Fashion Bug කොටුව දුම්රියපොළ තවත් ඔපවත් කරයි | දිනමිණ

Fashion Bug කොටුව දුම්රියපොළ තවත් ඔපවත් කරයි

සමාජ වගකීමක් සහිත සමාගමක් ලෙස කටයුතු කිරීමේ පොරොන්දුව නිබඳව රැකගනිමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විලාසිතා සන්නාමයක් වන Fashion Bug ආයතනය ඉකුත් දා කොළඹ කොටුව දුම්රියපොළ ඔපවත් කිරීමේ තෙවැනි අදියරේ කටයුතු සපුරාලීම ප්‍රකාශයට පත් කළේය. මේ ව්‍යාපෘතිය යටතේ දුම්රියපොළේ සියලුම සංඥා පුවරු සහ දිශාව දැක්වීමේ පුවරු අලුත්වැඩියාකර පින්තාරු කරන ලදී.

2013 වසරේ ආරම්භ කරන ලද මේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම සහ සහයෝගය සමගින් ක්‍රියාවට නංවන ලද්දකි. පසුගිය වසර කිහිපය පුරා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට විශාල අත්වැලක් වූ සංඥා පුවරු උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට Fashion Bug ආයතනයේ මේ ව්‍යාපෘතිය මහෝපකාරී වී තිබේ.

දිනපතා මගීන් දහස් ගණනකට සේවය සපයන කොටුව දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහ කාර්යබහුලම දුම්රිය පර්යන්තය වේ. එය කෙටි සහ දුර ගමන් දුම්රිය සේවාවන්හි ප්‍රධාන නැවතුම්පොළද වේ.

ශ්‍රී ලංකාව පිළිබද සැබෑ අත්දැකීමක් ලබා ගැනීම සඳහා විදේශිකයන් විසින්ද මෙරට පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේ ප්‍රවණතාව ඉහළ යෑමත් සමඟ දුම්රියපොළට පැමිණෙන විදේශිකයන් ගණනද ඉහළ ගොස් තිබේ. එම නිසා මෙවැනි පර්යන්තයන්හි, විශේෂයෙන්ම ප්‍රධාන දුම්රිය ස්ථානයේ නිවැරදි සහ පැහැදිලි දැන්වීම් පුවරු තිබීම අතිශය වැදගත් වේ.

නව අදහස දක්වන්න