වසර තුනක රට පෙරළිය | දිනමිණ

වසර තුනක රට පෙරළිය

යහපාලන ආණ්ඩුවට වසර තුනක් සපිරෙන්නේ අදයි. මෙම ආණ්ඩුව බලයට පත්වූයේ 2015 අගෝස්තු 16 දා පැවැති මහ මැතිවරණයෙනි. ඊට පෙර පැවැතියේ ජනාධිපතිවරයෙන් පසුව දින සියයක් සඳහා පිහිටුවාගනු ලැබු ආණ්ඩුවකි. එයින් ඉටුකර ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත්කොට තිබිණි. එක් අතෙකින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් අනෙක් අතින් ජනතාවට සහන සැලසීමත් එම කෙටිකාලීන ආණ්ඩුවේ අරමුණු අතර විය.

දින සියයේ ආණ්ඩුව ලෙස ආරම්භ කළද එය මාස හයකට වැඩි කලක් පැවැතිණි. ඒ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනවවන සංශෝධනය ඇතුළු වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක විය. තොරතුරු දැනගැනීමේ පනත හා විගණන පනත එම කාලයේ සම්මත කළ නොහැකි වූවද දැන් සම්මතකොට ක්‍රියාත්මක කොට ඇත. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජනයාට වැදගත් බොහෝ දේ හෙළිදරව් කරගන්නා ආකාරය අපට දැන් අසන්නට දකින්නට ලැබේ. මේවා සැබැවින්ම ජයග්‍රහණ බව අමුතුවෙන් කිව යුතු නැත.

නිදහසේ තරම

ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමත්, මැතිවරණ කොමිසමත්, පොලිස් කොමිසමත් දැන් ක්‍රියාත්මකය. මේ ක්ෂේත්‍රවලට දැන් දේශපාලන අතපෙවීම් සිදුනොවන තැනට කටයුතු යෙදී ඇත. ජනමාධ්‍ය නිදහසේ ක්‍රියාත්මක වෙයි. ඇතැම් ජනමාධ්‍ය ආයතන දේශපාලන න්‍යායපත්‍ර අනුව ක්‍රියාත්මක වන්නේ ලැජ්ජා නැති ආකාරයෙනි. ආණ්ඩුව ඒවා නවත්වන්නට යන්නේ නැත. සුදු වෑන් යොදා මාධ්‍යවේදීන් උස්සන්නේ නැත. ජනමාධ්‍ය ආයතනවලට ගිනි තියන්නේ නැත. මේවා නො‍කෙරෙද්දි විපක්ෂය කියන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සීමාකොට ඇති බවයි.

උද්ඝෝෂණ, වැඩ වර්ජන සඳහා හිමිව ඇත්තේ අසීමිත නිදහසකි. ඇතැම්විට මහජනයා කියන්නේ ආණ්ඩුව පන මදි බවකි. මේවා මර්දනය කළ යුතු බවකි. ආණ්ඩුව එසේ ක්‍රියානොකරනවිට පසුගියදා දුම්රිය මගීහු ක්‍රියාත්මක වූහ. දින දෙක තුනකින් වැඩ වර්ජනය අවසන් කරන ලද්දේ ඇතිවූ මහජන විරෝධය හමුවේය.

දින සියයේ ආණ්ඩුව පැමිණි ගමන් ඛනිජ තෙල් මිල ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු කළේය. රජයේ සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළේය. තවමත් ඛනිජ තෙල් මිල එදාට වඩා අඩුය. මෙම සහන ජනතාවට ස්ථාවර ලෙස ලැබුණු ඒවාය.

2015 අගෝස්තු මාසයේ බලයට ආවේ වෙනත් ආකාරයක ආණ්ඩුවකි. එජාපය හා එජනිස යන දෙපාර්ශ්වයේ ආණ්ඩුවකි. එවිට දිගුකාලීන දැක්මකින් යුතුව කටයුතු කරන්නට සිදුවිය. පළමුවෙන්ම සිදුව තිබුණේ උග්‍ර ණය බරින් රට මුදාගැනීමයි. නැතහොත් එම ණය ගෙවන ක්‍රම සකස් කිරීමයි. එය කළ යුතුව තිබුණේ සංවර්ධන වැඩ කරගෙන යන ගමන්ය. ඉදිරි සැලසුම් සකසා ක්‍රියාවට නගන ගමන්ය. රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනගන ගමන්ය.‍

මෙම රජය බලයට එනවිට ශ්‍රී ලංකාව හිටියේ කොන් වූ තත්ත්වයකය. ලෝකයේ ඇතැම් රටවල් බලා සිටියේ යුද අපරාධ විමර්ශනයට විදේශීය විනිශ්චයකාරවරුන් එවන්නටය. මෙරට නායකයන් විදුලි පුටුවලට යන්න ලෑස්තිව සිටියේ ඒ කාලයේය. දැන් ඒ කතන්දර නැත. ජනාධිපතිතුමා කීවේ මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් ගලවා ගත්තේත් මේ ආණ්ඩුව බවයි.

සුදු අලි තඩත්තුව

රාජපක්ෂ ආණ්ඩුව සංවර්ධන කටයුතු කියා වියදම්කොට තිබුණේ සුදු අලින් හදන්නටය. හම්බන්තොට තිබුණේ නැව් නොඑන වරායකි. ඉඳහිට නැවක් ආවොත් ප්‍රවෘත්තියකි. එයට ණයගෙන තිබුණේද කෙටි කාලෙකින් ගෙවන්නටය. සිදුව තිබුණේ ආදායම් නොලබා ණය ගෙවන්නටය.

මත්තල තියෙන්නේ කැලෑවක හැදූ ගුවන්තොටකි. තවමත් එහි තත්ත්වය එයමය. එයට ‍ෙගාඩ බෑ ගුවන් යානා කිහිපයද ගමන් නවතා ඇත්තේ නිකරුණේ කාලයත් ධනයත් වියදම් වන නිසාය. ඉඳහිට ගුවන් යානයක් ගොඩ බැසීම ප්‍රවෘත්තියක් බවට පත්වෙයි. එය ගොඩගන්න හවුල් ව්‍යාපාරයක් හදාගන්න තවමත් බැරිවෙලාය. දැන් දැන් එය සාර්ථක වන බවට ප්‍රවෘත්ති ලැබෙමින් පවතියි. කෙසේ හෝ එය ගොඩදා ගැනීම අභියෝගයකි. සුදු අලියෙක්ව තිබෙන ගුවන්තොටුපළින් ආදායම් ලබන්නට නම් එය කළ හැකි හවුල්කරුවකු සොයාගත යුතුයි. එසේ කරන්නට යනවිට විපක්ෂය කියන්නේ විකුණනවා කියාය. ඇත්ත කතාව නම් විකුණන්න තරම් සම්පතක් එහි දැනට නැති බවය. කළ යුත්තේ එය සම්පතක් කරගැනීමය. ආදායම් ලබන ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමයි.

සූරියවැව ක්‍රීඩාංගණයට කරන දෙයත් හිතාගන්නට තවමත් බැරිය. එහි ක්‍රීඩා කරන්නට කැමැති වන කෙනෙක් නැත. එහි දැන් තිබෙන්නේ පිට්ටනියකි. කොළඹ වරාය නගරය ඉදිකරමින් තිබුණේ චීනුන්ට එහි සින්නක්කර අයිතිය හිමිවන ලෙසටය. ඒවා වෙනස් කරන්නට සිදුවිය. එමෙන්ම රාජපක්ෂලා එහි හදන්නට ගියේ සෝභන පුරවරයකි. එවැන්නකින් මෙහි ණය ගෙවා ගන්නට බැරිය. දැන් එය ඉදිවන්නේ කලාපයේ ප්‍රධාන මූල්‍ය නගරයක් වශයෙනි. සිංගප්පූරුව හා ඩුබායි අතර ප්‍රධාන වානිජ හා මුල්‍ය මධ්‍යස්ථානය වශයෙනි. එය සම්පතක් කරගන්නේ එහෙමය.

ණය කන්ද

මේ ඉදිකිරීම්වලට 2015 පෙර ගත් ණය කන්දරාව ගෙන තිබුණෙ කෙටි කලෙකින් ගෙවන්නටය. ඒවා වැඩියෙන්ම ගෙවන්නට තිබෙන්නේ මේ කාලයේය. 2018 වසරේ ගෙවන්නට තිබෙන ප්‍රමාණය ඩොලර් මිලියන 2845 කි. 2019 දී මිලියන 4285 කි. 2020 දී 3768 කි. ශ්‍රී ලංකාවට වැඩියෙන්ම ණය ගෙවන්නට සිදුවන කාලය මෙයයි. රට සංවර්ධනයට මුදල් සොයන්න වී ඇත්තේ මේ අභියෝගයට මුහුණදෙමිනි.

ආණ්ඩුවට දැන් සිදුව තිබෙන්නේ ණය ගෙවන්නටත් ණය ගන්න ගමන් සංවර්ධන ව්‍යාපෘති සඳහාද ණය ගැනීමටය. මේ වසර තුනේදී ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12 කි. ඉන් බිලියන 6 ක් පමණ යොදා ඇත්තේ ණය ගෙවීමටය. ව්‍යාපෘති සඳහා බිලියන 6 ක ණය ලබාගෙන ඇත.

රාජපක්ෂ රජයේ ණය හා මේ රජයේ ණය අතර වෙනස මෙම ණය සහන පදනම් යටතේ දිගුකාලීනව ගෙවීමට ලබාගැනීමයි. ණය උගුල්වල නොපැටලී ණය ගත හැක්කේ එහෙමය. උදාහරණයක් ලෙස කොළඹ සැහැල්ලු දුම්රිය සේවය සඳහා බිලියන 1.7 ක ණය ගෙන ඇත්තේ ජපානයෙනි. පොලිය සියයට එකකි. ගෙවන්නේ වසර හතළිහකිනි. ණය නොගෙවන සහන කාලය වසර 12 කි. මෙවැනි ණය උගුල් වන්නේ නැත. ඒවාට කිව හැක්කේ සම්පත් කියාය.

පසුගිය පාලනය මේ රටට කර තිබූ තවත් අපරාධ ගණනාවක් නිවැරදි කරන්නටද මේ ආණ්ඩුවට කාලයක් ගතවිය. එකක් නම් ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිකර ගැනීමය. ඒ ඔවුන්ගේ නරක මානව හිමිකම් කැරැට්ටුව නිසාය. ජී.එස්.පී. සහනය අහිමි කරගැනීම නිසා මෙරට අපනයන ආදායම පහළ වැටුණු අතර කර්මාන්තශාලා සිය ගණනක් වැසී ගියේය. ලක්ෂ ගණනකට රැකියා අහිමිවිය.

යුරෝපා රටවල විශ්වාසය ගොඩනගා ගන්නට මේ රජයටද වසර දෙකක පමණ කාලයක් වැඩ කරන්නට සිදුවිය. ඒ අනුව ගිය වසර මැදදී අපට නැවතත් ජී.එස්.පී. සහනය ලැබුණි. දැන් අපගේ අපනයන ආදායම් යළිත් ඉහළ යමින් පවතියි.

අපගේ මත්ස්‍ය අපනයන සඳහා යුරෝපයෙන් පනවා තිබූ තහනමද විහින් දාගත් ලෙඩකි. සාගරයේ නීතිය හා ප්‍රමිතිය අනුව කටයුතු නොකිරීම නිසාය. එයද ආපසු ලබාගැනීමට වසර එකහමාරක් පමණ ගතවිය. දැන් අපේ මත්ස්‍ය අපනයන ඉහළ ගොස් ඇත. එය ධීවර ප්‍රජාවට ලැබුණු විශාල සහනයකි. පිටරට යවන කෙලවල්ලා, කොප්පරා වැනි මාළු දැන් දේශීය වෙළෙඳපොළේ හිඟවී ඇත්තේ ඒ නිසාය. දැන් තිබෙන්නේ අපනයන ඉල්ලුම දී ගන්න බැරි ප්‍රශ්නයකි.

උතුරට වයඹට ජලය

ආණ්ඩුව ඒ සියල්ල කරන අතර තවත් සංවර්ධන වැඩ රැසක් ක්‍රියාවට නගා ඇත. ජනාධිපතිතුමාගේ සිහිනයක් වු මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියේ පළමු දෙවන අදියර දැන් අවසන්ය. ඊළඟට තිබෙන්නේ උතුරට හා වයඹට ජලය ගෙන යන ඇළ මාර්ග සාදා අවසන් කිරීමයි. උතුරු ඇළ මාර්ගය හැදෙන්නේ කිලෝ මීටර් 90 ක දිගම උමං මාර්ගයක්ද සමඟය. උතුරේ පදවිය හා කිලිනොච්චිය දක්වා ජලය සැපයීමට මෙමගින් හැකියාව ලැබෙයි.

අදියර තුනකින් ඉදිවන මධ්‍යම අධිවේගය දැන් කඩිනමින් ඉදිවෙමින් පවතියි. එහි මීරිගම, කුරුණෑගල කොටස ලබන වසරේ නිමවනු ඇතැයි කියති. සම්පූර්ණ මාර්ගය 2020 දී අවසන් කිරීමට නියමිතය.

කොළඹ තදබදය අඩු කරන්නට යන්නේ අලුත් ප්‍රවාහන ක්‍රමයක්ද හඳුන්වා දෙමිනි. එනම් සැහැල්ලු දුම්රිය සේවයයි. එහි පළමු කොටස සැලසුම්කොට වැඩ අරඹා ඇත. ඒ මාලඹේ සිට කොටුව දක්වාය. රාගම - කඩවත සිට වැල්ලවත්ත දක්වාද පානදුරේ සිට කැලණිය දක්වාද තවත් සේවා දෙකක් ඇරඹීමට සැලසුම්කොට ඇත.

බත්තරමුල්ලේ සිට කැලණි පාලම දක්වා සහ එතැන් සිට කොටුව දක්වාත් ගුවන් මාර්ග දෙකක්ද ඉදිකිරීමට සැලසුම් සකස්කොට ක්‍රියාවට නංවා ඇත. ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන පවරාගැනීමද මේ වනවිට සිදුවෙයි. එය තවත් දැවැන්ත ව්‍යාපෘතියකි.

දුම්රිය සේවයද සම්පූර්ණයෙන් නවීකරණය කිරීමට සැලසුම්කොට ඇත්තේ විදුලි දුම්රිය සේවයක්ද ඇතුළත් වන ආකාරයෙනි. එය වෙනම ව්‍යාපෘතියකි. මුලින් පානදුර සිට වේයන්ගොඩ දක්වාත් පසුව පොල්ගහවෙල සිට අලුත්ගම හා අවිස්සාවේල්ල දක්වාත් විදුලි දුම්රිය සේවා ආරම්භ කිරීමට නියමිතය.

ඉතිහාසයේ වර්ෂයකට ලබාගත් වැඩිම විදේශ ආයෝජන ප්‍රමාණය ගිය වසරේ ලබාගත් ආණ්ඩුව මේ වසරේ එම ප්‍රමාණයද ඉක්මවා යාමට සූදානම්ය. එමෙන්ම වැඩිම අපනයන ආදායමද වාර්තාකොට ඇත. එය තවත් වැඩිවෙමින් පවතියි. මේවා රටක ජයග්‍රහණ ලෙස ඉතා වැදගත්ය.

අපනයනයට ක්ෂේත්‍ර හයක්

ආණ්ඩුවේ තවත් වැදගත්ම ඉදිරි සැලසුමක් වන්නේ ජාතික අපනයන උපායමාර්ගය පසුගියදා එළිදැක්වීමයි. මෙවැන්නක අවශ්‍යතාවය අප රටට කලක සිට දැනී තිබුණද එවැන්නක් ක්‍රියාවට නංවන්නේ පළමු වතාවටය. එමගින් අපනයන සංවර්ධනයට නිශ්චිත ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර එම ක්ෂේත්‍රවල සංවර්ධන උපායමාර්ග පිළිබඳවද සඳහන්ය.

ආර්ථික විද්‍යාඥයන් කියන්නේ මෙහි වැදගත්ම අංගය නිශ්චිත ක්ෂේත්‍ර හයක් හඳුනාගැනීම බවයි. පරිගණක මෘදුකාංග හා සේවා සැපයුම හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, සංචාරක ව්‍යාපාරය, කුළු බඩු, සැකසූ ආහාර හා පාන, බෝට්ටු නිෂ්පාදනය හා පරිගණක හා ඉලෙක්ට්‍රොනික නිපැයුම් එම ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇත. මෙම කාර්මික නිෂ්පාදන අපනයනයෙන් 2022 වනවිට ඩොලර් බිලියන 28 ක ආදායමක් අපේක්ෂිතය. මෙය තරමක් ඉහළ අභියෝගාත්මක ඉලක්කයක් වූවද ආර්ථික විද්‍යාඥයන් කියන්නේ රටක් දියුණුවීමට එබඳු ඉලක්ක ඔස්සේ ක්‍රියා කළ යුතු බවයි.

ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය, මෙන්ම අගමැතිතුමාගේ හා මුදල් ඇමැතිතුමාගේ ගම්පෙරළිය හා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි දැවැන්ත වැඩසටහන්ද ක්‍රියාවට නංවා ඇත්තේ ඉහත කී සියලු සැලසුම්වලට අමතරවය.

හම්බන්තොට, කළුතර, බිංගිරිය, කුලියාපිටිය, පරන්තන්, ත්‍රිකුණාමලය ආදී කර්මාන්ත කලාප, ගාල්ල, බේරුවල, මහනුවර ආදී සංචාරක කලාප මෙන්ම කොළඹ මහනගර සංවර්ධනය, ත්‍රිකුණාමල සංවර්ධනය ආදී ආණ්ඩුවේ අනෙක් දැවැන්ත ව්‍යාපෘති ගැනද සඳහන් කිරීමට මෙම ලිපියේ ඉඩකඩද ප්‍රමාණවත් නැත.

විපක්ෂයට නොපෙනෙන නැතහොත් වෛරී හැඟීම් නිසා නොතකා හරින දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් මේ වනවිට රටේ ක්‍රියාවට නැගී ඇති බව ඉහත කී කාරණාවලින් පැහැදිලි විය යුතුය. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වරෙක ප්‍රකාශ කළ පරිදි මේ සියල්ල කළොත් මේ රට වෙනස් රටක් රටක් වනු ඇත. ආණ්ඩුව වසර තුනකදී රට පෙරළා ඇත්තේ එලෙසය.

ඩී.ජේ. අමරතුංග

නව අදහස දක්වන්න