රැකියා වෙළෙඳ පොළ සහ ආර්ථි­කය | දිනමිණ

රැකියා වෙළෙඳ පොළ සහ ආර්ථි­කය

යම් පුද්ගලයකුගේ දියුණුවේ ගමන් මඟ තීරණය වන්නේ එම පුද්ගලයා අනුගමනය කරන ජීවන මාර්ගය (ජීවනෝපාය) අනුවය. වර්තමානයේ පවතින අධි සුඛෝපභෝගී ආර්ථික ක්‍රමය හමුවේ ‍මිනිස් ප්‍රජාව තමන්ට අනන්‍ය වූ රැකියාවන් සොයා යාමක් දක්නට ලැබේ. ඒ තුළින් ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳ පොළ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විහිදී ගොස් ඇත. පහත දැක්වෙන්නේ ‘ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳ පොළ හා ආර්ථිකය’ පිළිබඳ විද්වත් සටහනකි.

මෙරට රැකියා වෙළෙඳ පොළ, රැකියා සඳහා පවතින ඉල්ලුම, පවතින සැකසුම, ආයතනික ව්‍යුහය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවල සංකලනයෙන් සකස් වන්නකි. ශ්‍රමය යනු කිසියම් ආර්ථිකමය ලාභයක් සඳහා මිනිසුන් කායිකව සහ මානසිකව වෙහෙස වීමයි. ශ්‍රම ඉල්ලුම යනු ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගත මානව සම්පත්, මිල දී ගැනීමට (වැටුප්) ගැනීමට‍ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ ආයතන විසින් කරණු ලබන යෝජනාවකි.

සාමාන්‍යයෙන් රටක, ශ්‍රම ඉල්ලුම කරුණු රාශියක් මත රඳා පවතී. ඒවා අතර ප්‍රධාන වන්නේ මූල්‍ය වැටුප් මට්ටම, භාණ්ඩ හා සේවාවල මිල මට්ටම, පුහුණුව හා අධ්‍යාපන මට්ටම භාවිත කරන නිෂ්පාදන සාධකවල ස්වභාවය හා එලදායීතාවය යනාදිය දැක්විය හැකිය. මේ සාධක අතරින් වඩාත් වැදගත් වන්නේ වැටුප් මට්ටමයි. සාමාන්‍යයෙන් මූර්ත වැටුප සහ ශ්‍රම ඉල්ලුම අතර සෘණ සම්බන්ධතාවක් පවතී. එනම් මූල්‍ය වැටුප් වැඩි වන විට ශ්‍රමයට පවතින ඉල්ලුම අඩු වන අතර, මූල්‍ය වැටුප් අඩු වන විට ශ්‍රමයට පවතින ඉල්ලුම වැඩි වේ.

රටක ශ්‍රම සැපයුම යනු එහි වෙසෙන ශ්‍රම බළකායේ, සමස්ත ප්‍රමාණය, ගුණාත්මක ස්වරූපය හා තාක්ෂණික දැනුම, පුහුණුව හා අධ්‍යාපනය යනාදිය මත පවතින, වැටුප් සඳහා, ශ්‍රමය සැපයීමට ඉදිරිපත් වන්නන්ගේ සංඛ්‍යාවයි. සාමාන්‍යයෙන් ශ්‍රම සැපයුම, ඉහත දැක් වූ කරුණු මත තීරණය වේ. සමස්ත ශ්‍රම සැපයුම ගණනය කරනු ලබන්නේ මුළු ජනගහනයෙන් ළමා හා මහලු, ජනගහනය අඩු කොට ලැබෙන සක්‍රීය වයසේ ජන සංඛ්‍යාවෙන්, සිසුන්, ආබාධිතයන්, සදාකාලික රෝගීන්, ස්වෙච්ඡාවෙන් රැකියා නොකරන්නන් ඉවත් කිරීමෙනි.

උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 21ක් පමණ සිටිය ද, ශ්‍රම සැපයුම ලෙස වාර්තා කරන්නේ මිලියන 08ක් පමණි. සමස්ත ශ්‍රම සැපයුම, සේවා නියුක්ති මුළු ජනගහනය එකතු කිරීමෙන් සෑදෙන්නකි. මින් බහුතරය, රැකියා කරන්නන් වේ. එය ශ්‍රම බළකායේ අනුපාතයක් හැටියට ද ප්‍රකාශ කෙරේ.

රටක ශ්‍රම සැපයුම ප්‍රයෝගිකව සිදු කරනු ලබන්නේ රැකියාවන් කරන අය විසිනි. එම සමස්ත සේවා නියුක්තිය, කොටස් 04 කට බෙදේ.

1- සේව්‍යන් (ස්වාමි පක්ෂය)

2- සේවකයන්

3- පවුලේ සේවකයන්

4- ස්වයං රැකියා කරන්නන්

ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳ පොළේ විශේෂිතම ලක්ෂණය වන්නේ සේව්‍යන් හෙවත් ස්වාමි පක්ෂය, ඉතා සුළු අගයක් ගැනීමයි. මෙරට මුළු ජනගහනය මිලියන 21ක් වුව ද, වෙනත් අයට රැකියා ලබා දුන්, ආයතනයක මිහිකරුවන් සිටින්නේ ලක්ෂ දෙක හමාරක් වැනි සුළු සංඛ්‍යාවකි. එය මුළු ශ්‍රම බළකායෙන් 3% ක පමණ ප්‍රතිශතයකි. මෙරට සංවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍යම සාධකයක් වන්නේ සේව්‍යයන් හෙවත් ස්වාමි පක්ෂය සංඛ්‍යාත්මකව හා ගුණාත්මකව වර්ධනය කිරීමයි. දියුණු රටක මොවුන්ගේ ප්‍රතිශතය 20 % ක් පමණ වේ. සේව්‍යයන් වර්ධනය කිරීමෙන්, අලුතින් ව්‍යාපාර බිහිවන අතර, නව රැකියා ද උත්පාදනය වේ. ආර්ථිකයේ, බොහෝ කටයුතු උත්තේජනය වේ. මෙලෙස සේව්‍යයන්, වැඩි කිරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග රාශියක් පවතී.

1- ජනතාවට මූල්‍ය සාක්ෂරතාව පුළුල් පදනමකින් ලබා දීම

2- ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන පසුබිම සකස් කිරීම

3- මූල්‍යමය හා මූල්‍යමය නොවන, පහසුකම් ඔවුනට සැපයීම

4- උපාය මාර්ගික සැළසුම්කරණය සහ කළමනාකරණය ව්‍යවසාහකයන්ට ලබා දීම.

5- විදේශයෙන් ගෙන්වන, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රට තුළ නිෂ්පාදනය ආරම්භ කිරීමට නව ව්‍යාපාරික පන්තියක් රට තුළින් දිරිමත් කිරීම.

මෙරට රැකියා කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පහත පියවර ගත හැකිය.

1- මූර්ත වැටුප් ඉහළ මට්ටමක පවත්වා ගැනීම

2- ශ්‍රමික එලදායීත්වය වැඩි කිරීමට ක්‍රියාමාර්ග ගැනීම

3- එලදායීත්වය වැඩි කිරීමට අවශ්‍ය වන පුහුණුව සහ අධ්‍යාපනික පාඨමාලා ලබා දීම

4- සාර්ථක සේවකයන් ඇගයීමේ ක්‍රම ප්‍රචලිත කිරීම

5- උපාය මාර්ගික ලෙස අනාගතයේ වැඩියෙන් බිහි වේ යැයි, උපකල්පනය කරන රැකියාවන් සඳහා මෙරට සේවකයන් පුහුණු කිරීම

මෙරට ශ්‍රම බළකායෙහි, ස්වයං රැකියාවල යෙදෙන්නන්ගේ ප්‍රමාණය හා ගුණාත්මක වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ගත හැකිය

1- කළමනාකරණ ශිල්පීය ඥානය ඔවුනට ලබාදීම

2- මූල්‍ය සාක්ෂරතාවය ලබාදීම

3- තාක්ෂණික දැනුම සහ උපකරණ ලබාදීම

4- ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව නීතිගත කර සෑම රැකියාවක් සඳහාම වෘත්තීය සහතික ඇති සේවකයන් පමණක් යොදා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම

5- නවීන වෙළෙඳ පොළ ඔවුන්ට සොයා දීම

6- විශේෂිත උපදෙස් මත ක්‍රියාත්මක වන නව මූල්‍ය ණය සහන ක්‍රම ලබා දීම

සාමාන්‍යයෙන් රටක් දියුණු වන විට පවුලේ සේවකයන් (Family Workers) අඩු වේ. එයට හේතුව පවුලේ ව්‍යාපාරයක් කිරීම (Family Business) හෝ පවුලෙන් බැහැරව, ව්‍යාපාරයක් හෝ රැකියාවක් කිරීම, වාසිදායක වන බැවිනි. එම නිසා ශ්‍රී ලංකාවේ විවෘතව, වැටුපක් නොගෙවන පවුලේ සේවකයන් අඩු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවට ස්වභාවිකව, සාපේක්ෂ වශයෙන් උරුම වී ඇති, අධික ජනගහනය නිසි ලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වන සාධකයකි. එහි දී අධ්‍යාපනය හා පුහුණුවට හිමි වන්නේ විශේෂ කාර්යභාර්යකි. මෙරට ශ්‍රම වෙළෙඳ පොළ වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අත්‍යවශ්‍ය වන තීරණයක් ලෙස, ශ්‍රම වෙළෙඳ පොළේ පවතින, දෘඪතාවන් නැතහොත් අනම්‍ය ස්වරූපයන් ඉවත් කිරීම සඳහා ආයතනික රාමුව පෙළගැසිය යුතුය. මීට හොඳම උදාහරණය වන්නේ සිංගප්පූරුවයි. සිංගප්පූරුවට ස්වභාවයෙන් ලැබී තිබුණු ප්‍රධානතම දායාදය වන ජනගහනය නිසි ලෙස කළමනාකරණය කිරීම මඟින් එරට දියුණු සිදු විය. මෙය ශ්‍රී ලංකාව හොඳ උදාහරණයක් වශයෙන් ගත හැකිය.

මදාරා මුද­ලිගේ

නව අදහස දක්වන්න