උපාධි පාඨ­මාලා මූලික වැඩ­ස­ට­හන් වෙනු­වෙන් ICBT ඕස්ට්‍රේ­ලි­යාවේ RMIT සර­ස­විය සමඟ එක් වෙයි | දිනමිණ

උපාධි පාඨ­මාලා මූලික වැඩ­ස­ට­හන් වෙනු­වෙන් ICBT ඕස්ට්‍රේ­ලි­යාවේ RMIT සර­ස­විය සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ තෘතීයික අධ්‍යාපනයේ ප්‍රමුඛයකු වන ICBT ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් RMIT විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගත් බව පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී පැවැති උත්සවයක දී ප්‍රකාශ කරනු ලැබීය. මේ සහයෝගීතාවත් සමඟ ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් හට ඕස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ පළමු වසර ප්‍රවේශය සඳහා අවශ්‍ය පදනම් වැඩසටහන ඉදිරිපත් කෙරෙනු ඇත. එම සුවිශේෂී අවස්ථාව ICBT හි කොළඹ සහ මහනුවර ශාඛා තුළ දී හිමිකර ගැනීමට හැකිවීමද විශේෂත්වයකි.

මේ අවස්ථාව සඳහා ICBT හි සභාපති ආචාර්ය ජගත් අල්විස්, ICBT හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් කන්නංගර, RMIT වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී රේචල් හොල්ට්හවුස්, වියට්නාමයේ RMIT පුහුණු සභාපති හා ප්‍රධාන අධ්‍යක්‍ෂ ගේල් මැක්ඩොනල්ඞ් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හච්සන් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

එම අවස්ථාවට එක් වූ ICBT හි සභාපති ආචාර්ය ජගත් අල්විස් මහතා අදහස් දක්වමින් ‘ICBT ලෙස අපි ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් අතර තෘතියික අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළම තෝරා ගැනීම බවට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනික ආයතන සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාතික අධ්‍යාපන අවස්ථාවන් හිමිකර දීමේ අපගේ දර්ශනය තව දුරටත් ඉදිරියට ගෙන යමින් තවත් සුවිශේෂී විශ්වවිද්‍යාලයක් සමඟ අත්වැල් බැඳ ගැනීමට ඇති කර ගැනීමට අපට හැකි වුණා. RMIT විශ්වවිද්‍යාලය සමඟ එක්වෙමින් අදාළ ක්‍ෂේත්‍රයන් සහ ප්‍රජාව තුළින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට වෘත්තීය අවස්ථාවන් හිමිකර දීම සඳහා අවස්ථාව ලැබීම පිළිබඳ අපි ඉතාමත් සතුටට පත්වනවා‘ යනුවෙන් පැවැසීය.

නව අදහස දක්වන්න