CIDය හිටපු ජනපති නිවසින් පිටත්වෙයි - UPDATE | දිනමිණ

CIDය හිටපු ජනපති නිවසින් පිටත්වෙයි - UPDATE

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් CID නිලධාරීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ නිවසෙන් පිටව ගිය බව වාර්තාවේ.

CIDය හිටපු ජනපති නිවසට 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මීට ටික වේලාවකට ගොස් ඇති බව වාර්තාවේ.

ඒ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහායි.


මහින්දගෙන් පැය තුනක් ප්‍රකාශ ගනී

වාර්තාව සඳුදා ගල්කිස්ස උසාවියට

ද නේෂන් පුවත් පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර, එම ප්‍රකාශයට අදාළව ලබාගත් කරුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබන සදුදා එනම් 20 වැනිදා ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතව ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හය දෙනකු මෙසේ මහින්ද රාජපක්ෂ මහතාගෙන්ප්‍රකාශ ලබා ගැනිමට ගොස් ඇත.

මේ අවස්ථාවේදි මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂයෙන් ප්‍රශ්න කර ඇත්තේ 2008 මැයි 22 වැනිදා කිත් නොයාර් මහතා පැහැර ගැනිමට ලක්වි ඉතා සුළු මොහොතකින් කරු ජයසුරිය මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට කතා කර කීත් නොයාර් මහතා පැහැර ගැනීමකට ලක්වී ඇති බවත් ඔහුට අනතුරක් සිදු වීමට ඉඩ නොතබා බේරා ගැනීමට සහාය වන ලෙසත් ඉල්ලා ඇත.

කරු ජයසූරිය මහතා එම දුරකතන ඇමතුම ලබා දුන් අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධව ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා ඒ මහතා ඒ සම්බන්ධයෙන් ලබා දෙන ලද පිළිතුරු ඇතුළත් ප්‍රකාශය සටහන් කරගනු ලැබුණි.

කරු ජයසූරිය මහතා මෙදින මෙසේ මහින්ද රාජපක්ෂ මහතා‍ට දුරකතන ඇමතුම දීමට හේතුවී තිබුණේ කීත් නොයාර් මහතා පැහැර ගත් වහාම ඒ බව දැනගත් කීත් නොයාර් මහතාගේ මිතුරන් දෙදෙනකු වූ එවකට රිවිර පුවත්පතේ සභාපති ක්‍රිශාන්ත කුරේ මහතාත් ලලිත් අලහකෝන් මහතාත් කරු ජයසූරිය මහතාට කතා කර කීත් නොයාර් මහතා පැහැර ගෙන ඇති බවත් ඔහුගේ ජීවිතයට හානියක් වීමට ඉඩ නොදී ඔහුව බේරා දෙන ලෙසත් ඉල්ලා තිබීම හේතුවෙනි. එම දුරකතන ඇමතුම දුන් වහාම කරු ජයසූරිය මහතා මහින්ද රාජපක්ෂ මහතාට කතා කර කීත් නොයාර්ගේ පැහැර ගැනීම දැනුම් දී ඇත.

කරු ජයසූරිය මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කීත් නොයාර්ගේ පැහැර ගැනීම සිදු වූ දින මහින්ද රාජපක්ෂ මහතාට දෙන ලදැයි කියන මේ දුරකතන ඇමතුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබුණි. එම ප්‍රකාශයේ ඇතුළත් කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබුණි.

මීට අමතරව කීත් නොයාර් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඕස්ට්‍රේලියාවේ මැල්බොන් නුවර දී කීත් නොයාර් මහතාගෙන් ඒ මහතා පැහැර ගැනීම පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. ඒම ප්‍රකාශයේ ද මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් යම් කරුණු හෙළිදරවු කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (17) ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීත් නොයාර්ගේ පැහැර ගැනීම සම්බන්ධ පරීක්ෂණය සිදු කරන අතර, ඒ සම්බන්ධව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් එම අධිකරණය හමුවේ නඩු විභාගයක් ද සිදු වෙයි. එම පැහැර ගැනීමට අදාළව යුද්ධ හමුදාවේ හිටපු මේජර් ජෙනරාල්වරයකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඇප පිට නිදහස් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටින්නේ මේ සම්බන්ධව අධිකරණය දැනුවත් කර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා සිටියත් ඒ මහතා නොපැමිණි නිසා පසුගිය දා ඒ මහතාගේ නිවෙසට ගොස් ප්‍රකාශය ලබා ගන්නා බවට ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කර මෙසේ එම නිවෙසට ගොස් ප්‍රකාශ සටහන් කර ගනු ලැබිණි.

ඊයේ පෙරවරු නවයට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවෙසට ගොස් තිබුණි. එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා නිවෙසින් පිටතට ගොස් ආපසු පැමිණ තිබුණේ පෙරවරු 11 ට පමණය. ඒ අවස්ථාවේ සිට පැය තුනක පමණ කාලයක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශය ලබාගෙන තිබුණි.

2008 වර්ෂයේ මැයි 22 වැනි දා රාත්‍රි 11ට පමණ කීත් නොයාර් මහතා නාඳුනන පිරිසක් විසින් පැහැර ගෙන මෝටර් රථයක දමාගෙන ගොස් නීති විරෝධී ලෙස රහසිගතව රඳවාගෙන අමානුෂිකව තෙක් පහර දී අතරමඟ දමා ගොස් තිබී ඇත.

විජයානි එදිරිසිංහ

නව අදහස දක්වන්න