අපි තව­මත් අස­මත් ද? | දිනමිණ

අපි තව­මත් අස­මත් ද?

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය  සිරි­මල් අබේ­රත්න

රටක සංවර්ධනය නීර්ණයකිරීමේ මූලිකම සාධකය ආර්ථිකයයි. ආර්ථික වර්ධනය හා එහි ස්ථාවර බව ජනජීවිතයේ සෞභාග්‍ය පිළිබිඹු කරන මූලිකම සාධකයයි. මේ අනුව මෙරට වත්මන් ආර්ථික තත්ත්වය විග්‍රහ කළ හැක්කේ කෙලෙසද? දිනමිණ ‘කප්රුක’ වෙනුවෙන් මේ පිළිබඳව සංවාදයක නිරතවූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමඟයි.

 

මෙරට වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ඔබගේ විග්‍රහය කුමක්ද?

ආර්ථිකය පිළිබඳව මූලික දර්ශක පදනම් වූ ඉලක්කම් කීපයකින් ආර්ථිකයේ ඉදිරිගාමී බව මන්දගාමී බව, හෝ පසුගාමී බව හඳුනාගත හැකියි.

මේ පිළිබඳ විග්‍රහයේදී ආර්ථික වර්ධන වේගය නමැති සාධකය ඉතාමත් වැදගත්. මගේ අදහස වන්නේ ලංකාව වැනි රටක පවත්වාගත යුතු ආර්ථික වර්ධන වේගය සියයට 8% ක් පමණ වියයුතු බවයි. එසේම එම වර්ධන වේගය වසර 20 ක්, 30 ක් පමණ කාලයක් අඛණ්ඩව පවත්වා ගැනීමත් වැදගත්. නමුත් මෙම තත්ත්වය ඇතිකරගැනීමට අපි අසමත්. වර්තමානයේ පමණක් නොවේ අපේ ඉතිහාසයේත් එසේ කළ බවට සාධක නෑ.

නමුත් ආර්ථික වර්ධන වේගය ‍එවැනි මට්ටමකට ඔසවා තැබීම කිසිසේත්ම කළ නොහැක්කක් නොවේ. ආසියාවේ රටවල් ගණනාවක් එම තත්ත්වය උදාකරගෙන තිබෙනවා. ඒ රටවල් සමඟ සසඳා බැලීමේදී අපේ රටේ දේශසීමා අරගල ඇත්තේ නෑ. සාමකාමී කුඩා රටක්. යම් ඉලක්කයකට ළඟාවීමට මුලින් සඳහන් කළ රටවල්වලටත් වඩා පහසුය.

 

බ පැවසුවා ආර්ථික වර්ධන වේගය මෙන්ම ආයෝජන වැඩිවීම වැදගත් බව?

රටක් වශයෙන් අපි අපේක්ෂා කළ පමණින් ආයෝජන වැඩිවී නොමැතිකම මේ ගැටලුවේ මීළඟ අර්ධයයි. ආයෝජන වැඩි වන්නේ රටෙහි සිටින ව්‍යවසායකයින් තම ආයෝජන ප්‍රමාණය වැඩිකිරීමෙන්. එසේ නොමැතිනම් විදෙස් ආයෝජන ප්‍රමාණය වැඩි කරගත යුතු වෙනවා.

වසරකට ලොව පුරා ඩොලර් බිලියන 1500, නැතිනම් ඩොලර් ත්‍රිලියන 1.5 ක ප්‍රමාණයක් විදෙස් ආයෝජන ගලා යනවා. එයින් සියයට 1 ක ප්‍රමාණයක් අත්කර ගැනීමට අපේක්ෂා කලත් බිලියන 15 ක ප්‍රමාණයක්. නමුත් තවමත් අපිට හිමිවී තිබෙන්නේ බිලියන 1 ක් වැනි ඉතාමත් අඩු පංගුවක්.

විදෙස් ආයෝජන ළඟාකරගැනීමට අපි අපොහොසත් වී සිටින කාරණය කුමක්ද? අපි වහා පිළිතුරු සෙවිය යුත්තේ මේ කාරණය සඳහායි. “ලෝකේ උතුම් රට ලංකාවයි” යනුවෙන් අපි විසින්ම හැඳින්වූවත් විදේශිකයින් අප පිළිබඳව විශ්වාස නොතැබීමට හේතු හඳුනාගත යුතුයි.

 

වෙළෙඳ පොළ පුළුල් කිරීම අප වැනි කුඩා රටකට අභියෝගයක් නොවේද?

රටක ආර්ථික වර්ධනය වනවිට වෙළෙඳ පොළ පුළුල් කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. දේශීය වෙළෙඳ පොළ කුඩායි. ආයෝජන වැඩි වනවිට නිෂ්පාදනය වැඩිවෙනවා මේ නිෂ්පාදනවල ඉලක්කය විය යුත‍්තේ විදෙස් වෙළෙඳ පොළයි.

චීනයේ ජනගහනය මිලියන 1400 ක්. ඉන්දියාවේ මිලියන 1200 ක්. එතරම් විශාල වෙළෙඳපොළක් තිබියදීත් ඔවුන්ට ඒ වෙළෙඳපොළ කුඩායි. ඒ නිසා ඔවුන් විදෙස් වෙළෙඳ පොළ අපේක්ෂාවෙන් ආයෝජන සිදුකරනවා. එසේනම් අපේ මිලියන 21 ක වෙළෙඳපොළෙන් පමණක් අපිට සෑහීමට පත්විය හැකිද? ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජයගැනීමේ අපේක්ෂාවෙන් ආයෝජන වැඩිකිරීම වැදගත් වෙන්නේ මෙම කාරණා නිසායි.

නමුත් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි අපි අත්කරගෙන සිටින තැන ක්‍රමයෙන් ප්‍රචාරණය වීම වෙනුවට හැකිලෙමින් පවතින බව හඳුනාගත යුතු වෙනවා.

වැඩ වර්ජන මෙම කාරණාවන්ට බලපාන්නේ කෙලෙසද?

මේ වර්ජන සියල්ල ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය අංශයේයි. ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමට උත්සාහ ගැනීමේදී රාජ්‍ය අංශය ඉටුකරනුයේ ඊට පහසුකම් සැපයීමේ කාර්යයයි.

රාජ්‍ය අංශය මූලික වශයෙන් අංශ දෙකකින් යුතුය. ඒ පරිපාලන අංශය හා රාජ්‍ය ව්‍යවසාය අංශයය. රටක් වශයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ කොතෙක් සිදුකළද රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ දිගින් දිගටම කල්දැමීම මෙම ගැටලුවට මූලිකම හේතුවයි. එය දිගින් දිගටම කල් දැමූ විෂයක් බවට පත්වෙලා. වේගයෙන් ඉදිරියට යන ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පහසුකම් මේ රාජ්‍ය අංශයෙන් නොලැබීම මූලික ගැටලුවයි.

වැටුප් වැඩිවීම් සිදුවිය යුතු කරුණක් රාජ්‍ය පොහොසත් වනවිට එය ජනතාව අතර බෙදී යා යුතුයි. නමුත් රට වේගයෙන් සංවර්ධනය නොකර ප්‍රතිඵල අපේක්ෂා කරනවා. ගහ හොඳින් හදා නොගෙන හොඳ ඵලදාවක් අපේක්ෂා කිරීම වැනි කාරණයක් සිදුවන්නේ.

අපගේ රාජ්‍ය අංශයේ ආයතනවල පවතින මූලික ගැටලුව වන්නේ එහි ආදායම් ඉපයීම හා වියදම් කිරීම යන කරුණු අංශ දෙකක් ලෙස පිටස්තරව පාලනය වීමයි.

දුම්රිය සේවයේ වැටුප් වැඩිවිය යුත්තේ එම සේවයේ ඵලදායිතාවය කාර්යක්ෂමතාව නිෂ්පාදනය හා ආදායම් යන කරුණු මතය.

මේ පිළිබඳව තීරණය කළ යුත්තේ එහි පරිපාලනය විසිනුයි. පෞද්ගලික සමාගමක නම් ‘CEO’ ප්‍රධාන පරිපාලන නිලධාරි විසින් මේ පිළිබඳව නිගමනයන්ට එළඹෙනවා. නමුත් දුම්රිය සේවාවේ එවැනි තනතුරු තිබුණත් ඔවුන් සිදුකරනුයේ ලියුම් ලිවීම ඒවාට අස්සන් තැබීම වැනි කාරණා පමණයි. වෙනත් රටවල දුම්රිය ගාස්තු පිළිබඳව තීරණය කරනුයේ ධාවනය සඳහා වැයවන පිරිවැයට අනුවය. යටිතල පහසුකම් සඳහා වැයවන වියදමින් කොටසක්ද මේ සඳහා එක්කළ යුතු වෙනවා. නමුත් මෙරට තත්ත්වය වෙනස්. ධාවනයෙන් ලැබෙන ආදායම මෙන් දෙගුණයක ප්‍රමාණයක් ධාවනය සඳහා වැයවෙනවා. ඉතිරි මුදල වැය කිරීමට සිදුවෙන්නේ පොදු මහජනතාවගේ බදු මුදලින් තවත් ආකාරයකට කියනවා නම් කිසි දිනක දුම්රියේ ගමන් නොකරන අය පවා දුම්රිය ධාවනය වෙනුවෙන් ගෙවනවා. වෙනස් විය යුත්තේ මේ ක්‍රමයයි.

 

ඔබ අදහස් කරන්නේ මෙම ආයතන පෞද්ගලීකරණය විය යුතු බවද?

සාමාන්‍යයෙන් රටක ප්‍රවාහනය රාජ්‍ය ව්‍යවසායක් ලෙසයි පවතින්නේ. මෙරට බස් සේවයේ කොටසක් පෞද්ගලික අංශය සතු වන අතරම කොටසක් රාජ්‍ය ව්‍යවසාය වශයෙන් පවතිනවා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව ඒ නිසාම එය රාජ්‍ය ව්‍යවසායක් නො‍ෙව්.

අනෙක් කරුණ රජයටඅයත් ආයතන ලෙස පවතිමින් ආදායම් උපයන ආයතනයක් බවට අපගේ දුම්රිය සේවය පත්කිරීමේ හැකියාවක් නැතිද? දැනට මෙරට ක්‍රියාත්මක වන චීන ආයෝජන සමාගම් බොහොමයක්ම පාහේ චීන රජයට අයත් සමාගම් හම්බන්තොට වරාය ගත්තේ චීන රජයට අයත් සමාගමක් විසින්.

බංග්ලාදේශයේ දුම්රිය සේවය පුළුල් කරනවිට අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට සමාගමක් ලෙස ඊට ඉදිරිපත් වීමට නොහැකිද? අපේ රටේ දුම්රිය සේවය ආරම්භ කළේ ජපානයටත් කලින්. දැන් ජපානයේ දුම්රියේ වේගය පැයට 350km වෙනවා. ඔවුන්ගේ අපේක්ෂාව එය 600km බවට දියුණු කිරීමට. නමුත් අපේ දුම්රිය සේවයේ වේගය කොතැනද තිබෙන්නේ. සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් සිටිනවා. නමුත් දුම්රිය වර්ජනය නිසා අපහසුතාවයට පත් විදේශිකයින් ප්‍රමාණය කොතෙක්ද? ඇතැම්විට සංචාර සැලසුම් කෙරෙන්නේ දුම්රිය පදනම් කරගෙනයි. රාජ්‍ය අංශයෙන් සිදුවිය යුතු පහසුකම් සැපයීම යන්න වියැකී සිදුවී ඇත්තේ සංවර්ධනයට බාධා කිරීමය. ඒ බවට ‘දුම්රිය’ හොඳම සාධකයක්.

 

ආයෝජන අඩුවීමට රාජ්‍ය අං‍ශයේ අකාර්යක්ෂම බව බලපාන බවද ඔබ පවසන්නේ?

රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව ආයෝජකයින්ට රට කෙරෙහි විශ්වාස අඩුවීමට බලපෑ මූලික කාරණයක්. විශ්වාසවන්තව හිතවත් සේවයක් මේ රාජ්‍ය අංශයෙන් ලැබේවිද යන්න පිළිබඳව සැකසහිතයි.

ආයෝජන අඩුවීමට තවත් හේතු තිබෙනවා. විදුලිබිල ඉතා ඉහළ රටක් ලෙස මෙරට ව්‍යාපාර ආරම්භ කිරීමට බොහෝදෙනෙක් මැලි වෙනවා. බිල කොතෙක් ඉහළ වුවත් විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තත්ත්වයද මෙවැනියි. ගුවන් යානා ඉන්ධන සැපයීමෙන් විශාල ආදායමක් ලබා ගැනීමට එම ආයතනයට හැකියාව පවතිනවා. නමුත් ගුවන් යානා ඉන්ධන සැපයීමේදී මේ කලාපයේ ඉන්ධන මිල ඉහළම රට ලංකාවයි. ඒ නිසා ගැනුම්කරුවන් අඩුයි. නමුත් එවැනි අංශයකින් ආදායම් ඉපයීම සඳහා ක්‍රමවේද හඳුනාගත යුතු වෙනවා. පෞද්ගලික අංශයකය මෙවැනි අවස්ථා මඟහරින්නේ නෑ. මෙවැනි ව්‍යාපාර රාජ්‍ය අංශයේ මේ තත්ත්වයෙන් තැබීමෙන් සිදුවී තිබෙන්නේ ආදායම් ඉපයීම සීමාවීමයි. ආදායම් වැඩිකිරීම ඔවුනගේ කාර්යයන් හෝ වගකීමක් ලෙස කිසිසේත්ම නොසිතන නිසාම දුෂණය හා නාස්තිය වැඩිවී තිබෙනවා වර්ජන කිරීම හිමිකමක් බවට පත්වී තිබෙනවා.

 

මේ තත්ත්වය වෙනස් කිරීමට ගත යුතු පියවර කුමක්ද?

ඒ සඳහා දර්ශනයක් සහිත නායකත්වයක් තිබිය යුතු වෙනවා. කලාපයේ දියුණුවට පත් රටවල් දෙස බලනවිට ඒ බව හඳුනාගත හැකියි. තවමත් අපේ නායකයින් සාකච්ඡා කරනුයේ අතීතයට යාමක් පිළිබඳවය. පරාක්‍රමබාහු යුගයට යාමවැනි කාරණාය. එ‍ෙස් වී තිබෙන්නේ ඔවුන්ට අනාගතය පිළිබඳ දර්ශනයක් නොමැතිකමයි. ඩුබායි කියන්නේකාන්තාරයක්. සිංගප්පූරුව කියන්නේ වතුරවත් නැති පුංචි රටක්. නමුත් ආසියාවේ දියුණුම නගර බවට ඒවා පත්කළේ දර්ශනයක් සහිත ඉදිරිගාමී නායකයන් විසින්. මේ රටවල් සමඟ සසඳනවිට අප සතු සම්පත් අසීමිතයි. නමුත් කුමක්ද මේ ජනතාවගේ වරදින්ද සියල්ල සිදුවී තිබෙන්නේ. නායකත්වයට වඩා වැදගත් ජනතාව මෙහෙයවිය යුත්තේ නායකත්වය විසිනුයි.

ඩුබායි හී ජනගහනය මිලියන පහක් පමණ වෙනවා. එයින් එරට වැසියන් සිටින්නේ මිලියන එකහමාරක් පමණයි. ඉතිරි සියල්ලෝම විදේශිකයින්. මිලියන හතරක පමණ පිරිසක් අර මිලියන එකහමාර වෙනුවෙන් වැඩෙහි නිරතව සිටිනවා. මගේ දැක්මට අනුව එරට වැසියන් ජීවිතය විඳින අතර පිටරැටියන් ඔවුන් වෙනුවෙන් සේවය කරනවා.

සිංගප්පූරුව වුණත් එලෙසම ඔවුන් ඔවුන්ගේ මානව සම්පත දියුණු කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් වෙනත් රටවල් විසින් දියුණු කරන ලද මානව සම්පත මිලදී ගන්නවා. අපේ රට සිදුකරනුයේ මානව සම්පත දියුණු කිරීමයි. ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ජපානය, ඩුබායි වැනි රටවල් ඒ සම්පත ප්‍රයෝජනයට ගන්නවා. විශාලම ගැටලුව මේ මානව සම්පත දියුණු කරනුයේ රජයේ මුදලින් එහි ප්‍රතිලාභ හිමිවෙන්නේ වෙනත් රාජ්‍යයකට.

 

බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

ශිෂ්ටසම්පන්න සමාජයක ජීවත්වෙන සියලුම දෙනා බදු ගෙවිය යුතුයි. ශිෂ්ට නොවීම යනු වනචාරී බවය. ගහමරා ගන්නා ඇන‍කොටාගන්නා සමාජයක කිසිදු පාලනයක් නෑ. එවැනි තැනක බදු ගෙවිය යුතු නෑ. නමුත් දියුණු සමාජයක ජීවත්වීමේදී බදු ගෙවිය යුතු වෙනවා.

නමුත් බදු ගෙවීම හා මංකොල්ලකෑම අතර වෙනසක් නැති බව හැඟෙන්නේ ඒ බදු මුදල් නිසි ලෙස පරිහරණය වෙනවාද යන ගැටලුවට අනුවය. ගෙවන බදු නාස්ති නොවී දූෂණය නොවී නිසි පරිදි පරිහරණය වේය යන විනිවිදභාවය ඇතිකිරීමත් වැදගත්.

 

ණය ලබාගැනීම හා ණය ගෙවීම මේ යාන්ත්‍රණයේම කොටසක් නේද?

මේ වනවිට ණය ලබාගැනීම ඉතාම සංකීර්ණ තත්ත්වයක් බවට පත්වී තිබෙනවා.

අප විසින් සීමාව ඉක්මවා කොතෙක් වියදම් කර තිබේද කියනවා නම් මේ වනවිට ණය ගෙවීම සඳහා ණය ලබාගැනීමට සිදුවී තිබෙනවා. මේ ණය ගෙවීමට ආර්ථික වර්ධනය වැඩිකරගත යුතු වෙනවා. ඒ සඳහා ආයෝජන වැඩිකිරීම මෙන්ම වෙළෙඳ පොළ පුළුල් කිරීමත් වැඩි කළ යුතු වෙනවා. එවිට බදු ආදායම් වැඩිවී ජනතාව වෙනුවෙන් ලබාදෙන සේවාවන්ගේ තත්ත්වය වඩා දියුණු කළ හැකි වෙනවා. ආයෝජන වැඩි තැනට තව තවත් ආයෝජනගලා එනවා. එය සමාජ යථාර්ථයක් එසේම ආයෝජන අඩු වනවිට තිබෙන ආයෝජන පවා අහිමි වෙනවා.

 

බුද්ධික බ්‍රාහ්මණගේ


නව අදහස දක්වන්න

Or log in with...