නිතරම නැති භාෂා | දිනමිණ

නිතරම නැති භාෂා

මානව වංශ විද්‍යා පර්යේෂණවලට අනුව, ලොව මේ වනවිට භාවිතයට ගැනෙන භාෂා සංඛ්‍යාව 7099කට ආසන්න ය. කෙසේ වුවත්, මේ සංඛ්‍යාව තව දුරටත් වෙනස් විය හැකි බව මානව වංශ විද්‍යාඥයෝ පෙන්වා දෙති. එයට හේතුව, පැපුව නිව් ගිනියා, ඇමේසන් ආදී දුෂ්කර ප්‍රදේශවල භාවිතයට ගැනෙන භාෂා පිළිබඳ සොයා බැලීමට ඇති දුෂ්කරතාව ය. දැනට සොයාගෙන ඇති භාෂා අතර වුව, ඉතා කලාතුරකින් භාවිතයට ගැනෙන භාෂා දැකිය හැකි ය. එම භාෂා එලෙස කලාතුරකින් භාවිතයට ගැනෙන්නේ, ඒවා වැහැරීමට දන්නා පිරිස අඩු වී යෑම සහ නව පරම්පරාවේ අය එම භාෂා භාවිතයට ගැනීමට ඉදිරිපත් නොවීම යන කාරණා නිසා ය.

යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන අන්දමට, ලොව කලාතුරකින් භාවිතයට ගැනෙන භාෂා සංඛ්‍යාව 64කට අධික ය. එයින් සමහරක් භාෂා ගැන කෙටි විස්තරයක් මතු දැක්වේ.

 

1. න්ජෙරෙප් භාෂාව (Njerep)

න්ජෙරෙප් භාෂාව, අප්‍රිකාවේ කැමරොන් හි අදමවා ප්‍රදේශයේ භාවිතයට ගැනෙන භාෂාවක් හැටියට ප්‍රකට ය. මේ භාෂාව අද භාවිතයට ගන්නේ හතර දෙනකු පමණක් බව වාර්තාවල දැක්වේ. එකී හතරදෙනා සිටින්නේ නයිජීරියා - කැමරොන් දේශසීමාවෙහි ය. මේ භාෂාව කතා කරන හතරදෙනාගෙන් ලාබාලතමයා උපත ලැබුවේ, එක්දහස් නවසිය හතළිස් ගණන්වලදී බව සඳහන් වේ. මේ අනුව, න්ජෙරෙප් භාෂාව දැනට කතා කරන පිරිස වයස අවුරුදු හැත්තෑ ගණන්වල පසුවන්නන් ය. න්ජෙරෙප් භාෂාව තව දුරටත් නොපවතිනු ඇති බවට මානව විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. මේ නිසා, පසුගිය කාලයේදී න්ජෙරෙප් බසෙහි ව්‍යාකරණ සහ වචන මාලාව ඒකරාශී කිරීමට, භාෂා පිළිබඳ විශේෂඥයෝ වෙහෙස වූහ. ඔවුන්ට වුව මේ බසෙහි සම්පූර්ණ වචන මාලාව සහ ව්‍යාකරණ සොයා ගැනීමට නොහැකි විය.

2. කවිශානා බස (Kawishana)

මෙය, බ්‍රසීලයේ ජපුරා ගංගාව ආසන්නයෙහි ජීවත් වන ජනයා භාවිතයට ගන්නා භාෂාවක් හැටියට සැලකේ. එය අරවකන් භාෂාවක් හැටියටත් නම් කර ඇත. කලක් මේ බස ප්‍රකටව තිබුණු බවට සාක්ෂි තිබේ. එසේ වුවත්, කවිශානා බස කතා කරන පුද්ගලයන් කිහිප දෙනකු ගැන අවසන් වරට තොරතුරු වාර්තා වුණේ එක්දහස් නවසිය පනස් ගණන්වලදී ය. මෑතකදී එම භාෂාව කතා කරන කෙනකු ගැන තොරතුරු වාර්තා නොවුණ බැවින්, එය වඳ වී ගිය භාෂාවක් හැටියට සැලකිය හැකිද යන සැකය, භාෂා පිළිබඳ විද්‍යාඥයන් තුළ පැන නැඟී ඇත.

3. පාකන්ටයි බස (paakantyi)

ඔස්ට්‍රේලියාවේ ඩාර්ලින් ගඟ ආශ්‍රිතව ජීවත් වන ඇබොරොජීනියන් ප්‍රජාව භාවිතයට ගන්නා භාෂාවක් හැටියට මෙය සැලකේ. පුද්ගලයන් දෙදෙනකුත්, විසි හතර දෙනෙකුත් අතර සංඛ්‍යාවක් මේ බස පරිහරණය කරන බව මෑතකදී කළ පර්යේෂණයකින් තහවුරු විය. එසේ වුවත්, නවතම වාර්තාවල සඳහන් වන්නේ, පාකන්ටයි බස නිවැරදිවම භාවිත කරන්නට දත් දෙදෙනකු පමණක් ඒ අතර සිටි බවකි. ප්‍රදේශයේ ඇති සමහර පාසල් පාකන්ටයි බස ඊළඟ පරම්පරාවලට ඉගැන්වීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන ලදී. අපේක්ෂා කළ තරමට ඒ වැඩපිළිවෙළ සාර්ථක නොවිණ. මේ නිසා, පාකන්ටයි බස වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී ඇති භාෂාවක් ලෙස සැලකේ.

4. ලිකි භාෂාව (liki)

ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේ ජීවත් වන පිරිසක් භාවිතයට ගන්නා භාෂාවක් හැටියට මෙය සැලකේ. කලක් එය බෙහෙවින්ම ජනප්‍රිය භාෂාවක් හැටියට පැවැතියේ ය. ලිකි භාෂාව සැලකෙන්නේ, සරාමි, සරාමි - ජයපුරා, උතුරු නව ගිනියා, නැඟෙනහිර මලයෝ - පොලිනීසියා ආදී භාෂා ගණනාවක් ආශ්‍රයෙන් වර්ධනය වූ භාෂාවක් හැටියට ය. ලිකි බස පරිහරණය කෙරුණු ප්‍රදේශවල ස්වදේශික පල්ලි තුළ එකල භාවිතයට ගැනුණු නිල භාෂාව වූයේ ද එයයි. ලිකි බස භාවිත කරන එකොළොස්දෙනකුට වඩා වැඩි පිරිසක් එම ප්‍රදේශවල ජීවත් නොවන බැව් අවසන් වරට කරන ලද සොයා බැලීම්වලදී තහවුරු විය.

5. සාර්සි බස (sarsi)

 

සාර්සි බස භාවිතයට ගන්නේ කැනඩාවේ කැල්ගරි හි ජීවත් වන ට්සූ ටිනා නමින් හැඳින්වෙන ගෝත්‍රික සමාජයකට අයත් ජනයා ය. සාර්සි බස කථනය සඳහා පමණක් භාවිතයට ගැනෙන බසකි. එය ලේඛන කටයුතුවලට භාවිතයට ගැනුණු බවට කිසිදු සාක්ෂ්‍යයක් නැත. මේ නිසා, සාර්සි බස පිළිබඳ කිසිදු ලේඛනයක් හමු නොවේ. සාර්සි බස භාවිතයට ගන්නා පුද්ගලයන් 170දෙනකු පමණක් ට්සූ ටිනා ගෝත්‍රික ප්‍රජාව තුළ වෙසෙන බව 2011 වසරේදී කරන ලද ජන සංගණනයකින් තහවුරු විය.

6. චමිකුරෝ බස (chamicuro)

චමිකුරෝ බස, පේරු රාජ්‍යයේ භාවිතයට ගැනෙන සම්ප්‍රදායික භාෂාවක් හැටියට සැලකේ. එය භාවිතයට ගැනෙන්නේ, එරට ස්වදේශික ජන සමාජයක් තුළ ය. එකී සමාජයේ පවා මේ බස කතා කරන පුද්ගලයන් දෙදෙනකුට වඩා නැති බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. බාල පරම්පරාවල කිසිවකු චමිකුරෝ බස පරිහරණය කරන්නට දන්නේ නැත. එම සමාජයේ ජීවත් වන වත්මන් පරපුර වඩාත් ප්‍රිය කරන්නේ ස්පාඤ්ඤ බස බැව් සඳහන් වේ. චමිකුරෝ බස භාවිතයට ගත් මෑත පරම්පරාවල වැඩිහිටි පිරිස් එකට එකතුව, එම බසෙහි ශබ්ද කෝෂයක් සකස් කර ඇත. මේ නිසා, එකී බසෙහි සෑහෙන වචන ප්‍රමාණයක් ලිඛිතව පවතී. භාෂා විශේෂඥයන් පවසන්නේ එම ශබ්ද කෝෂයෙහි වැඩිපුරම දැකිය හැකි වන්නේ, සත්ව නාම බව ය.

7. ඩුමී බස (dumi)

නේපාලයේ උතුරු ඛොටන්ග් දිස්ත්‍රික්කයේ රාවා සහ ටාප් නදී ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන පිරිස් භාවිතයට ගන්නා භාෂාවක් හැටියට ප්‍රකටය. එය කිරන්තී භාෂා පවුලට අයත් භාෂාවක් ලෙස සැලකේ. 2007දී කෙරුණු අධ්‍යයනයකින් තහවුරු වන අන්දමට ඩුමී බස භාවිතයට ගන්නා හත්දෙනෙකුට වඩා වැඩි පිරිසක් එහි මේ වනවිට නැත. මේ බසෙහි ශබ්ද කෝෂයක් ද දක්නට ලැබේ. ඒ හැරුණුවිට එහි ව්‍යාකරණ රීති, පද ගැලපුම් ආදිය ගැන සඳහන් ලේඛනත් විද්‍යාඥයන් අතට පත්ව ඇත.

8. ඔන්ගොටා බස (ongota)

ඔන්ගොටා බස භාවිතයට ගැනෙන්නේ ඉතියෝපියාවෙහි වෙයිටෝ ගඟ ආසන්නයේ පිහිටා ඇති කුඩා ගම්මානයක ජීවත් වන පිරිසකි. මේ ගම්මානයේ ජනගහනය 115ක් පමණ බැව් 2012දී කරන ලද සංගණනයකින් අනාවරණය වී ඇත. එම පිරිසෙන් දොළොස් දෙනකු ඔන්ගොටා බස පරිහරණය කරන බව යුනෙස්කෝ සංවිධානයේ වර්තාවක දැක් වේ. ඔන්ගොටා බස අප්‍රිකා - ආසියාතික මුහුමක් සහිත භාෂාවක් හැටියට සැලකේ. අඩු පිරිසක් පරිහරණයට ගත්ත ද, මේ බස වඳ වී නොයනු ඇතැයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි. එයට හේතුව, ඔන්ගොටා පිළිබඳ මහාචාර්යවරයකු අඩිස් අබාස් විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ සේවයේ නියුතුව හිඳීම ය.

9. ටනේමා බස (tanema)

සොලමන් දූපත් සමූහයට අයත් වනිකොලෝ දූපතේ එමුවා ගම්මානයෙහි ජනයා පරිහරණය කරන්නේ ටනේමා බසයි. මේ ගම්මානයෙහි ජීවත් වන 150කට ආසන්න පිරිසෙන්, 2012 වසර වනවිට ටනේමා බස කතා කරන්නට දැන සිටියේ එක ම එක පුද්ගලයකු පමණක් බව සඳහන් වේ. ඔහු නමින් ලයිනොල් නාලෝ හැටියට හැඳිනගෙන ඇත. ටනේමා බස පරිහරණයෙන් ඈත් වනවිට, ගම්මුන් හුරු වී සිටින්නේ ටීනු නමින් හැඳින්වෙන වෙනත් භාෂාවක් භාවිතයට ගැනීම සඳහා ය. ටනේමා මෙන් ම, ටීනු යන භාෂා ද්වයම ප්‍රභවය වන්නේ එක ම මූලයකිනි.

10. පව්නී බස (pawnee)

ස්වදේශික ඇමෙරිකා - ඉන්දීයයන් භාවිතයට ගන්නේ පව්නී බසයි. අමෙරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රෙස්කා සහ උතුරු - මධ්‍යම ඔක්ලහෝමා ප්‍රදේශවල ජීවත් වන යට කී ප්‍රජාවන්ට අයත් ජනයා, එම බස වහරති. 2007 වනවිට මේ බස පරිහරණය කළේ පුද්ගලයන් දස දෙනකු පමණක් බව වාර්තාවල සඳහන් වේ. එම පුද්ගලයෝ දසදෙනාත් වයස්ගත අය වූහ. ඔවුන්ගේ දරු මුණුබුරෝ ඉතා පහසුවෙන්ම ඉංග්‍රීසි බසට හුරු වෙමින් සිටියෝය. ව්‍යංජනාක්ෂර නවයකින් සහ ප්‍රණාක්ෂර අටකින් සමන්විත පව්නී බසෙහි වචන උච්ඡාරණය, ඉංග්‍රීසි උච්ඡාරණයටම සමාන බව දැක්වේ.

අන්තර්ජාලය ඇසුරෙනි

මංජුලා විජ­ය­රත්න 
 

 

 

නව අදහස දක්වන්න