රෝද තුනට මොකද වෙන්නෙ? | දිනමිණ

රෝද තුනට මොකද වෙන්නෙ?

ත්‍රී - රෝද රථ රක්ෂාව යළිත් සංවාදයට ලක් වී ඇත. මෙවර සංවාදය ආරම්භ වන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයත් සමඟ ය. එම ගැසට් පත්‍රයට අනුව වයස අවුරුදු තිස්පහට අඩු අයට මගී බලපත්‍රය ලැබෙන්නේ නැත. වයස අවුරුදු තිස්පහේ සිට හැත්තෑව දක්වා අයට පමණක් මගී බපත්‍රය ලැබෙන බව සඳහන් ය. මේ නීතිය ලබන 24 දා සිට ක්‍රියාත්මක වන බවද කියති. අලුත් නීතියට විරෝධයක් පවතින අතර එය සැලැකිල්ලට ගත් අමාත්‍යාංශය දැනට මගී බලපත්‍ර සහිත අයට උක්ත නීතිය බලපවත්වන්නේ නැති බව කියා සිටී.

අලුත් නීතියේ හොඳ පැත්ත කල්පනා කළහොත් එහි වැදගත් අරමුණු කිහිපයක් ඇති බව පෙනෙයි. එක අරමුණක් වන්නේ රටේ තරුණ පරපුර සංවර්ධනයට දායක කර ගැනීම ය. අඩු වයසින් ත්‍රී - රෝද රථයක් වෙත තල්ලුවන තරුණයා ඔහුගේ නියම හැකියාව රටට ලබා දෙන්නේ නැත. තව අරමුණක් වන්නේ රටේ සිදුවන මාරක රිය අනතුරු වළක්වා විනයගරුක ප්‍රවාහන සේවයක් ඇතිකිරීම ය. දැනට ත්‍රී - රෝද රථ අනතුරු සංඛ්‍යාව වැඩි ය. ඒ මඟින් මිය යන පිරිස ද වැඩි ය. ත්‍රී - රෝද රථ අතර විනයගරුක ධාවනයක් ඇත්තේම නැති තරම්ය. මේ වසරේ මුල් මාස කිහිපය තුළ පමණක් ත්‍රී - රෝද රථ මාරක අනතුරු 176ක් සිදුවී ඇත. එයින් මිය ගිය පිරිස 190ක් ලෙස සටහන් වී ඇත.

ත්‍රී - රෝද රථ සේවය අපේ රට තුළ තහවුරු වන්නේ 1978 සිට ය. අද වන විට ලක්ෂ දොළහකට වැඩි ත්‍රී - රෝද රථ ප්‍රමාණයක් මහපාරේ ධාවනය වෙයි. වාර්ෂිකව රටට ගෙන්වන ත්‍රී - රෝද රථ ප්‍රමාණය ද සුළු සංඛ්‍යාවක් නො වේ. පාරවල්වලට ඔරොත්තු නො දෙන තරම් ත්‍රී - රෝද රථ සංඛ්‍යාවක් ඇතැ’යි විවේචනයක් ද තිබේ. කොයි හැටි වුව මේ රථය දුප්පතාගේ වාහනය ලෙස හඳුන්වති. දුප්පතාගේ වාහනය දුප්පතා සූරාකන අවස්ථා ද ඇත. මීටර් සවිකළ ද, නිශ්චිත ගාස්තු පිළිබඳ කතිකාවක් තිබුණ ද මෙහි රියැදුරා හැකි සෑමවිටෙක ම මගියා සූරාකයි. එය නැවැත්විය හැකි ක්‍රමයක් සකස් වී නැත. මේ හැරෙන්නට රටේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා හා ත්‍රී - රෝද අතර සහසම්බන්ධයක් ද සොයාගත හැකි ය.

මේ සියල්ලට විසැඳුම මගී බලපත්‍රය සඳහා වූ වයස් සීමාව ඉහළ දැමීම යැයි තර්කයක් ගොඩනැඟිය නොහැකි ය. එහෙත් ඒ මඟින් ගැටලුවට යම් විසැඳුමක් ලබාගත හැකි ය. ත්‍රී - රෝද රථ අනතුරු බහුලවම සිදුකර ඇත්තේ තරුණයන් බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙයි. එලෙස ම අවිනීත ලෙස රිය පදවන්නේ ද තාරුණ්‍යයේ පසුවන ත්‍රී - රෝද රථ රියැදුරන් බව ද එම අධිකාරිය පෙන්වා දෙයි. වේගයෙන් රථය ධාවනය කිරීම, මාර්ග නීති උල්ලංඝනය කිරීම, අවදානම් සහගත ක්‍රියාකාරකම්වල යෙදීම තරුණ රියැදුරන්ගේ මෝස්තරය වී තිබේ. මෙය භයානක සෙල්ලමක් බවට පරිවර්තනය වී ඇත.

ත්‍රී - රෝද රථ රැකියාව මූලික කොට අපේ තරුණ පරම්පරාව වෙත එල්ලවන බරපතළ චෝදනාව වන්නේ ඔවුන් අතිශය පහසු රැකියාවකට යොමුවී තමන්ගේ සහජ කුසලතා විනාශ කරගැනීම ගැන ය. සා/ පෙළ විභාගයෙන් හෝ උසස් පෙළ විභාගයෙන් අධ්‍යාපනයට සමුදෙන බොහෝ තරුණයෝ ත්‍රී - රෝද රථය වෙත යොමු වෙති. මෙය රටේ ශ්‍රම බළකායට විශාල පාඩුවක් බව ආර්ථික විශේෂඥයන් වරින් - වර පෙන්වා දී ඇත. වෘත්තීය පුහුණු ආයතන මෙන්ම වෙනත් අධ්‍යාපන ආයතන රටේ ව්‍යාප්තව පවතී. කාර්මික අධ්‍යාපනයට හා වෘත්තීය අධ්‍යාපනයට ඕනෑතරම් අවස්ථා තිබුණ ද ඊට යොමුවන පිරිස අඩුවී ඇත. ත්‍රී - රෝද රථ රැකියාවත් ඊට එක හේතුවකි. මේ තත්ත්වය මත පුහුණු ශ්‍රමය ආනයනය කිරීමට සිදුවනු ඇත.

දැන් සාමාන්‍ය ක්‍රමය වී ඇත්තේ සුළු මුදලක් ගෙවා ඉතිරිය ලීසිං සමාගමක් වෙතින් ලබාගෙන ත්‍රී - රෝද රථයක් මිලට ගැනීම ය. ඊළඟට එය මහපාරට දැමීම ය. කුලී රථ සඳහා බරපතළ තරගයක් ද රට තුළ පවතී. ඇතැම් රියැදුරකුට ජීවත්වීම සඳහා ප්‍රමාණවත් දෛනික ආදායමක් නැත. ත්‍රී - රෝද රථ වෙනුවට කුඩා මෝටර් රථ ධාවනය වන බැවින් තත්ත්වය තවත් නරක අතට හැරී තිබේ. ඒ අනුව ත්‍රී - රෝද රථ රක්ෂාව එදා වේල ටුවර්ස් තත්ත්වයට වැටී ඇත. මෙය තරුණයන්ගේ කාලයත්, ජිවිතයත්, අනාගතයත් අවදානමකට ඇද දැමීමක් ලෙස සැලැකිය හැකි ය. මේ අර්බුදයට විසැඳුමක් අවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යාංශය කල්පනා කර තිබේ.

ත්‍රී - රෝද රථ සංගම් කිහිපයක් ද රට තුළ ක්‍රියාත්මක ය. මේ සංගම් අලුත් නීතියට එරෙහි ව ගොඩනඟන තර්ක කිහිපයක් ද තිබේ. එක තර්කයක් වන්නේ බස් රථ මගී ප්‍රවාහනය සඳහා බලපත්‍රය අවුරුදු විසිතුනේ සිට ලබා දෙන්නේ නම්; ත්‍රී - රෝද රථයට පමණක් අවුරුදු තිස්පහක සීමාවක් පනවන්නේ ඇයි ද යන්න ය. දෙවන තර්කය වන්නේ තරුණ පරපුරට පහසු රැකියා මාර්ග නොමැති වීම නිසා ඔවුන් පහසුවෙන් ම සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවිය හැකි බව ය. තෙවන තර්කය වන්නේ අවුරුදු තිස්පහට අඩු ත්‍රී - රෝද රථ රියැදුරන් විශාල ප්‍රමාණයක් ර‍ටේ සිටින බව ය. ප්‍රමාණය ගතහොත් එය අටලක්ෂ පනස්දහසකට වැඩි බව කියති.

දැනට මගී බලපත්‍රය සහිත අයට අලුත් නීතිය බලපාන්නේ නැති බව රජය කියා තිබේ. ඒ අනුව තෙවන තර්කය අදාළ නැතැ’යි ඉවත දැමිය හැකි ය. එහෙත් අනෙක් තර්ක දෙක පහසුවෙන් ඉවත දැමිය හැකි නො වේ. බස් රථයක් ගතහොත් එහි වගවීම වැඩි ය. අවදානම ද වැඩිය. ඒ අනුව අලුත් නීතිය සංශෝධනය කළ හැකි නම්; එය වැදගත් බව ත්‍රී - රෝද රථ සංගම්වල අදහස වී තිබේ. තරුණ පරපුරට අදාළ ප්‍රධාන රැකියා මාර්ගයක්‍ ලෙස ද ත්‍රී - රෝද රථය හැඳින්විය හැකි ය. එහෙත් එය එසේ වන්නේ ඊට අවශ්‍ය හොඳ පදනමක් ද තිබුණහොත් පමණි. එබැවින් මේ ගැන තවදුරටත් විද්වත් සංවාදයක් පැවැතිය යුතු ය.

ත්‍රී - රෝද රථ ධාවනය, ඒවා පවත්වාගැනීම හා මගීන් වෙත විනයගරුක හා යුක්තිසහගත සේවාවක් ලබාදීම සඳහා නියාමනයක් ඇතිකළ යුතු බවට විද්වත් මතයක් ඉදිරිපත් වී ඇත. එය සලකා බැලිය යුතු කාරණයකි. දැනට එබඳු නියාමනයක් නැත. එහෙත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කුලී රථ රියැදුරන් සඳහා උපදේශනය හා පුහුණුව ලබාදෙන වැඩසටහක් පවත්වාගෙන යයි. ඇතැම් රියැදුරන් ඒ ගැන උනන්දුවක් නැත. එක අතෙකින් ත්‍රී - රෝද රථ රක්ෂාවට විධිමත්භාවයක් ඇතිකළ යුතු ය. අනෙක් අතින් මෙයින් තරුණ පරපුරට සිදුවන පාඩුව නතර කළ යුතුය.

 

නව අදහස දක්වන්න