අවුරුදු තුනක්! | දිනමිණ

අවුරුදු තුනක්!

ඕනෑ ම රාජ්‍යයක දියුණුව මැන බැලිය හැකි පැතිකඩ කිහිපයක් තිබේ. ඒවා නම්; සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය, රැකියා සම්පාදනය, ජීවන තත්ත්වය වැනි ක්ෂේත්‍රයන් ය. මේ හැරුණුකොට මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, සංහිඳියාව වැනි සාධක ද දියුණුවේ කොටසක් ලෙස සලකනු ලැබේ. සාකල්‍ය අර්ථයෙන් ගත් කල මේ සියල්ලෙහි ඉදිරිගාමී බව සංවර්ධනය තීන්දු කරයි. ලෝකයේ පිළිගත් සංවර්ධන මාපකවලට අනුව ශ්‍රී ලංකාව යනු මැදපෙළ රාජ්‍යයෙකි. දියුණුවෙමින් පවතින යන ලේබලය ද දුප්පත් රාජ්‍යය යන ලේබලය ද අපෙන් ගැලවී ඇත. නිදහස් සාමකාමී රාජ්‍යය යන විශේෂණය ද අපට ලැබී ඇත.

යහ පාලන ආණ්ඩුවට වසර තුනක් සම්පූර්ණ වී ඇත. ගෙවී ගිය කාලය දෙස ආපසු හැරී බලන විට රටේ ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ සතුටු විය හැකි ද යන්න සොයා බැලිය යුතු කාලය පැමිණ ඇත. ජනතාවගේ හැඟීම කුමක් වුව ආණ්ඩුවට එරෙහි දේශපාලන කණ්ඩායම් රටේ ආර්ථිකය හා දේශපාලනය දැඩි ලෙස ‍විවේචනය කරති. මේ විවේචන ඔස්සේ ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම විපක්ෂ කණ්ඩායම්වල යටි අරමුණ බව පැහැදිලිය. ඕනෑ ම විවේචනයකට ඉඩදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් බවට පත් වැ තිබේ. එබැවින් තර්කයක් නැති හා සාධක නැති විවේචන ද කරළියට එයි.

ආණ්ඩුව ආර්ථික සංවර්ධනය සඳහා දිගුකාලීන වැඩසටහන් සේ ම කෙටිකාලීන වැඩසටහන් ද ක්‍රියාත්මක කරයි. එහෙත් මේවා පිළිබඳ යළි - යළිත් ප්‍රචාරය කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී නැත. එබැවින් අවුරුදු තුනට මොනවද කළේ යනු‍ෙවන් විපක්ෂය ප්‍රශ්න කරයි. මහවැලි යෝජනා ක්‍රමයෙන් පසු රටට වැදගත් විශාලම බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළේ වත්මන් ආණ්ඩුව ය. එහි බරපතළකමට සමාන ප්‍රචාරණයක් ජනමාධ්‍ය වෙතින් ලැබුණේ නැත. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගයෙන් පසු සාර්ථක ම නිවාස සංවර්ධනය හා දිළිඳුකම පිටුදැකීමේ සාර්ථක ම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ද වත්මන් ආණ්ඩුව යටතේ ය. එහෙත් ඒ ගැන ද ප්‍රමාණවත් ප්‍රචාරයක් නැත.

අලුතින් ඉදි වූ ගම්මානයකට ගොස් ප්‍රතිලාභ ලැබූ ගැමියකුගෙන් දැන් තත්ත්වය කොහොමදැ’යි විමසන ජනමාධ්‍යයක් නැති තරම් ය. වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන හා තවත් ආරවුල් ගණනාවක් මැද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන ප්‍රගතිය විමසන කෙනකු ද නැත. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන සංවාදයක් පවතින්නේ දීර්ඝ කාලයක සිට ය. එහෙත් පැවැති ආණ්ඩුවලට එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ආණ්ඩුව වැඩි ශබ්දයක් නැතිව සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල මිල දෙවරක් ම පහත දැම්මේ ය. දැන් තෙවන වරටත් ඖෂධ මිල පහත හෙළීම සඳහා කරුණු ගවේෂණය කරමින් සිටී.

ඖෂධ මිල පහත හෙළීම නිසා රෝගී ජනතාව විශාල සහනයක් ලබති. සෞඛ්‍ය අමාත්‍යවරයාට පින් දෙන රෝගීන් ද අප දැක ඇත. ශ්‍රී ලංකාව ගෙන යන සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වී ඇත. සෞඛ්‍යය යනු රටක සංවර්ධනයේ ප්‍රධාන අංශයක් බව අපි මුලින් ද සඳහන් කළෙමු. දෙවන කාරණය අධ්‍යාපනය යි. ශිෂ්‍ය ප්‍රජාවට පළමුවරට රක්ෂණයක් ලබා දුන් දකුණු ආසියාවේ එක ම රාජ්‍යය හැටියට ද ශ්‍රී ලංකාව හැඳින්විය හැකි ය. ආණ්ඩුවේ ඉලක්කය වී ඇත්තේ සියලු දෙනාට ම අධ්‍යාපනයේ අවස්ථා ලබාදීම ය. පාසල් අධ්‍යාපනයෙන් හැලෙන දරුවන් වෙත අවධානය යොමුකර ඇති ආණ්ඩුව ඔවුන් සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබේ. දැනුම ප්‍රාග්ධනය වේ යන කියමන අප සිහියට නැ‍ඟේ.

රටක ආර්ථික දියුණුව තීන්දු කරන ප්‍රධාන සාධකයක් ලෙස මූල්‍ය පාලනය හා මූල්‍ය විනය පවත්වා ගැනීම හැඳින්වේ. පසුගිය ආණ්ඩු ගණනාවක නො තිබූ සාධකයක් ලෙස ද එය හැඳින්විය හැකිය. මේ අනුව එදා සංවර්ධන ව්‍යාපෘති තුළ මහා පරිමාණ දූෂණ, වංචා හා අක්‍රමිකතා දක්නට ලැබිණි. ආණ්ඩුව විගණන පනත සම්මත කරමින් මූල්‍ය පාලනයට නීත්‍යානුකූල අයිතිය ලබා දී ඇත. මෙය ආර්ථික වශයෙන් ලබාගත් විශාල ජයග්‍රහණයක් ලෙස සැලැකිය හැකි ය. මේ පදනම නිසා අනාගතයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පවා ආරක්ෂා වෙයි. ඒවා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සැබෑ වැඩසටහන් බවට පත්වෙයි. එහෙත් මේවා අගය කිරීමකට ලක්වන බවක් පෙනෙන්නට නැත.

ලෝකයේ දියුණු රටවල් හා ජගත් සංවිධාන දෙස අවධානය යොමු කළහොත් නූතන ශ්‍රී ලංකාවට අවස්ථා ලබාදීමටත්, ආර්ථික සහයෝගය ලබාදීමටත් ඔව්හු නොපැකිලව ඉදිරිපත් වී සිටිති. මෙය වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා අපට ලැබුණු ප්‍රතිලාභයක් ලෙස සැලැකිය හැකි ය. යුරෝපා සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පමණක් නො ව; ලෝකයේ දියුණු රාජ්‍යයෝ ගණනාවක් දැන් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරති. ආධාර දෙති. ණය ලබා දෙති. උපදේශන සපයති. ඉන්දීය අගමැති නරේන්ද්‍ර ‍මෝදි මහතා මෑතකදී කියා සිටියේ අපේ හොඳම මිතුරා ශ්‍රී ලංකාව බැවින් ඕනෑ ම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහයෝගය දීමට නොමසුරුව ඉදිරිපත් වන බව ය.

බරපතළ විදේශ ණය උගුලක හිර වී සිටින රාජ්‍යයක් ආර්ථික වශයෙන් දියුණුවක් ලබන්නේ කෙසේ ද? නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද? ණය ගෙවා දමන්නේ කෙසේ ද? ආයෝජකයන් ගෙන්වා ගන්නේ කෙසේ ද? රැකියා සම්පාදනය කරන්නේ කෙසේ ද? අලුත් සංවර්ධන ණය ලබාගන්නේ කෙසේ ද? මේවා ආර්ථික විශේෂඥයන් පවා මවිතයට පත්කරනසුලු ගැටලු වන්නට පුළුවන. එහෙත් ගෙවී ගිය වසර තුනක කාලය තුළ දී ආණ්ඩුව ඊට සාර්ථක උත්තරයක් ලබා දී තිබේ. මේ ක්‍රමවේදය කාගේත් අවධානයට ලක්විය යුත්තකි. අගමැතිවරයා මෑතකදී කියා සිටියේ 2020 වන විට ණය බරෙන් සෑහෙන්නට නිදහස් වී ජනතාවට තවත් සහන ලබාදීමට හැකිවන බව ය. දැන් යන පිළිවෙළට අනුව එය විශ්වාසය තැබිය හැකි කතාවකි.

අප ගෙවා දමා ඇත්තේ රටේ දියුණුවට ගැම්ම හා ජවය ලබාගත් වසර තුනක කාලපරිච්ඡේදයකි. ඒ අනුව ජනතාවගේ ඇඟට දැනෙන සංවර්ධනයේ ප්‍රතිලාභ ඉදිරි කාලයේ දී අපේක්ෂා කළ හැකි ය. පළමු සංවර්ධනයට අවශ්‍ය අඩිතාලම ඇතිකරගත යුතු ය. ඕනෑම දියුණු රාජ්‍යයක් ස්වකීය දියුණුව ලබා ඇත්තේ පීඩාකාරී යුගයක් පසුකිරීමෙන් ය. අපේ අඩිතාලම ශක්තිමත් ලෙස තහවුරු වී ඇති බව පෙනෙයි. රිදී රේඛාවක් දිස්වෙන්නට පටන්ගෙන ඇතැ’යි සිතන්නට පුළුවන. අපි ඒ දෙස බලා සිටිමු.

 


අදහස් 1ක් ඇත

Excellent

පිටු

නව අදහස දක්වන්න

Or log in with...