වසර 30ක් පැරැණි මැදිරි 200කට යළි පණ | දිනමිණ

වසර 30ක් පැරැණි මැදිරි 200කට යළි පණ

සමන්මලී ප්‍රියශාන්ති

දුම්රිය මැදිරියකින් මිලියන 48ක ලාබයක්

වසර තිහකට ආසන්න කාලයක් භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 200ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එම එක් මැදිරියක් ආනයනය කිරීමට රුපියල් මිලියන 60ක් රජයට වැය වන අතර, මෙලෙස නවීකරණය කිරීම හේතුවෙන් එක් මැදිරියක් රුපියල් මිලියන 48ක ලාභයක් ලබාගැනීමට රජයට හැකියාව ලැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අත්හැර දමන ලද මේ පැරැණි දුම්රිය මැදිරියක් නවීකරණය කිරීමට රුපියල් මිලියන 12ක පමණ මුදලක් පමණක් වැය වෙන අතර, මේ නවීකරණය කිරීමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව හා පෞද්ගලික ආයතනයක් එක්ව සිදුකරයි. මේ වන විට දුම්රිය මැදිරි 30ක් නවීකරණය කර අවසන් අතර, තවත් 26ක නවීකරණ කටයුතු සිදුකරමින් පවතියි.

මේ නවීකරණ ව්‍යාපෘතිය යටතේ 1989 හා 1992 වසරේ රුමේනියාවෙන් මෙරටට ආනයනය කරන ලද මැදරි 140ක් හා බලවේග කට්ටලවලට අයත් මැදිරි 60ක් නවීකරණය කෙරේ. නවීකරණය කරන ලද මැදිරියක වගකීම් කාලය වසර 15කි.

මේ නවීකරණ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (17) දෙමටගොඩ ආරාම මාවතේ පිහිටි එම කර්මාන්තශාලා පරිශ්‍රයේ නීරීක්ෂණ චාරිකාවකට එක් විය.

එහි දී මාධ්‍ය වෙත අදහස් පළකළ ඇමැතිවරයා,

මාසෙකට දුම්රිය මැදිරි 5 ගානේ සකස් කර ජනතාවට ගමනාගමනය සඳහා ලබාදීම අවශ්‍යතාවයි. මෙය රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක්. මෙහි සියලු වැඩ කරන්නේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෝ. 200කට පමණ රැකියා සපයා දීලා තිබෙනවා. හැමදේම විදේශ රටවලින් ගෙන්වන්නේ නැතිව මේවා රට තුළ නිර්මාණය කිරීමෙන් විශාල විදේශ විනිමයක් රටට ඉතිරි වෙනවා. රැකීරක්ෂා ලැබෙනවා. මේ කාරණා දෙකම ඉටු කරගැනීමට අපට හැකියාව ලැබුණා. යුද හමුදාව බාරයේ තිබූ මේ අංගණය අපට අයිති දෙයක්. මෙය විශාල සටනක් කරලා තමයි අපි ගත්තේ. දුම්රිය දෙපාර්තමේන්තුවට මෙවැනි දුම්රිය දෙකක් අපි ධාවනයට යොදවලා තිබෙනවා. මේවායේ වැසිකිළිවල තිබූ කොටස් අපේ ජනතාව ගලවගෙන ගිහින් තිබෙනවා. සීට් කපා දාලා තිබෙනවා.

අපි මේ ජනතාවට සේවය කරන්න කටයුතු කරන විට කිහිප දෙනෙක් පටු පරමාර්ථ වෙනුවෙන් මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන කනගාටු වෙනවා. මේ ව්‍යාපෘතිය හරහා මෙරට තාක්ෂණය සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන සතුටුයි. මේ අනුව පිටරටටත් දුම්රිය මැදිරි ලබා දීමට අපට හැකියව ලැබෙයි අනාගතයේ. මේ දුම්රියක් කැඩුණොත් රෝද ආදිය පෞද්ගලික සමාගම හදන්නෙ නැහැ. ඒවා හදන්නේ අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්. රත්මලානේ දුම්රිය අංගණයේ ඒ කටයුතු සිදු වෙනවා. මීට අමතරව රත්මලානෙත් දුම්රිය සකස් වෙනවා. ඒවා ප්‍රමාණවත් නොවන නිසා තමයි අපි මෙතැනත් හදන්නේ.

කැලණිවැලි දුම්රිය මාර්ගය සඳහා ලබන මාස දෙක තුන තුළ තෝරා ගන්නා ලද මැදිරි 10ක් 12ක් හදලා සැපවත් ප්‍රවාහන සේවාවක් ඒ ජනතාවට සපයනව. දැනටත් අපි මේ මැදිරි පාවිච්චියට ගන්නවා. වැඩ වර්ජනය කරන්න පුළුවන්. නමුත් එහි දී ජනතාව අපහසුතාවට පත් වෙනවා. දුම්රියත් පාඩු ලබනවා. ඒ ගැන වෘත්තීය සමිති වගකීමෙන් කටයුතු කළ යුතුයි.

පිටින් ගත්විට මැදිරියක් මිලියන 60ක්. දැන් යන්නේ මිලියන 10. 12ක් දුම්රිය මැදිරියකින් මිලියන 48ක් ඉතිරි වෙනවා. මම තමයි හොඳම දුම්රිය ඇමැති. වෘත්තීය සමිති මාෆියාවට මුහුණ දෙමින් මා සේවය කරන්නේ. ඒ අය දැන ගන්න ඕනේ වර්ජනය කිරීමට අයිතිය තිබුණට ඒ අයිතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තිබෙනවා. අමානුෂික වැඩවර්ජන හෙළා දකිනවා යැයි පැවැසීය.

මේ මැදිරිවල පිටත සහ ආසන, වැසිකිළි ඇතුළු උපාංග සහිත අභ්‍යන්තර කොටස් පෞද්ගලික සමාගම විසින් නවීකරණය කරන අතර, තිරිංග සහ ස්වයංක්‍රීය ඇමුණුම් පද්ධතියේ අලුත්වැඩියාවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන ඉංජිනේරු කර්මාන්ත ශාලාව මඟින් සිදුකෙරේ. එක් මැදිරියක් නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 14ක මුදලක් වැයවන නමුත් එවැනි මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් පමණ වැයවෙයි. මේ සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් වැය වන මුදල රුපියල් බිලියන 2.4කි.

ඡායාරූපය - රොෂාන් පිටිපන

නව අදහස දක්වන්න