සුසුනඹර එකලු කළ පුන්සඳ දෙදි­ය­වල තිල­ක­සිරි හිමි­පාණෝ | දිනමිණ

සුසුනඹර එකලු කළ පුන්සඳ දෙදි­ය­වල තිල­ක­සිරි හිමි­පාණෝ

විහාරස්ථාන කිහිපයක ආධිපත්‍යය හොබවන දෙදියවල තිලකසිරි නාහිමියෝ ශාසනික, සාමාජික වශයෙන් ප්‍රශස්ත සේවයක් ඉටු කරති. දෙස් විදෙස් ධර්මදූත සේවාවහි ද නිරතව අභිනව අනුනායක ධුරප්‍රාප්ත දෙදියවල තිලකසිරි අනුනායක මාහිමිපාණන් වහන්සේට, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී මහා සංඝ සභාවෙහි අභිනව අනුනායක ධුරයෙහි අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් හෙට දින (18) කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී පැවත්වෙන අතර අභිනව අනුනායක ධුරයට පත් වූ උන්වහන්සේ ‍ගෞරව සම්ප්‍රයුක්තව පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය අගෝස්තු මස 20 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරි‍ෙවන් විහාරස්ථානයේදී සිදුකෙරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙන් සැකසේ.

 

දෙදියවල ශ්‍රී සුදර්ශනාරාම ධර්මාරාම පිරිවෙන් විහාරාධිපති, බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, උපාධ්‍යාය, ශාස්ත්‍රපති අතිපූජ්‍ය දෙදියවල තිලකසිරි නායක මාහිමිපාණන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක පදවියට පත්වීම නිමිත්තෙන් සැපයෙන සංක්ෂිප්ත සටහනයි.

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ දෙදියවල නම් ගම්පියසේදී 1948 ජූනි මස 18 වැනි දින දෙදියවල තිලකසිරි අනුනාහිමිපාණෝ ජන්ම ලාභය ලැබූහ. කළුතර නගරයට සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි දෙදියවල ග්‍රාමය තවමත් ග්‍රාමීය ලක්ෂණ රැකී පවතින භූමියකි. තත් ග්‍රාමයෙහි ජීවත්වූ අභාවප්‍රාප්ත ඇලඩින් පෙරේරා නම් වූයේ උන්වහන්සේගේ පියාණන් ය. උන්වහන්සේගේ මෑණියන් අනූවන වියැති ලීලාවතී අමරසිංහ උපාසිකා මාතාවයි. උන්වහන්සේට සහෝදරයන් හතරදෙනෙක් ද සහෝදරියන් දෙදෙනෙක් ද සිටීති. ගිහි කල තිලකරත්න අමරතුංග නම් වූ අප අනුනායක හිමිපාණෝ පවුලේ දෙවැනියා ය.

උන්වහන්සේ ගිහි කල දෙදියවල රජයේ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලදහ. බාලාංශ පංතියේ සිට ජ්‍යෙෂ්ඨ පංතිය තෙක් පැවැති තත් පාඨශාලාව තුළ උන්වහන්සේ අධ්‍යාපන කටයුතු සිදු කළහ. 1964 වර්ෂය අප්‍රේල් මාසය තෙක් දෙදියවල රජයේ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අනුනාහිමිපාණෝ, ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිටියේ ප්‍රවෘජ්‍යාවට පත්වීමෙන් පසුව ය. අපවත් වී වදාළ අතිගරු මතුගම ශ්‍රී පඤ්ඤාවාස නායක මාහිමිපාණන් වහන්සේ අධිපත්‍යය ඉසිලූ දෙදියවල ශ්‍රී සුදර්ශනාරාමය නම් සිය ගමේ පන්සලේ දී 1964 ජූලි 13 වන දින උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත්වන්නට උන්වහන්සේට හැකියාව ලැබිණ. උන්වහන්සේ‍ගේ ප්‍රවෘජ්‍යාව සිද්ධ වූයේ ඓතිහාසික කෝට්ටේ ශ්‍රී රාජමහා විහාරස්ථානයේදීය. 1855 දී පිහිටුවාගත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට වර්ෂ 108 ක් පිරීම නිමිතිකොට කුලදරුවන් එකසිය අටක් ප්‍රවෘජ්‍යාවට පත් වූ අවස්ථාවේදී ය. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූයේ අති ගෞරවාර්හ, කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක මතුගම ශ්‍රී පඤ්ඤාවාස නායක හිමිපාණන් වහන්සේ ය.

ප්‍රවෘජ්‍යාවෙන් පසු පිරිවෙන් අධ්‍යාපනයේ ස්වර්ණමය භූමියක් වූ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනට උන්වහන්සේ ඇතුළත් වූ අතර එහි දී උන්වහන්සේගේ භාරකාරත්වය දරනු ලැබුවේ හෙළදිව කුශාග්‍ර බුද්ධිමතකු ලෙස සැලකෙන අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේය. පාලි, සංස්කෘත, සිංහල භාෂා පිළිබඳ අග්‍රගණ්‍ය යතීන්ද්‍රයන් වහන්සේ නමක් වූ ලබුගම ලංකානන්ද මහනාහිමියන් සමීපව ආශ්‍රය කරන්නට ලැබීම අප අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ජීවිතයේ ලද පරම භාග්‍යයකි. තෙමසක් තුළ පාලි භාෂාව හදාළ උන්වහන්සේ අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් ඉහළින් ම සමත් වූ අතර ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය තෙක් මොල්ලිගොඩ පිරිවෙනෙහි අධ්‍යයන කටයුතුවල නිරත වී පසුව සිය අභිමතය පරිදි පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. 1966 අවුරුද්දේ දී පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූ අනුනාහිමියෝ දැනට කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ කුලපති, සද්ධම්මජෝතිකා ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුලසධම්ම නායක මාහිමිපාණන් වහන්සේ යටතේ අධ්‍යයන කටයුතුවල නිරත වූහ. එහිදී තවත් විශේෂ සිදුවීමක් නම් දැනට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම හා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක මාහිමිපාණන් වහන්සේ යටතේ ද අධ්‍යයන කටයුතුවල නිරතවීමට භාග්‍යය ලැබීමයි.

1949 වර්ෂයේ උසස් පෙළ විභාගය ඉහළින් සමත්වන අප අනුනාහිමිපාණෝ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය කේ. එන්. ජයතිලක වැනි විද්වතුන් යටතේ සරසවි අධ්‍යාපනය ලද නාහිමියෝ 1974 වර්ෂයේ දී විශේෂ උපාධිය සමත් වූහ. පසුව 1981 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලදහ. සමකාලීනවම, අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණෝ ද ගෝනදූවේ ගුණානන්ද හිමියෝ ද තත් උපාධියට පෙනී සිටියහ. 1984 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව දිනා ගත්හ.

සිය අධ්‍යාපන සේවාව පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් ආරම්භ කළ අනුනාහිමියෝ, ගොකරැල්ල ශාස්ත්‍රාරවින්ද පිරිවෙන, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන යන පිරිවෙන් විද්‍යස්ථානවල ඉගැන්වීම් කටයුතු කළ අතර පසුව 1982 ජනවාරි 27 වැනි දින ආරම්භ කළ දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙනෙහි ආචාර්යවරයෙක් වශයෙන් හා පිරිවේණාධිපති වශයෙන් ද කටයුතු කළහ. 1985 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍ය වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව විද්‍යා පීඨ ආරම්භ කළ අතර අනුනාහිමිපාණෝ 1986 අගභාගයේදී අකුරැස්ස නිල්වලා විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් කථිකාචාර්ය ජීවිතය ආරම්භ කළහ. පසුව 1987 වර්ෂයේදී නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුළත් වූ උන්වහන්සේ එහි නියෝජ්‍ය පීඨාධිපති වශයෙන් ද කටයුතු කළහ. 1990 වර්ෂයේදී පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් ස්ථාන මාරුවක් ලද අනුනාහිමියෝ විශ්‍රාම යන තෙක් එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කළහ.

1855 දී ශ්‍යාමෝපාලිවංශික කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව සංස්ථාපිත විය. 1986 වර්ෂයේදී බෙන්තර විහාර පාර්ශ්වයට අනුබද්ධව පුරප්පාඩු වූ උපසම්පදා කාරක සභික ධුරයක් සඳහා පනවන ලද විනය විභාගයට පෙනී සිටි දෙදියවල තිලකසිරි නාහිමිපාණෝ එම විභාගය ලිඛිත හා වාචික වශයෙන් ඉහළින් සමත්ව ධුරයෙහි පිහිටුවාලූහ. 1994 වර්ෂයේදී කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස හා එහි ලේඛකාධිකාරී වශයෙන් අප අනුනාහිමියෝ වසර 20 ක් පමණ ඉතා විශිෂ්ට සේවයක් සංඝ සභාවට සිදු කළහ. 2009 වර්ෂයේ දී තත් සංඝ සභාව විසින් කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක ධුරය, බෙන්තර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරය බෙල්ලන ඤාණවිමල මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ උපාධ්‍යාය ධුරයත් උන්වහන්සේට පුදන ලදහ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායකව වැඩසිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව පුරප්පාඩු වූ තත් අනුනායක ධුරයට සංඝ සභාවේ ව්‍යවස්ථානුකූලව අතිගෞරවාර්හ දෙදියවල තිලකසිරි නාහිමියන් 2018 මාර්තු 23 වන දින තෝරාපත්කර ගැනිණි.

 

 

එම්. එල්. සුනිල් ශාන්ත

 


නව අදහස දක්වන්න

Or log in with...