වෘත්තීය සමිතිවලට අතීතය අමතකයි | දිනමිණ


 

වෘත්තීය සමිතිවලට අතීතය අමතකයි

කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර

නිතර සිදුවන වැඩවර්ජන, වැටුප් විෂමතා පිළිබඳ ප්‍රශ්න, වැටුප් කොමිසමට කැබිනට් අනුමැතිය ලැබීම, සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලේ අනාගත ඉරණම ආදිය පිළිබඳ සාකච්ඡා කරමින් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මැති හමුවට එක්වේ.

* අපි බාර ගත්තෙ පඹගාලක පැටලුණු ආණ්ඩුවක්
* වැඩවර්ජන තමයි අපි ඇති කළ වෙනස
* පිටරට වෛද්‍යවරු වර්ජන කරනවාද?
* ආණ්ඩුවට ලොකුම ප්‍රශ්නය ප්‍රචාරණය නැතිකම
* ආණ්ඩුව ගනිද්දී ණය ගෙවන්නවත් සල්ලි තිබුණෙ නැහැ

 2015 ජනවාරි 08න් පස්සෙ දිගින් දිගටම රට තුළ වැඩවර්ජන ක්‍රියාත්මක වෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඒක තමයි අපි රටේ ඇති කරපු වෙනස. ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ස්ථාපිත වෙලා. ඕනම වෘත්තීය සමිතියකට තර්ජන ගර්ජන නැතුව තමන්ගෙ අයිතීන් ඉල්ලන්න නිදහස ලැබිල. ඒක කොච්චර දුරට සාධාරණව පාවිච්චි කරනවද කියන එක ප්‍රශ්නයක්. මාධ්‍යවේදීන් හැටියට ඔබ දන්නවනේ රටේ තිබුණෙ මොනවිදියෙ නිදහසක්ද කියන එක. අද සමහර වෘත්තීය සමිතිවලට අතීතය අමතක වෙලා. ලැබුණු නිදහස සාධාරණව පාවිච්චි කරන එක වෘත්තීය සමිතිවල යුතුකමක්

වැඩ වර්ජනවලට විසඳුම් දෙන්න ජනතාව මත පීඩනයක් එල්ලවෙනකම්ම ආණ්ඩුව බලා ඉන්නව කියල චෝදනාවක් තියෙනවා?

වෛද්‍ය වැඩවර්ජන ක්‍රියාවලියේ දේශපාලන මුහුණුවරක් තියෙන්නෙ කියන එක ඕනම කෙනෙකුට තේරෙනවා. වෛද්‍යවරු ඊයේ පෙරේදා කිව්ව අපේ එකක් හරි දැන් අපි ඊළඟ එකට යනව කියල. ඒ කියන්නෙ සයිටම් එක හරි දැන් සිංගප්පූරු ගිවිසුම අල්ලන් වර්ජනය කරනව කියන එකනෙ. සිංගප්පූරු ගිවිසුමයි වෛද්‍යවරුයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? දේශපාලන පක්ෂවල සහ දේශපාලනය කරන අයගේ න්‍යාය පත්‍රවලට ඕන විදියට රජය අපහසුතාවයට පත්කරන එක තමයි ඒ අයගේ වැඩේ ලබන අවුරුද්ද වෙන කොට වැඩවර්ජන රැල්ලක් කරන්න තමයි මේ අයගේ අදහස. ඒකේ ප්‍රධාන අරමුණ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම. අහිංසක මහජනතාව මේ ක්‍රියාවලිය ගැන බලාගෙන හිටිය පිටරට වෛද්‍යවරු වර්ජන කරනව අහල තියෙනවද? ඒ අයගෙ වෘත්තිය හැටියට ඒක සදාචාර නැහැ. අහිංසක ලෙඩෙක් බෙහෙත් ගන්න ආවම අපි වර්ජනය කරල කියල ලෙඩාව එළවගන්නව නම් ඒ අය දෙන ප්‍රතිඥාවට මොකද වෙන්නෙ. සයිටම් එකේ පළවෙනි ශිෂ්‍යත්ව දහය දීපු කෙ‍නත් සයිටම් විරෝධී වුණා. සයිටම් අපි හදපු එකකුත් නෙවෙයි මෙතන තියෙන්නෙ කුපාඩි දේශපාලනයක්.

ජනතාව පීඩනයට පත් කිරීම හරහා වෘත්තීය සමීතිවලට එරෙහිව ජනතා නැගිටීමක් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සාහ කරනව කියල මම කිව්වොත්?

මේ වැඩවර්ජන ගැන ආණ්ඩුව බලාගෙන හිටිය. කටවුට් ගැහුවෙ, පෝස්ටර් ගැහුවෙ නැති වුණාට රණවිරුවෝ වෙනුවෙන් ආණ්ඩුව කොච්චර වැඩ කළාද? අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ප්‍රචාරණය නැති ඒකනෙ ආබාධිත රණවිරු‍වෝ ජනාධිපති කාර්යාලය ඉස්සරහ හැසිරුණෙ කොහොමද? තනිකර දේශපාලනයක්නේ එතන තිබුණේ.

දුම්රිය වැඩවර්ජනයෙදී ජනතාව වර්ජකයන්ට ගහන තැනට ආවා. ආණ්ඩුව බලා හිටිය. මේ වෘත්තීය සමිති මර්දනය කරන්න ආණ්ඩුව ගේන උපක්‍රමයක් නෙවෙයිද?‍

දුම්රිය රියදුරන්ට ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය ආණ්ඩුව කාලෙ රියදුරුයි සහායක‍යගෙයි වැටුප් තල එක සමාන කළා. මේක තමයි ප්‍රශ්නෙ. වෘත්තීයමය ගැටලුවක් මෙතන තියෙන්නෙ. කැබිනට් මණ්ඩලය මේ ගැන කතාකරල නිර්දේශයක් දුන්න රියදුරන් ඉහළ වැටුප් තලයක තියන්න එතකොට දුම්රිය රියදුරුගෙ වැටුප වෛද්‍යවරයගෙ වැටුපටත් වැඩියි. එහෙම වුණොත් වෛද්‍යවරු නිකන් ඉඳීවිද ත්‍රීවිල් සංගමේ එකටත්, සිංගප්පූරු ගිවිසුමටත් අතදාන වෛද්‍ය සංගමය නිකන් ඉඳීවිද? ඒක සාධාරණත් නැහැනෙ. මේ රටේ වැඩකරන ජනතාව වැඩ ඉවරවෙලා ගෙදරයන්න දුම්රිය ස්ථානයට යනකොට මේ අය වර්ජනය කරල මිනිස්සු මරන්නෙ නැතුව ගහල බේරුව ඇති. දුම්රිය සේවකයො එදා කරපුවැඩේ හරියි කියන්නේ මොන මිනිහද ඒ තත්ත්වය වලක්වන්න රජයට බැහැ. වර්ජනය කරන අය නියම ක්‍රමවේදයට ඒවා කරන්න දැනගන්න ඕන.

හැම වැඩ වර්ජනයකටම මේ ආණ්ඩුව තාවකාලික විසඳුම් දීම නිසයි වැඩවර්ජන දිග් ගැස්සෙන්නෙ කියල චෝදනාවක් තියෙනවා?

විසඳුම් දෙනකොට රජයක් හැටියට අංශ කීපයක් ගැන බලන්න වෙනවා. වැඩවර්ජන කරන්න නිදහස අපි දීල තියෙනවා. ඒ අය කියන දේට අපි ඇහුම්කන් දෙනවා. මේ හින්ද එක එක අංශ වැඩවර්ජන පටන් ගන්නවා. රජය කියන්නෙ මහජනතාව. අපි රජයෙ කොන්ත්‍රාත්කාරයො. අපි අවුරුදු හතකට මෙතෙන්ට ආපු අය. මහජනතාව‍ගේ බර තමයි අපි ගෙනියන්නෙ. රට සංවර්ධනය, වැටුප් විෂමතා, රජයේ විවිධ වැඩ ගැනත් හිතන්න ඕන.

වෘත්තීන් අතර වැටුප් විෂමතා බොහෝ කාලයක ඉදන් එන එකක්. ආණ්ඩුවට වසර තුනහමාරක් ගතවෙද්දීත් ඒ විෂමතා විසඳන්න ජාතික වැටුප් ප්‍රතිපත්තියක් හදාගන්න බැරිවුණේ ඇයි?

අපි බාර ගත්තෙ පඹ ගාලක පැටලිච්ච ආණ්ඩුවක්. ඒ හින්ද ඒ ගැට ටික ලිහනගමන් ඉන්නේ. ඒ අතර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් හදන වැඩේ ගැනත් කටයුතු කරමින් ඉන්නෙ. අවුරුදු හතක් ජනාධිපති වෙලා ඉන්න තිබුණු කෙනා අවුරුදු දෙකකට ඉස්සර ඡන්දෙකට ගිහින් දැන් ආයෙත් ජනාධිපති වෙන්න දඟලනවා. තිබුණ කාලෙ හිටිය නම් ඊයේ පෙරේදා වෙනකම් එතුම‍නේ ජනාධිපති. ඇයි මේ කලින් දාල ගියේ කියල කවුරුවත් අහන්නෙ නැහැනෙ. අපි ආණ්ඩුව ගන්නකොට මහින්ද මහත්තය ගත්තු ණයවල පොලිය ගෙවා ගන්නවත් සල්ලි තිබුණෙ නැහැ. අපි දැන් ඒක කළමනාකරණය කරගෙන හොඳතැනකට ඇවිල්ල තියෙන්නෙ. වැටුප් විසමතා ඉවත් කරන්න වැටුප් කොමිසමක් පත්කළා. මංගල සමරවීර ඇමති තුමාගේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා.

පවතින ආණ්ඩු තමන්ගෙ පක්ෂයෙ වෘත්තීය සමිතිවල අයට අසීමිතව කරන පඩි වැඩි කිරීම් නිසා තමයි මේ වැටුප් විෂමතා ඇතිවෙන්නෙ කියලත් මතයක් තියෙනවා?

අපි ජාතික සේවක සංගමයේ අයට විතරක් වැටුප් වැඩි කළේ නැහැනෙ. ඒ චෝදනා බොරු. අපි රුපියල් දසදහස වැඩිකළේ සමස්ත රාජ්‍ය සේවයටම. ඒත් ඒ අයගෙන් අපට අවශ්‍ය සහාය ලැබුණ නැහැ. කෙනෙක් ආයෝජනයක් කරන්නේ මොනව හරි බලාගෙන . මේව කිව්වම මට ෆේස්බුක් එකෙන් ගහනවා.

තැපැල්, වරාය, දුම්රිය, ගුරු, බැංකු, විදුලිය, ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පොදු ගැටලු වගේම වැටුප් ගැටලු නිර්මාණය වෙලා මේව සම්බන්ධයෙන් ආණ්ඩුව වෘත්තීය සමිති එක්ක කතා කරන්න ලැහැස්ති නැතිබවයි වෘත්තීය සමිති කියන්නේ.

ඒ අය අපිට කතා කළොත් සාකච්ඡාවක් දෙන්න සූදානම්. විසඳුම් දෙන්න ඒ ගැටලු අපිට කියන්න ඕන. අපි ලෑස්තියි සාකච්ඡාවට. අදාළ ආයතනයට ඒ අය එක්ක සාකච්ඡා කරල විසඳගන්න බැරි නම් අපි ඒ ගැටලු විසඳන්න මැදිහත් වෙනවා.

ශ්‍රී ලංකාවෙ පෞද්ගලික අංශයෙත් අර්ධ රාජ්‍ය අංශයෙත් ශ්‍රමිකයන්ගෙ අරමුදල් ඒකරාශීකරල හදපු අර්ථසාධක අරමුදල අනතුරක කියල කියනවා.

ඕක ගැන රටේ ලොකු කථිකාවක් ආරම්භවෙලා තියෙනවා. ලෝක බැංකුවෙ කණ්ඩායමක් අපේ උපදේශන සභාවට ආවා. තව අවුරුදු 25කින් විතර විශ්‍රාම වැටුප් ක්‍රමය තියෙන රටවල්වල ලොකු අර්බුදයක් ඇතිවෙන්න පුළුවන් කියල ඒ අය අපට අනතුරු ඇඟවීමක් කළා. ලෝකේ වැඩිහිටි ජනගහනය වැඩි වෙමින් තියෙනවා. විශ්‍රාම වැටුප කියල තියෙන මේ අරමුදල අපි වැඩිකර නොගත්තොත් අනාගතයේදී මිනිස්සුන්ට ගෙවන්න මේ මුදල ප්‍රමාණවත් වෙන්නෙ නැහැ කියන කතාව තමයි ඒ අය කිව්වේ.

වෘත්තීය සමිති කියන්නෙත් ඔය කතාවම තමයි. ලෝක බැංකු උපදෙස් මත මේ අරමුදල කොටස් වෙළෙඳ පොළේ. ආයෝජනය කරන්න ආණ්ඩුව හදනවා. මහබැංකුවෙන් ඉවත් කළාට පස්සෙ මේ අරමුදලේ සුරක්ෂිත බව නැතිවෙනවා. මේ ගැන මොකද කියන්නේ?

මහබැංකුවෙ අධීක්ෂණය යටතෙත් ඕක කරන්න පුළුවන්. වෘත්තීය සමිති එක්ක මේ ගැන කතා කළා. ලෝකෙ බොහෝ රටවල්වල මේ අරමුදල ආයෝජනය කරලා තියෙනවා. මේ අරමුදලේ ඉල්ලුම වැඩිවෙනවා. අරමුදල තර කර ගත්තෙ නැත්නම් ගෙවාගන්න බැරි වෙනවා.

වෘත්තීය සමිති එක්ක කතා නොකොට මේ අරමුදල ආයෝජනය කරන්නෙ නැහැ කියන සහතිකය දෙන්න පුළුවන්ද?

අපි වෘත්තීය සමිති එක්ක මූලික සාකච්ඡාවක් කළා. ඒ අයගෙ යෝජනා අපි ඉල්ලුවා ඒ අනුව කටයුතු කරනවා.

අමාත්‍යාංශවල කටයුතු සොයා බලන්න පත්කරපු අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ‍ෙදන වරප්‍රසාද අසාධාරණ බව කියනවා.

මීට කලින් තිබුණු ආණ්ඩු ගණනාවකම අධීක්ෂණ මන්ත්‍රීවරු හිටිය. මෙතන ගැටලුව තියෙන්නෙ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නෙ එක්සත් ජාතික පක්ෂයේ විතරයි. මේක පක්ෂ දෙකක ආණ්ඩුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ හැමෝම ඇමැතිවරු . පසුගිය ආණ්ඩුවෙ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට අලුතින් වාහන පවා ගෙන්නුව. ඒවට වියදම් කළේ මහජන මුදල්. ඒ වාහන ගෙවල්වලත් ගෙනිච්චා සමහරු තවමත් වාහන බාරදීලත් නැහැ. අපි දෙන්නෙ දීමනාවක් විතරයි.

යහපාලන ආණ්ඩුව එන්නෙම නාස්තිය දූෂණය පිටුදකිනව, වියදම් අඩුකරනව ජනතාවට සහන දෙනව කියලයි. ඒත් දැන් වෙන්නෙ ජනතාවට සහන දීම කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ට සලකා ගැනීමක් විතරයි නේද?

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට වරප්‍රසාදයක් දෙන එකේ වරදක් මම දකින්නෙ නැහැ. හැමෝම කතා කරන්නෙ එක පැත්තයි. ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක්ගෙ වියදම කොච්චරද කියල බලන්නෙ නැහැ. මට අමාත්‍යංශයෙන් වාහන තුනක් හිමියි. ඒ වාහන තුනට දෙන ඉන්ධන දීමනාවටත් බදු අයකරනවා. රජයෙ නිල නිවාසයට කුලිය, ලයිට්බිල, වතුර බිල කපනවා. ඒවටත් අපෙන් බදු අයකරනවා. ලැබෙන වැටුපෙන් අපිට මාසයක් දුවන්න පුළුවන්ද? අපිත් එක්ක ගමනක් යන සේවකයන්ට සලකන්න ඕන. ආසනයට ගියහම ඡන්ද දායකයන්ගෙ උත්සව, ඒවට පරිත්‍යාග දෙන්නත් ඕන. එහෙම ජීවිතයක් අපි ගතකරන්නෙ. 2006 ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමා ගෙනාපු යෝජනාවකට අනුව තමයි නඩුකාරවරුන්ගෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙයි වැටුප් එක තලයකට ගෙනාවේ. ඒ අයගේ වැටුප් මේ ළඟදි වැඩිවුණා. ඒ හින්ද අපේ වැටුපත් වැඩිවෙනව කියල කතිකාවක් ඇතිවුණා. අපි ඉල්ලුවෙත් නැහැ . මෙන්න අපිට ගහන්න පටන් ගත්ත. මේ වෙලාවෙ රටට අමාරුයි. ඒ හින්දයි වැටුප් වැඩිවීම අවශ්‍ය නැහැ කියල. අපේ පක්ෂය තීන්දු කළේ.

මේ ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුවක් කියල කියනවා?

අපි කරපු වැඩ ගැන ප්‍රචාරයක් නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ. බෙහෙත් ද්‍රව්‍යවල මිල අඩුකළා. ලක්ෂ 2ක විතර ස්ටෙන්ට් එක නොමිලේ, ඇස්කාච නොමිලේ, ගම්පෙරළිය, කළුගඟ යෝජනා ක්‍රමය තව සමාජ ප්‍රතිසංස්කරණ, කොමිෂන් සභා, තොරතුරු පනත මේවා වැඩ නෙවෙයිද?

සිංගප්පූරු ගිවිසුම අත්සන් කළාට පස්සෙ ඒ ගැන හොයන්න කමිටුවක් දානවා. රෑට ඉන්ධන මිල වැඩිකරලා. උදේ අඩුකරනවා. ආයෙත් සතියෙන් වැඩි කරනවා. ග්ලයිෆොසේට් වල්නාශකය ගැනත් එහෙමයි. ස්ථිර වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ නේද?

ග්ලයිෆොසේට් ගැන ප්‍රශ්නයක් තිබුණනෙ. මම නියෝජනය කරන කඳුකරයේ අය කවුරුවත් ග්ලයිෆොසේට් නිසා වකුගඩු රෝගයට ගොදුරු වුණේ නැහැ. ඒක තිබුණෙ එක පළාතක. ඉතින් මේ වල්නාශකය අපිට නොදීම අසාධාරණයි. සිංගප්පූරු ගිවිසුමේ නැති කාරණාවලටයි මේ විරෝධය එල්ල වෙන්නෙ. ඒ හින්දයි කමිටු පත්කරන්න වුණේ. එට්කා ගිවිසුමේ කොතැනකවත් එහෙ මිනිස්සු‍ මෙහෙට ගෙනත් සේවයේ යොදවන්න පුළුවන් කියල නැහැ. සිංගප්පූරු ගිවිසුමෙන් එහෙම නැහැ. වියළි කලාපෙ ගොයම් කපන්නත් දකුණු ඉන්දියාවෙන් එන්නෙ. ඔය ගිවිසුම්වලට අනුවද අපේ රටේ වැඩකිරීම ගැන ප්‍රශ්න තියෙනවනෙ.

පළාත් සභාවලට ඉස්සර ජනාධිපතිවරණයක් එයි කියලත් කියනවා. ජනාධිපතිවරණයකදි එක්සත් ජාතික පක්ෂයේ කාර්යයභාරය මොකක් වෙයිද?

ජනාධිපතිවරණයක් එන්නෙ 2019 නොවැම්බර් විතර. පළාත් සභාවලට තියෙන ලොකුම ගැටලුව සුළු පක්ෂ අලුත් ක්‍රමයට කැමති නැතිකම. ඒ අය මේ ගැන කතාකරල එකඟතාවකට එයි. එහෙම නැති වුණොත් ජනාධිපතිවරණය එයි. එතකොට බලමු.

ජනාධිපතිවරණයක් ආවොත් එක්සත් ජාතික පක්ෂය ගන්න තීරණය මොකක්ද?

අපි අපේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.

එතකොට යහපාලනයට මොකද වෙන්නෙ...?

ඒක ඒ වෙනකොට කල්පනා කරල බලන්න ඕන. නැවත පොදු අපේක්ෂකයෙක් ගේනවද? එහෙම නැත්නම් අපි වෙනම ඉන්නවද? ඡන්දෙ කිට්ටු වෙනකොට අපිට තීරණය කරන්න පුළුවන්.

ඡායා - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න