බදු ගැන බොරු කතා | දිනමිණ

බදු ගැන බොරු කතා

රාජ්‍ය සේවක වැටුප් හා චේතන සඳහා 2010 වසරේදී දැරු රුපියල් බිලියන 300.6ක් වන වියදම 2016 වන විට රුපියල් බිලියන 570.8 දක්වාත්, විශ්‍රාම වැටුප් සඳහා වන වියදම 2010 දී රුපියල් බිලියන 91.0 සිට 2016 දී රුපියල් බිලියන 173.2 දක්වාත්, සමෘද්ධි දීමනාව සඳහා වන වියදම 2010දී රුපියල් බිලියන 9.2 සිට 2016 දී රුපියල් බිලියන 40.7 දක්වා වර්ධනය වී තිබෙනවා. වී ගොවීන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය ද 2017 වසර වන විට රුපියල් බිලියන 32 දක්වා වර්ධනය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා ප්‍රබල සංවාදයක් තිබෙනවා. එම සංවාදයේ එක් පාර්ශ්වයක් වන බදු ගෙවිය යුතු ජනතාවගේ අදහස වන්නේ “අපි බදු ගෙවිය යුත්තේ ඇයි ?” යන්නයි. එහිදී අනෙක් පාර්ශ්වය වන රජය අවධාරණාත්මකව ප්‍රකාශ කරන්නේ “බදු නැතිව රටක් ගෙන යන්නේ කෙසේ ද ? ” යන්නයි.

ජනතාව සහ රජය එකිනෙකාට චෝදනා කර ගනිමින් දීර්ඝ කාලයක් පුරා ගෙන ගිය මෙම සංවාදය වර්තමානය වන විට තීරණාත්මක කඩඉමකට පැමිණ තිබෙනවා. ඒ මෙම සංවාදය අතිෂයින් පටු දේශපාලන අවස්ථාවාදය දක්වා ලඝු වීමක් මේ වන විට දැකිය හැකි නිසයි. වත්මන් ආණ්ඩුව දුර්වල කොට කෙසේ හෝ යළි බලය අල්ලා ගැනීමේ උත්සාහයක යෙදී සිටින අවස්ථාවාදීන් මේ අවස්ථාවේදී “බදු බර” සම්බන්ධයෙන් වන ජනතා විරෝධය ඉතාම සටකපට හා සූක්ෂම ලෙස තම බල ව්‍යාපෘති තුළට ගොනු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටිනවා. මේ අවස්ථාවාදීත්වය පොදුවේ අප සියලු දෙනාගේ ඍජු අවධානයට යොමු විය යුතු කරුණක් වශයෙන් සැලකිය හැකියි.

බදු දේශපාලන අවස්ථාවාදයේ පහසු ගොදුරක් බවට පත්ව තිබෙන්නේ බදු ක්‍රමය ගැන නිරවුල් අවබෝධයක් තිබෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණක් වීම නිසයි. වානිජ ක්ෂේත්‍රයේ පවා බොහෝ ව්‍යාපාරිකයින් මේ ගැන නිසි අවබෝධයකින් තොර බව බොහෝ විට දැකිය හැකියි. ඒ නිසා රටේ ජීවනාලිය වැනි බදු ක්‍රමය ගැන ජනතාවගේ විශ්වාසය වගේම වානිජ ප්‍රජාවගේ දායකත්වයත් නිසි ලෙස නොලැබෙන තත්ත්වයක් තිබෙනවා. ඕනෑම රජයක් පවත්වා ගෙන යාම සඳහා ආදායම් අවශ්‍යයි. රජයට තමන්ගේ ආදායම් උපයා ගැනීම සඳහා අසීමිත නිදහසක් නැහැ. තිබෙන්නේ ප්‍රධාන වශයෙන් මාධ්‍ය දෙකක් පමණයි. ඒ, බදු ආදායම සහ බදු නොවන ආදායම, යන ද්විත්වයයි. මෙහිදී ඕනෑම රජයක ප්‍රධාන ආදායම් මාධ්‍ය වන්නේ බදු ආදායමයි. බදු නොවන ආදායම් සාපේක්ෂව පහළ අගයක් ගැනීම ඊට හේතුවයි. උදාහරණ වශයෙන් ශ්‍රී ලංකාවේ 2015 වසරේදී රජයේ මුළු ආදායම රුපියල් මිලියන 1,454,878ක් පමණයි. එයින් බදු ආදායම රුපියල් මිලියන 51,355,799ක් වුණා (ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2016) බදු නොවන ආදායම වුණේ රුපියල් මිලියන 99,099ක් පමණයි.

බදු පනවන්නේ ඇයි?

ඕනෑම රටක මහජන සේවා (පොදු සේවා) පවත්වා ගෙන යාම සඳහා ආණ්ඩුව මුදල් සපයා ගන්නේ බදු පැනවීම මගිනුයි. උාහරණයක් ලෙස ඔබට හොඳ මාර්ග පහසුකම්, පාසල්, ආරක්ෂාව වැනි සමාජයක් ලෙස මුදල් ගෙවීමකින් තොරව (අයිතිකර ගැනීමට නොහැකි වුවත්) පොදුවේ බුක්ති විදින්න පුළුවන් පහසුකම් ලබාදීමට රජයට හැකියාව ලැබෙන්නේ රටේ ජනතාවගෙන් විවිධාකාර ක්‍රම තුළින් අයකර ගන්නා බදු මගිනුයි. එමෙන්ම සමෘද්ධි සහනාධාරය, පොහොර සහනාධාරය වැනි දැවැන්ත සුබ සාධන සේවා ලබා දීම සඳහා ද වැය වන්නේ රජය විසින් එකතු කරන බදු ආදායමයි. එවැනි බදු එකතු කර ගැනීමකින් තොරව කිසිම ආණ්ඩුවකට ජනතාවට පොදුවේ පරිහරණය කළ හැකි පොදු පහසුකම් හෝ සුබසාධන සේවා ලබාදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මුළු සමාජයම පොදුවේ බුක්ති විඳින සියලුම පොදු පහසුකම් සඳහා මුළු රටේම ජනතාව විවිධාකාරයේ බදු ගෙවමින් තමන්ගේ දායකත්වය ලබාදීලා තිබෙනවා. මේ තත්ත්වය තුළ බදු ගෙවීම ජනතාවගේ වගකීමක් වගේම යුතුකමක් වශයෙන් ද සැලකිය හැකි වෙනවා.

බදු ජනතාවට බරක් ද?

බදු ජනතාවට බරක් ද ? යන්න ගැන කතා කරන කොට නිතර අවධාරණය කරන්නේ බදු මගින් දුප්පතුන්ට, අඩු ආදායම්ලාභීන්ට අසාධාරණයක් සිදුවන බවයි. ඇත්ත, මේ තත්ත්වය ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ ‘වක්‍ර බදු’ එහෙම නැතිනම් ජනතාවට එදිනෙදා භාවිතයට ගන්නා පාරිභෝගික භාණ්ඩ හා සේවා මත බදු පනවන අවස්ථාවේදී. උදාහරණයක් වශයෙන් ආණ්ඩුව ඩීසල්, පෙට්ට්‍රල් මත බදු පනවා තිබෙනවා. මේ බදු නිසා මේවායේ මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙහිදී ජනතාව අතර විරෝධයක් ඇතිවන්නේ තමන්ගේ ජීවිකාව සඳහා ත්‍රිරෝද රථය පදනවන පුද්ගලයාත්, බිලියන ගණනක් ආදායම් ලබනමින් විනෝද ගමන් යාම සඳහා තමන්ගේ ජීප් එකට පෙට්ට්‍රල් ගහන පුද්ගලයාත් එකම මිලක් ගෙවමින් පෙට්ට්‍රල් මිලදී ගැනීමයි. මෙහිදී ත්‍රිරෝද රථ රියැදුරා තමන්ගේ දෛනික ආදායමින් විශාල ප්‍රතිශතයක් පෙට්ට්‍රල් මිලදී ගැනීම සඳහා වැය කළත් ධනවතා ඒ සඳහා වැය කරන්නේ තමන්ගේ ආදායමින් නොසැලකිය යුතු ප්‍රතිශතයක් පමණයි. පරිප්පු, කරවල, අල, ළුැණු ආදියට බදු ගසන විට අඩු ආදායම්ලාභීන් දැඩි සේ පීඩාවට පත්වන්නේ මෙම පදනම තුළයි.

මේ නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පැනවීමට එරෙහිව ලෝකයේ බොහෝ රටවල ප්‍රබල විරෝධයක් පවතිනවා. එහි තාර්කික අදහස වන්නේ රටේ අඩු ආදායම්ලාභීන් වක්‍ර බදු (භාණ්ඩ හා සේවා බදු) සඳහා තමන්ගේ ආදායමින් වැඩි ප්‍රතිශතයක් වැය කරන බවයි. ඒ වගේම රජය විසින් නිර්මාණය කරන බොහෝ පොදු පහසුකම්වල වැඩි වටිනාකමක් තිබෙන්නේ ඉහළ ආදායම්ලාභීන්ට කියලා චෝදනාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය සඳහා ආණ්ඩුව වැය කරන මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් ප්‍රධාන ධාරාවේ පාසල්වලට වෙන් වන ආකාරයක් අපි දකිනවා. මාර්ග, ආරක්ෂාව ඇතුළු පහසුකම් සම්බන්ධයෙන් ද මේ විවේචනය දැකිය හැකියි. ඒ නිසා ‘රටේ බදු බර උසුලන්නේ සාමාන්‍ය ජනතාව’ කියන කතාවට පදනමක් තිබෙනවා.

හොඳ බදු ක්‍රමයක් කියන්නේ කුමක්ද?

හොඳ බදු ක්‍රමයක තිබිය යුතු ගුණාංග හතරක් (4) ගැන ආර්ථික විද්‍යාවේ සඳහන් වෙනවා. මේවා ‘බදු මූලධර්ම’ යනුවෙන් ද නිර්වචනය වෙනවා.

යුක්ති සහගත බවේ මූලධර්මය හෙවත් සාධාරණත්වයේ මූලධර්මය : මෙයින් අදහස් කරන්නේ බදු ගෙවිය හැකි පුද්ගලයින් මත පමණක් බදු බර පැටවිය යුතුය’ යන්නයි. බද්දක් සාධාරණ වන්නේ බදු ගෙවිය හැකි අය වෙත පමණක් බදු පැනවීමෙන් පමණක් බවයි මෙයින් අදහස් වන්නේ.

සානුබල මූලධර්මය : රටක නිෂ්පාදනය හා ආයෝජනය ධෛර්යවත් වන පරිදිත්, අධෛර්යට පත් නොවන පරිදිත් බදු අය කළ යුතු බව මෙම මූලධර්මයේ පදනමයි.

සරල බවේ මූලධර්මය : බදු ගෙවන්නාට තමා ගෙවන බදු ප්‍රමාණය ගණනය කර ගැනීමට තරම් එය පැහැදිලි විය යුතු බව මෙමගින් අදහස් වෙනවා.

පිරිමැසුම් මූලධර්මය : බදු අය කිරීමට වැය කරන මුදල බදු ආදායමෙන් ඉතා සුළු කොටසක් විය යුතු බව මින් අදහස් කරනවා.

ඉහත සඳහන් කළ බදු මූලධර්ම අනුගමනය කළහොත් ආණ්ඩුවට ඵලදායී ආකාරයෙන්, ජනතාවගේ, වානිජ ක්ෂේත්‍රවල සහාය ලබා ගනිමින් වඩාත් ප්‍රශස්ත බදු ක්‍රමයක් පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙනවා.

බදු වැය වෙන හැටි

බදු ගෙවීම පැහැර හැරීම සාධාරණීකරණය කිරීම සඳහා බහුල වශයෙන් ඉදිරිපත් වන තර්කයක් වන්නේ “අපි ගෙවන බදු වලින් කරන දෙයක් නැහැ” යන කුතර්කයයි. වර්තමානය වන විට මෙම මතය දැඩිව සමාජගත කිරීමට අවස්ථාවාදී දේශපාලනඥයින් සහ ඇතැම් ජනමාධ්‍ය දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා. එහෙත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කල්පනා කළහොත් මේ රටේ පුරවැසියන් ලෙස තමන් පොදුවේ භුක්ති විඳින සියලුම දේ රජය විසින් ජනතාවගෙන් ලබා ගන්නා බදු මගින් නඩත්තු කරන හෝ ආරම්භ කළ දේවල් බව වැටහී යන බව සහතිකයි. උදාහරණයක් වශයෙන් ලංකාවේ ප්‍රමුඛ නොමිල සුබසාධන සේවාවන් වන නිදහස් අධ්‍යාපනය (2016 දී රුපියල් බිලියන 238ක්) සහ නිදහස් සෞඛ්‍ය සේවා (2016 දී රුපියල් බිලියන 186.1) පවත්වා ගෙන යාමට රජය වාර්ෂිකව අති විශාල වියදමක් දරනවා. මේවාට ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය වැනි අංශ ද ඇතුළත් වූ පසු දැරීමට සිදුවන දැවැන්ත වියදම ගැන අපට සිතා ගත හැකියි.

සුබසාධනවාදී ආර්ථික හා සමාජ ක්‍රමයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායමෙන් අති විශාල ප්‍රතිශතයක් වැය වන්නේ විවිධාකාර සමාජ ආරක්ෂණ විදයම් සඳහායි. ඍජු ආර්ථික ප්‍රතිලාභ ලබාදීමක් සිදු නොවන මෙම වියදම් පසුගිය කාලය වන විට ආර්ථිකයට දරා ගත නොහැකි බරක් බවට පත්ව තිබෙනවා. උදාහරණයක් මගින් මේ තත්ත්වය පැහැදිලි කළ හැකියි. වර්තමානයේදීත් ලංකාවේ ප්‍රමුඛ සේවා නියුක්තිකයා / රැකියා සපයන්නා බවට පත්ව සිටින්නේ රජයයි. මේ වන විට ලක්ෂ 15කට අධික පිරිසක් රාජ්‍ය අංශයේ සේවය කරමින් සිටිනවා. මේ තත්ත්වය තුළ සමාජ ආරක්ෂණ වියදම් අතර ප්‍රමුඛම වියදම වන රාජ්‍ය සේවක වැටුප් හා චේතන සඳහා 2010 වසරේදී දැරු රුපියල් බිලියන 300.6ක් වන වියදම 2016 වන විට රුපියල් බිලියන 570.8 දක්වාත්, විශ්‍රාම වැටුප් සඳහා වන වියදම 2010 දී රුපියල් බිලියන 91.0 සිට 2016 දී රුපියල් බිලියන 173.2 දක්වාත්, සමෘද්ධි දීමනාව සඳහා වන වියදම 2010දී රුපියල් බිලියන 9.2 සිට 2016 දී රුපියල් බිලියන 40.7 දක්වා වර්ධනය වී තිබෙනවා. වී ගොවීන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය ද 2017 වසර වන විට රුපියල් බිලියන 32 දක්වා වර්ධනය වී තිබෙනවා. මීට අමතරව ජනතාවට නොමිලේ භාවිත කළ හැකි මහා මාර්ග, වාරි මාර්ග, වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධනයට පමණක් නොව ගමේ සොහොන්පිටිය ඉදිකිරීම දක්වා වන සියලු වියදම් දැරීමට සිදුවන්නේ රජයටයි. ඊට අමතර පසුගිය කාලය පුරා ලබා ගෙන ඇති විදේශ ණය සඳහා ද පොලී සහ වාරික ගෙවීමට සිදුව තිබෙන්නේ ද රජයටයි. බදු ගෙවීම පැහැර හැරීම සඳහා විවිධාකාර කුතර්ක ඉදිරිපත් කරන පුද්ගලයින් විසින් ඉහත සඳහන් තත්ත්වය ගැන අවංකව විමසා බැලිය යුතුයි.

මේ තත්ත්වය ඍජු බදු ගෙවීම පැහැර හැරීම හෝ අඩු කර ගැනීම සඳහා නිරන්තර අරගලයක යෙදී සිටින ව්‍යාපාරිකයින් සහ වෘත්තිකයින් (වෛද්‍යවරුන්, නීතිඥයින් වැනි) සම්බන්ධයෙන් ද අදාළයි. ඔවුන් විසින් ද සාමාන්‍ය ජනතාව අනුව යමින් බදු නොගෙවා සිටීම සඳහා ඉදිරිපත් කරන කුතර්කය වන්නේ තමන් ගෙවන බදු මුදල්වලින් ආණ්ඩුව කරන වැඩක් නැති නිසා බදු ගෙවීමට නොකළ යුතු බවයි. එහෙත් රාජ්‍ය සේවක ටැටුප් වශයෙන් ද, මහා මාර්ග, විශේෂයෙන් පොදු ජනතාව භාවිත නොකරන අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ ආදි දැවැන්ත සුබසාධන ව්‍යාපෘති වලින් පමණක් නොව නිදහස් අධ්‍යාපනයෙන් පවා සුවිශේෂ ප්‍රතිලාභ ලැබූ පිරිසක් වන වෘත්තිකයින් තම අදායම මත ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සඳහා විවිධාකාර මැසිලිවි නගමින් තර්ජනය කිරීම කණගාටුවට කරුණක්.

බදු බර නොමැති ආර්ථිකයක්

ඉහත සඳහන් මැසිලිවිවලට ප්‍රතිචාර වශයෙන් වත්මන් ආණ්ඩුව විසින් පොදු ජනතාව උසුලා සිටින අධික බදු බර සැහැල්ලු කිරීමට පියවර රැසක් ගෙන තිබෙන මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියනවා. එහිදී මුදල් ඇමැතිවරයා දැඩිව අවධාරණය කරන්නේ වර්තමානය වන විට සියයට 80ක පමණ ප්‍රතිශතයක් ගන්නා වක්‍ර බදු අදායම තවත් වසර කිහිපයකින් සියයට 60 දක්වා අඩු කරමින් ඍජු බදු ආදායම සියයට 20 සිට සියයට 40 දක්වා වර්ධනය කර ගැනීමට පියවර ගන්නා බවයි.

මෙහිදී සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කළ වක්‍ර බදු ක්‍රමිකව අඩු කිරීම කෙරෙහි රජය පසුගිය කාලය තුළ ඵලදායී ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මත වන වක්‍ර බදු ප්‍රතිශත අවම අගයක පවත්වා ගෙන යාම, භූමිතෙල්, ජලය, විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා වන බදුවලින් කොටසක් රජය මගින් දරා ගැනීම ඒ අතර ප්‍රමුඛ වී තිබෙනවා. මෑතකදී පෙට්‍රල් සහ ඩීසල් සඳහා හඳුන්වා දුන් “මිල සූත්‍රය” ද මෙම ඵලදායී ප්‍රවේශයන් අතරට එක් වෙනවා.

මේ සමග වත්මන් රජය “මල නොතලා රොන් ගැනීමේ” න්‍යාය අනුව යමින් ආදායම් බදු සම්බන්ධයෙන් ද වඩාත් ප්‍රශස්ත ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටිනවා. එහිදී සුවිශේෂ වන්නේ ආදායම් බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට වඩා අදායම් බදු ගෙවන පිරිස වර්ධනය කර ගැනීමට විශේෂ අවධානයක් යොමු කිරීමයි. මේ සඳහා දැක්විය හැකි ප්‍රබල උදාහරණයක් වන්නේ මාසිකව රුපියල් 50,000කට අඩු ආදායමක් ලබන කලාකරුවන්ගෙන් අය කරන ආදායම් බද්ද සියයට 10 සිට සියයට 05 දක්වා පහළ දැමීමට ආණ්ඩුව ගත් තීරණයයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ ආදායම් බදු ගෙවීමේ හැකියාව ඇති අති බහුතරයක් පිරිස කිසිදා ආදයම් බදු ගෙවීමක් කරන්නේ නැහැ. මේ බව අවධාරණය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා පසුගිය දා කියා සිටියේ “මෝටර් රථයක් ඇති සහ විදේශ සංචාරවල නිරත වන සියලු දෙනා බදු ලිපි ගෙනුවක් ආරම්භ කළ යුතු බවයි” මේ තත්ත්වය අපගේ ඍජු අවධානයට යොමු විය යුතු කරුණක්. පොදු ජනතාවගේ වක්‍ර බදුවලින් නඩත්තු කරන සියලුම දේ අසීමිතව භුක්ති විඳින පිරිසක් ඒ වෙනුවෙන් කිසිදු ආකාරයක පිරිවැයක් නොදැරීම කණගාටුවට කරුණක්. සිදු නොවිය යුතු දෙයක්.

වත්මන් බදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ගැන ඇතැම් අවස්ථාවාදීන්ගෙන් මේ නව ප්‍රවේශය වෙත විවිධාකාර විවේචන එල්ල වුව ද නව බදු ප්‍රතිසංස්කරණ ගැන ආර්ථික විශේෂඥයින් තුළ දැඩි ප්‍රසාදයක් තිබෙනවා. ඔවුන් මෙහිදී දැඩිව අවධාරණය කරන්නේ ජනතාව මත ඍජු පීඩනක් එල්ල කරන වක්‍ර බදුවලින් වඩාත් ඍජු බදු වෙත විතැන් වීමට ගත් තීරණය ඉතා වැදගත් බවයි. ඔවුන් ඒ සඳහා සංවර්ධිත රටවල බදු ප්‍රතිපත්තිය උපුටා දැක්වීමට පියවර ගෙන තිබෙනවා. උදාහරණයක් විදිහට මහා බි්‍රතාන්‍යයේ ආදායම් බදු ප්‍රතිශතය සියයට 33.3ක් වන අතර නෝර්වේ රාජ්‍යයේ එය සියයට 40.2ක් වැනි අගයක්. සමස්ත යුරෝපීය කලාපයේ එය සියයට 30.1ක් වැනි ඉහළ අගයක්. එහෙත් ලංකාවේ ආදායම් බදු ප්‍රතිශතය සියයට 10කට ආසන්න අගයකයි පවතින්නේ. ලංකාවට මෙවැනි ප්‍රශස්ත තත්ත්වයකට යාමට තවත් බොහෝ කාලයක් ගත වන බව පැහැදිලියි. ඊට හේතු රැසක් මේ වන විට රජය මගින් හඳුනා ගෙන තිබෙනවා. එහිදී ඔවුන් යළි යළිත් අවධාරණය කරන්නේ ලංකාවේ බදු පැහැර හැරීම, සැඟවීම සහ නොගෙවා ම සිටීම දීර්ඝ කාලයක් පුරා දැකිය හැකි සුලභ තත්ත්වයක් බවයි. උදාහරණයක් ලෙස රජයේ සේවකයින් ලෙස වැටුප් ලබන බොහෝ වෛද්‍යවරුන් පුද්ගලික සේවා මගින් අති විශාල මුදලක් උපයා ගන්නවා. එමෙන්ම නීතිඥයින්, වාස්තු විද්‍යාඥයින්, ගණකාධිකාරිවරුන් වැනි වෘත්තිකයින් පමණක් නොව උපකාරක පන්ති ගුරුවරුන්, රූපලාවන්‍ය ශිල්පීන් පවා අති විශාල ආදායමක් උපයා ගන්නා ආකාරයක් දැකිය හැකියි. එහෙත් පුදුමයකට මෙන් ඔවුන්ගෙන් අති බහුතරයකට ආදායම් බදු ලිපි ගොනුවක් තබා ඒ ගැන හැඟීමක් පවා නැහැ. එහෙත් ඔවුන් අසීමිත ලෙස පොදුජන බදුවලින් නඩත්තු වන සේවාවන් භුක්ති විඳිමින් සිටිනවා. මෙ නිසා බදු බර නැති ආර්ථිකයක් බිහි කිරීම සඳහා වන රජයේ ප්‍රවේශයේ දී මේ පාර්ශ්ව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙනවා.

සටහන භාතිය බරුකන්ද


නව අදහස දක්වන්න