බස් මුදලාලි | දිනමිණ

බස් මුදලාලි

පෞද්ගලික බස් රථ හිමියන්ගේ ද රියැදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ ද හැසිරීමට අනුව මෙවැන්නක් සටහන් කර තැබිය හැකි ය. බස් රථ අපේ ය. පාරවල් අපේ ය. පාලනය අපේ ය. ඒ පමණක් නො ව; මගීන් ද අපේ ය. එබැවින් අපගේ මනාපයට අනුව මහ පාරේ බස් ධාවනයට ඉඩ දිය යුතු ය. මෙය තර්ජනයක් ලෙස ද සැලැකිය හැකි ය. එම තර්ජනය පොලිසියට එල්ල වෙයි. ලංගමයට එල්ල වෙයි. මගී ජනතාව වෙත එල්ල වෙයි. අවසානයේ ආණ්ඩුව වෙත ද එම තර්ජනය එල්ල වෙයි. මේ අනුසාරයෙන් බලනවිට පොලිසිය දඩකොළ දීමෙන් වැළැකිය යුතු ය. ලංගම බස් රථ පෞද්ගලික බස් රථවලට ඉඩ දිය යුතු ය. මගී ජනතාව බස්කාරයන්ට යටත්විය යුතු ය. ආණ්ඩුව බස්කාරයන් කියන දෙයක් ම කළ යුතු ය.

මීට සම්බන්ධ ඉතා වැදගත් සිද්ධියක් හසලක ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එම සිද්ධියට අනුව ලංගම බස් රථයකට ගොඩවන හෙංචයියෝ පිරිසක් පොලු මුගුරු අමෝරමින් ලංගම රියැදුරාට හා එම කොන්දොස්තරවරයාට තර්ජනය කරති. ඔවුන්ගේ අවවාදය වන්නේ පෞද්ගලික බස් රථයට පසුපසින් ලංගම බසය ගමන් කළ යුතු බව ය. හසලක ඩිපෝවට අයත් මේ බස් රථය පාසල් බස් රථයක් ලෙස උදෑසන හයට රන්දෙණිගල සිට හසලක කොළොන්ගොඩ දක්වා ධාවනය වෙයි. මිනිපේ හයේ කණුව අසල දී පෞද්ගලික බස් රථ දෙකක් මාර්ගය හරස් කොට මේ තර්ජනය සිදුකර තිබේ. බස් රථයේ සිටි මගියෙක් සිද්ධිය වීඩියෝ ගත කර මාධ්‍ය වෙත මුදාහැර ඇත.

සිද්ධිය වීඩියෝ ගත කළ මගියාට පළමුව ස්තුති කළ යුතු ය. මෙවන් සිදුවීම් දිනපතාම රටපුරා සිදුවන’ මුත් මගී ජනතාව ඊට එරෙහි ව නැගී සිටින්නේ නැත. ලංගමය ද ආයතනයක් ලෙස දුර්වල බැවින් බස් මුදලාලිලා සමඟ ගැටුම් ඇති කර ගැනීමට යන්නේ නැත. පොලිසිය වුව ඉහත ආකාරයේ ගැටුම්වලට මැදිහත්වීමට මැළිකමක් දක්වයි. මේ සියල්ලෙන් ම සිදුවන්නේ ප්‍රයිවට් බස්කාරයා තම ආධිපත්‍යය හා ඒකාධිකාරය තවදුරටත් තහවුරු කරගැනීම ය. ඇතැම් මාර්ගවල ලංගම බස් දුවන්නේ ම නැත. එම මාර්ගවල ලංගම බස් රථ ධාවනය කළහොත්; එක්කෝ පහර දෙයි. නැතහොත් පෞද්ගලික බස් වර්ජනයක් ආරම්භ කරයි. අද අපේ පාරවල්වල ඇත්තේ පෞද්ගලික බස් මාෆියාවකි.

හසලක සිද්ධිය දෙස නැවත හැරී බැලුවහොත්; එක්තරා බස් හිමියකු එම මාර්ගය බදු අරගෙන සිටින බවක් පෙනෙයි. පාසල් බස් රථයකට පවා ධාවනය වීමට ඉඩ නොදීමෙන් පෙනී යන්නේ බස්හිමියාගේ චණ්ඩිකම ය. ඔහු පොලිසියටත් භය නැති; ආණ්ඩුවටත් භය නැති; නීතිය තුට්ටුවකට නොසලකන කෙරුම්කාරයකු බව පෙනී යයි. අපට ලැබී ඇති ඇතැම් තොරතුරුවලට අනුව මේ බස් මුදලාලි තම බස් රථ ධාවනය කරන්නේ මාර්ග බලපත්‍ර පවා ලබා නො ගෙන ය.

1977 ජේ. ආර්. ජයවර්ධන පාලනය යටතේ පෞද්ගලිකව බස් ධාවනයට නිල අයිතියක් ලබා දුන්නේ රටේ ප්‍රවාහන සේවා කාර්යක්ෂම කිරීම සඳහා ය. ව්‍යාපාරයක් ලෙස එය ලාභදායක ය. ඒ අනුව විශාල පිරිසක් පෞද්ගලික බස් ව්‍යාපාරයට එකතු වූහ. ලංගමය දුර්වල කිරීමේ කිසිදු අපේක්ෂාවක් ජයවර්ධන ආණ්ඩුවට තිබුණේ නැත. ජයවර්ධන මහතාගේ ඉලක්කය වූයේ තරගකාරී තත්ත්වයක් ඔස්සේ මහජනයාට වඩාත් හොඳ සේවාවක් ලබාදීම ය. එහෙත් අද සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්ත ය. පෞද්ගලික බස් හිමියන් මගී ප්‍රවාහනයේ අධිකාරි බලය තමන් වෙත පවරාගෙන ඇති අතර; එම බලය ආණ්ඩුවට එරෙහි අවියක් ලෙස ඔව්හු භාවිත කරති. බස් වර්ජන මීට ලබා දිය හැකි හොඳ ම නිදසුන ලෙස පවතී.

පෞද්ගලික බස් හිමියන් සතු බස් සංගම් ගණනාවක් පවතී. මේ බස් සංගම් කටයුතු කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික වාසිය පදනම් කරගත් න්‍යාය පත්‍රවලට අනුව ය. ඔව්හු රථවාහන නීතියට අභියෝග කරති. තෙල් මිලට අභියෝග කරති. බස් රථවල ටයර් හා අමතර කොටස්වල මිල සම්බන්ධයෙන් අභියෝග කරති. මේ විදිහට ගියහොත් බස් සංගම් රටේ පාලනයට ද සම්බන්ධ වීමට ඉඩ තිබේ. බස් සංගම් කියන කියන හැටියට නැටීම පාලකයන්ගේ ස්වභාවය නොවිය යුතු ය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තවත් බස් වර්ජනයක් ක්‍රියාත්මක වීමට නියමිත ව තිබිණි. එම වර්ජනයේ ප්‍රධාන සටන්පාඨය වූයේ රථවාහන සඳහා වූ අලුත් දඩ ක්‍රමය ඉවත් කරනු යන්න ය.

රථවාහන සඳහා අලුත් දඩ ක්‍රමයක් සම්පාදනය වූයේ විශේෂඥ කමිටුවක නිර්දේශ මත ය. අලුත් දඩ ක්‍රමයේ මූලික ඉලක්කය වන්නේ රථවාහන ධාවනය පිළිබඳ විනයක් ඇතිකොට මාර්ග අනතුරු අවම කර ගැනීම ය. ශ්‍රී ලංකාව තුළ රථවාහන අනතුරු ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන්ගෙන තිබේ. රථවාහන අනතුරු බහුල රටක් හැටියට ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රසිද්ධ වෙමින් පවතී. දිනකට මාරක රිය අනතුරු පහකට වැඩි ප්‍රමාණයක් වාර්තා වීමෙන් මේ තත්ත්වය තවදුරටත් සනාථ වෙයි. අවිනීත ලෙස රථවාහන ධාවනය සම්බන්ධයෙන් සලකා බලනවිට පෞද්ගලික බස් මුල්තැනට එයි. ඇතැම් බස් හිමියන් දඩ කොළවලට ගෙවීම සඳහා වෙන ම සේවකයකු පත්කරගෙන සිටීම ප්‍රසිද්ධ රහසක් බවට පත්වැ තිබේ.

පෞද්ගලික බස් රථ වර්ජනය ගැන කතිකාවකට එක්වූ එක්තරා සංගමයක නිලධාරියෙක් කියා සිටියේ බස් රථයක් තවත් වාහනයකට ඉස්සර කිරීමේ දී වම් පැත්ත භාවිත කළහොත්; අලුත් දඩ ක්‍රමයට අනුව ඊට රුපියල් දෙදහසක දඩයක් නියම වන බව ය. එය අයුක්තියක් බව ද පැරණි ක්‍රමයට අනුව එම දඩ මුදල රුපියල් පන්සියය විය යුතු බව ද ඔහු කියා සිටී. මේ කතාවෙන් පැහැදිලි වන්නේ හිතුවක්කාරි ලෙස ධාවනයට ඉඩක් ලබාගැනීම බස් හිමියන්ගේ යටි අරමුණ වී ඇති බව ය. අලුත් දඩ ක්‍රමයේ එක නීතියක්වත් නරක නැත. ඒවා අහෝසි කරගැනීමට වෑයම් කරන්නෝ නීතිය හෑල්ලුවට දමන්නෝ ය.

අපේ රටේ සිදුවන වැඩ වර්ජනවලින් බහුතරය එක්කෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් ය. නැතහොත් ප්‍රවාහන ක්ෂේත්‍රයට අයත් ය. මේ දෙක ම අත්‍යවශ්‍ය සේවාවන් ය. මේවායෙහි කාර්ය මණ්ඩලවලට හිටිහැටියේ වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට ඇති අවස්ථාව අහිමි කළ යුතු ය. එලෙස ම හසලක බස් මුදලාලි වැනි අය නීතිය හමුවට පැමිණ විය යුතු ය.

 

නව අදහස දක්වන්න