක අවුලක් ලෙසින් පැවැතිය ද වත්මන් ද්විපාර්ශ්වික රාජ්‍ය සංයුතිය නොවන්නට මේ වනවිටත් පැරණි පාලනවලටත් වඩා අන්ත තත්ත්වයක් නිර්මාණය වීමට ද ඉඩ තිබුණා යැයි කෙනෙකුට සාධාරණව තර්ක කළ හැකිය.

මේනිසා ජනාධිපතිවරයාගේ සක්‍රීය මැදිහත්වීම් සමගින් යම් හුස්ම ගැනීමට හැකියාවක් ඇතිවී තිබෙන නමුත් එය රටක් වශයෙන් ගත් කල අතිශයින් සතුටු විය නොහැකිය.

නව අදහස දක්වන්න