තෙවැනි ඇසින් ලොව දකිනා සෙව්ව­න්දිය | දිනමිණ

තෙවැනි ඇසින් ලොව දකිනා සෙව්ව­න්දිය

දුක සතුට එකට කැටි කර ගත් මේ අපූරු ජීවන ගමනෙදි, අපි අතින් ගිලිහුණු එක ම එක නිමේෂයක්වත් ආයෙමත් ජීවිතයට එන්නෙ නෑ. ඒත්, ඒ ගෙවීගිය නිමේෂයන්, සොඳුරුතම අයුරින්, සදාතනික මතක සටහන් බවට පත් කරන්න, කලාත්මක ඇහැකට උරුමකම් කියන ඡායාරූප ශිල්පියකුට පුළුවන්. ඒත් එහෙම කළ හැක්කේ, ඡායාරූප ශිල්පියකුට විතරමද? නෑ ඡායාරූප ශිල්පිනියකටත් පුළුවන්.

අම්බලන්තොට ප්‍රදේශයේ මාමඩල නම් සොඳුරු ගම්පියසේ, නිස්කලංක පරිසරයක ජීවිතේ ගෙවන සෙව්වන්දි දලදාවත්ත නම් ඇය, ආධුනික ඡායාරූප ශිල්පිනියක්. සිය ඉගෙනීම් කටයුතු හා එදිනෙදා කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන මුදලින් සැලකිය යුතු කොටසක් ඇය උපයා ගන්නේ, තමාගේම මහන්සියෙන් සහ දක්ෂතාවෙන්. ‍

මාමඩල මහ විද්‍යාලයෙන්,අම්බලන්තොට මහා විද්‍යාලයෙන් සහ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් අකුරු කෙරූ සෙව්වන්දි, ඇගේ ආදරණීය මාපියන් සමඟ ජීවත් වෙන්නෙ, ගම කෙළවරේ ම ගෙදර. විශාල වෙල් යායක් මැද තියෙන සෙනෙහෙ කැදැල්ලක, ගස් වැල් මල් පිරිවරාගත්තු පරිසරයක ගෙවෙන ජීවිතේ ඇති නිහඬ, නිසංසල බව, ඇගේ කලාත්මක කටයුතුවලට විශාල රුකුලක් බව නම් අමුතුවෙන් කිව යුතු නෑ.

“මගේ ඥාති අයියා කෙනෙක් හිටියා, ඔහු ඡායාරූප ශිල්පියෙක්. එයාගේ ෆොටෝ දැකලා, මේ කලාව හදාරන්න මටත් හිතුණා. මගේ තාත්තත් ඡායාරූප ශිල්පියෙක්. තාත්තාගෙනුත් මම බොහෝ දේ ඉගෙන ගත්තා. තාත්තගේ ගෙදර තිබුණු පරණ කැමරා වගයක් පොඩි කාලෙ ඉඳලා අතපත ගාලා තිබුණු නිසා, මේ ශිල්පය ඉගෙන ගන්න හිතේ පොඩි කැමැත්තක් තිබුණා. මුලින් මං එෆ් බී එකෙන්, ඉන්ටර්නෙට් එකෙන් බලලා මේ ශිල්පය ඉගෙන ගත්තා. උ. පෙළින් පස්සේ, තේනුවර සර්ගේ ක්ලාස් එකට ගියා. පස්සෙ පස්සෙ මට ඒ ගැන තිබුණු කැමැත්ත සහ උනන්දුව වැඩි වුණා. යාළුවො කියනවා “ඔයාගෙ ෂොට්ස් ලස්සනයි” කියලා. ඒත් මට නම් තාම මදි. මට ඕනෙ තව බොහෝ දේ ඉගෙන ගන්න. දැන් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඡායාරූපකරණය හදාරනවා.

මම, චලන රූප සහ නිශ්චල රූප කියන දෙවර්ගයම ගැන වෙන වෙනම මං හදාරනවා. අත්හදා බැලීම් විදිහට මමකෙටි චිත්‍රපට තුන හතරකුත් කළා. තව දුරටත් ඉගෙනගෙන, ඉදිරියෙදි ඒ අංශයෙන් දැනෙන දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව ලියන කියන වැඩත්, චිත්‍ර අඳින එකත් මං දිගටම කරගෙන යනවා. අම්මා, තාත්තා, වගේ ම මේ කලාව ඉගැන්වූ ගුරුවරු තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. මං ජීවිතේ ගැන බොහෝ දේ ඉගෙන ගත්තෙ ඒ අයගෙන්.

ඡායාරූපකරණය මට විනෝදාස්වාදයක් වගේ ම ආදායම් මාර්ගයක්. ඒ වුණත් මට හරියට වැඩක් කරලා, ඒකට සාධාරණ ගාණක් ගන්න පුළුවන් කියලා හිතුණොත් විතරයි මං වැඩක් භාරගෙන කරන්නෙ. කවුරු කිව්වත්, මට බැහැයි කියලා හිතුණොත්, මම භාර ගන්නෙ නෑ. වැඩේ ඇතුළෙදි මං මට අවංක වෙන්න ඕනෙ.ඒ වගේම තමයි සමහරු වැඩක් බාරගෙන, ඔහේ කරලා, යාළුකමට කියනවානේ “ඔන්න ඔහේ කීයක් හරි දෙන්න” කියලා. මං එහෙම කරන්නෙ නෑ. ඒ වගේ ම මම නිකං කරන්නෙත් නෑ. මගේ ගුරුවරයත් මට කියලා තියෙන්නෙ “තමන් මහන්සියෙන් ඉගෙන ගත්ත දේ, තමන්ගේ ශ්‍රමය, කැපවීම, දක්ෂතාව නිකං දෙන්න එපා. දුන්නොත් ඒකෙ වටිනාකම නැති වෙනවා” කියලයි. එක්කො කාට හරි තෑග්ගක් විදිහට ඇල්බම් එකක් කරලා දෙනවා. නැත්නම් යාළුවෙක්ගෙන් වුණත් සාධාරණ ගාණක් ගන්නවා. මොකද මං මගේ කලාවට වටිනාකමක් දෙන්න ඕනෙ. බොහෝ දෙනෙක් කියන්නෙ“මොකක්ද ඔයා ඔය දේ ඉගෙනගෙන කරන්න බලාපොරොත්තු වෙන්නෙ? කෙල්ලන්ට ඕක කරලා ඉස්සරහට යන්න බෑනෙ” කියලයි. ඒ අය ගෑනු ළමයෙකුට සීමාවක් දාලා තියෙනවානේ.මොකක්ද ඒ සීමාව? මම නම් හිතන්නෙ ඡායාරූපකරණයේදිවත්, වෙන දේකදිවත් එහෙම සීමාවක් තියෙන්න ඕනෙ නෑ. අපි දන්නවා, ලෝක ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පිනියන් ඉන්නවා. නිර්මාණශීලිත්වය කියන දේට ගැහැනු, පිරිමි බව ආදාළ වෙන්නෙ නෑ. හැකියාව තියෙනවා නම්, ගැහැනු ළමයකුට වුණත් හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන් වගේ ම, වින්දනයක් ලබන්නත් පුළුවන් විදිහෙ වෘත්තියක් තමයි මේ.”

හැකියාව ඉදිරියේ සීමා නොතකන ඇය, දිනෙක බාධක සුනු විසුනු කර, අරමුණ ජය ගනීවි. මන්දයත්, නිර්මාණශීලිත්වයට ස්ත්‍රී - පුරුෂ බව කිසිසේත්ම අදාළ වන්නේ නැත.

 

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න

Or log in with...