මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න කැඳවූවත් ඉල්ලීම නොසළකා හැරියා | දිනමිණ

මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න කැඳවූවත් ඉල්ලීම නොසළකා හැරියා

විජයානි එදිරිසිංහ

ද නේෂන් පුවත් පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය පිටුපස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින බව කිත් නොයාර් මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බොන් නුවර දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමට ලබා දුන් ප්‍රකාශයෙන් අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කිත් නොයාර් මහතා රහස් පොලිසියට ලබා දුන් ප්‍රකාශය ඉතා දිර්ඝ ප්‍රකාශයක් වන අතර එහි එම පහරදීම සහ තවත් සිද්ධින්වලට අදාළ තොරතුරු ඇතුළත් බවද වාර්තා වෙයි.

එම ප්‍රකාශයෙන් හෙළි වු තොරතුරු මත ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා ඇතත්, ඒ මහතා එම ඉල්ලීම නොසළකා හැරිය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම නිසා අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස වෙත ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අස්සනින් යුත් ලිපියක් යවා තිබේ. එම ලිපිය එම නිවසට බාර දුන් බවට සහතික කර ඇතැයි ද රහස් පොලිසිය කියා සිටියි.

ඒ අනුව හෙට 17වැනි දා පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශය ගැනීමට නියමිතව ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තුව මේ සම්බන්ධයෙන් අධිකරණය ද දැනුවත් කර තිබුණි.

කිත් නොයාර් මහතාට පහරදීම සිදුවී තිබුණේ 2008 මැයි 22 වැනිදිනය. එදින කිත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක්වීමත් සමඟ කිත් නොයාර් මහතාගේ සමීපතම මිතුරන් දෙදනකු වු එවකට රිවිර පුවත් පතේ සභාපතිවරයා වු ක්‍රිෂාන්ත කුරේ මහතාත්, ලලිත් අලහ‍කෝන් මහතාත් කතානායක කරු ජයසුරිය මහතාට කතා කර කීත් නොයාර් මහතා පැහැර ගැනීමකට ලක්වී ඇති බවත් ඔහුගේ ජීවිතය බේරා දෙන ලෙසත් ඉල්ලා ඇත.

ඒ අවස්ථාවේ කරු ජයසුරිය මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කතා කර කිත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් ඇති බවත්, රජය එවැනි දෙයක් කළානම් රජය ලැජ්ජාවට පත් විය යුතු බවත්, එවැනි රජයක් තුළ සිටීම නුසුදුසු යැයි හැගෙන නිසා තමා රජයෙන් ඉවත් වු බවත් කරු ජයසුරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයේ සඳහන් වී තිබුණි එම ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගල්කිස්ස අධිකරණයට වාර්තා කර තිබුණි.

කිත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය වී වසර දහයක් පමණ ගත වුවත් එම කාලයේ මේ සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදුවී නොතිබුණි. නැවත මීට වසරකට පමණ පෙර මෙම සිද්ධිය සම්බන්ධව නැවත පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී දැනට ඔස්ට්‍රෙලියාවේ සිටින කිත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තිබුණි. එහිදී එම ප්‍රකාශය ලබාගෙන ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරායාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළ කරුණු පෙරේදා රහස් පොලීසිය මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබුණි.

අදහස් 1ක් ඇත

In the civilized world, no one is above the law when it comes to criminal activity or misusing by fraudulent means.. He has to appear in court himself like any other. Do not visit his house for a statement. Even the PM of Israel had to present himself in court for inquires. (Just one recent example out of hundreds in the past)

නව අදහස දක්වන්න