දෙවරක් සිතන්න | දිනමිණ

දෙවරක් සිතන්න

පෞද්ගලික මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමට ගොස් අමාරුවේ වැටෙන ගැණුම්කරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. තමා ඉතා දුක් මහන්සියෙන් උපයාගන්නා මුදල් වැඩි පොළියක් ලැබෙන බැංකුවක තැන්පත් කිරීම ඕනෑම ගැණුම්කරුවකුගේ ඒකායන බලාපොරොත්තුවයි. මීට ඉහතදී සෙලින්කෝ ආයතනයට අනුබද්ධ ගෝල්ඩන් කී මුල්‍ය සමාගමේ මුදල් තැන්පත් කළ දහස් ගණනක් තැන්පත්කරුවන් සිහිනයකින් වත් නොසිතූ මොහොතක එම මූල්‍ය ආයතනය කඩාවැටීම සිදුවිය. දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගත් ගැණුම්කරුවන්ට සිදුවූයේ කබලෙන් ලිපට වැටීමටය. පොලිසි හා උසාවිවල වසර ගණනක් රස්තියාදුවෙමින් තම තැන්පත් මුදල් වෙනුවෙන් අපමණ දුක් විඳීමට ඔවුනට සිදුවිය. අවසානයේ හිස් අතින් ගෙදර යාමට ඔවුනට සිදුවිය. මෙවැනිම අකරතැබ්බයක් ETI මූල්‍ය ආයතනයේ (ඊ.ඒ.පී. එදිරිසිංහ සමාගමට අනුබද්ධිත) මුදල් තැන්පත් කරුවන්ටද අත්විඳීමට සිදුවිය. මේ දිනවල දිගින් දිගටම එම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත්කරුවන් දහස් ගණනක් එම මූල්‍ය ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණය කරති. එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට සිය විරෝධ පාති. එපමණක් නොව ඔවුනට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද හෙණ ඉල්ලති. මෙම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත්කරුවන්ගෙන් වැඩි දෙනකු මැදිවිය ඉක්මවූ වියපත් මිනිසුන්ය. ඔවුන් සිය ජීවිත කාලය පුරා ඉතා දුක්මහන්සියෙන් උපයාගත් මුදල් වැඩිපොළියක් ලබාදෙන මෙවන් මූල්‍ය ආයතනවල තැන්පත් කරන්නේ සිය තැන්පතුවලට ලැබෙන පොළියෙන් තම විශ්‍රාම දිවිය ගතකිරීමටය. තම දරුවන්ටවත් බරක් නොවී ලැබෙන පොළී මුදලින් මාසිකව තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමටත් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ආගමික කටයුතු වෙනුවෙන් යම් මුදලක් වැයකිරීමටත් ඔවුහු බලාපොරොත්තු වෙති. ඒ සියලු බලාපොරොත්තු එක රැයකින් සුනු විසුණු වූ විට ඔවුනට ඇතිවන මානසික පීඩනය මෙන්ම අපේක්ෂා භංගත්වය කෙතරම්ද? ඔවුනට සිදුවන අසාධාරණය වෙනුවෙන් පිහිටට එන්නේ කවුද? ශ්‍රී ලංකා මහබැංකුව පවා මෙම මුදල් තැන්පත්කරුවන් වෙනුවෙන් යම් සාධාරණයක් ඉටුකරන්නට ඉදිරිපත්වන බවක් පෙනෙන්නට නැත. මේ අතර මූල්‍ය අර්බුදයකට මුහුණ දුන් තවත් මූල්‍ය ආයතනයක් ( ද ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්) ලියාපදිංචිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවලංගු කළ පුවතක්ද ජූලි 31 දා ජාතික පුවත්පතක පලකර තිබිණි. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2008 වසරේ සිට මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් එම ආයතනයේ මුදල් තැන්පත්කරුවන්ට පසුගිය වසර දහය පුරාම සිය තැන්පත් මුදල් නැවත ලබාගැනීමට නොහැකි වී ඇති බවත් විවිධ උපාය මාර්ග හරහා ආයතනය නැවත නගා සිටුවීම සඳහා ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති අතර වර්තමානයේ පවතින තත්ත්වයෙන් මෙම සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් තැන්පත්කරුවන්ගේ සහ අනිකුත් පාර්ශ්වකරුවන්ගේ යහපතට හානි සිදුවන නිසා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ඉහත මූල්‍ය ආයතනය 2018 ජූලි 25 දින සිට බලපවත්වන පරිදි අවලංගුකළ බව මහ බැංකුව සඳහන්කර ඇත.

නිසි කළමනාකාරීත්වයක් නොමැතිවීම මෙන්ම එම මූල්‍ය ආයතන තුළ සිදුවන විවිධ මූල්‍ය වංචා නිසා හිටි අඩියේ එම මූල්‍ය සමාගම් කඩාවැටීම නොවැළැක්විය හැකිය. එබැවින් වැඩිම පොළියක් දෙනවා යැයි කියූ පලියට තම මුදල් පෞද්ගලික මූල්‍ය සමාගම්වල තැන්පත් කිරීමට පෙර වරක් දෙවරක් නොව සිය දහස්වරක් සිතාබලා තම තීරණය ගත යුතුය. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මෙන්ම ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට සිදුවූ අසාධාරණයන් පිළිබඳව සිතාබලා තම තැන්පතු මුදල්වලට නිසි ආරක්ෂාව මෙන්ම තම මුදලට වගකියන රාජ්‍ය මූල්‍ය ආයතන සමඟ මූල්‍ය ගනුදෙනු කිරීම වඩා යහපත් බව සිහිතබා ගත යුතුය.

රත්නසිරි පතිරණ

 

නව අදහස දක්වන්න