නීරෝගි ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන භාස්ත්‍රික ප්‍රාණ­යා­මය | දිනමිණ

නීරෝගි ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන භාස්ත්‍රික ප්‍රාණ­යා­මය

1

කම්මලක මයිනහමෙන් සුළං පිඹින ලෙස, මේ ප්‍රාණයාමයේදී එක දිගට හුස්ම පිට කරන බැවින්, මෙය 'භාස්ත්‍රික ප්‍රාණයාමය' නමින් හැදින්වේ. භාස්ත්‍රික යනු, 'පිඹීම' යන්නයි.

යෝගා, ලොව සිසාරා පැතිර යමින් ඇත. අමෙරිකාව, ජර්මනිය, ඔස්ට්‍රියාව, එංගලන්තය ඇතුළු බොහෝ රටවල මහා පරිමාණයේ යෝගා පුහුණුවීම් ශාලා සහ යෝගාශ්‍රම නිර්මාණය වී තිබේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් යෝගා උගනිති. එහෙත්, දියුණු තත්ත්වයේ යෝගීවරු බිහි නොවෙති. යෝගී සෘෂිවරුන් දකින්නට නැත. එයට හේතුව, අෂ්ඨාංග යෝගා පිළිවෙතින් ලෝකයම ප්‍රගුණ කරන්නේ, අංග දෙකක් පමණකි. එනම්, යෝගා ආසන සහ ප්‍රාණයාම අභ්‍යාස යන අංග දෙක ය. ඊට පෙර අෂ්ඨාංග යෝගයේ එන, යාම සහ නියාම පිළිබඳ නොසලකති. පව් නොකිරීමත්, පිං කිරීමත් ඒ දෙකේ සරල අදහස ය.

1. යාම 2.නියාම මඟින් ගත සිත පිරිසුදු කරගෙන, 3.යෝගාසන 4. ප්‍රාණයාම 5.ප්‍රත්‍යාභාර 6. ධාරණ 7. ධ්‍යාන 8.සමාධියට පත් විය හැකි ය. වර්තමානයේ යෝගා මඟින් එසේ පල ලැබුවෝ විරල ය. ඒත්, අද ද යෝගී සෘෂි හු වාසය කරති.

ඉන්දියාවට යෝගා ප්‍රවිශ්ට වූයේ , රාවණා යුගයෙන් පසුව ය. ලෝකයට යෝගා දායාද කළ සිංහලයා, ඊට ශත වර්ෂ ගණනකට පෙර යෝගා නිර්මාණය කළහ. හිරු දෙවියකු ලෙස සලකා, වැඳුම් පිදුම් කළ සිංහලයා, යෝගා ආරම්භ කළේ සූර්ය නමස්කාරයෙනි. අද බටහිර ජාතීහු එය ව්‍යායාමයකට පමණක් සීමා කර, 'SUN SALUTATION' නමින් පුහුණු වෙති. ලෝකයම මේ උතුම් ශිල්පයේ පිටපොත්ත පමණක් දියුණු මට්ටමින් ප්‍රගුණ කරති.

මිනිසාගේ සිරුර තුළ නිදිගැන්වී පවතින අසිරිමත් විශ්ව බලය අවදි කර , අධ්‍යාත්මික බලය පුබුදුවා ගැනීමට ඔවුන්ට කිසි දින වාසනාවක් නැත. විනාහය කරා ඇදී යන ලෝකය යළි උසස් තත්ත්වයට ගෙන ඒමට පින් බලය ඇත්තේ ඔබට ය. මත් රකුසාගෙන් ඈත් වෙන්න. බටහිර වේග රිද්ම සංගීත රැල්ලෙන් ඈත් වෙන්න. සිංහල බෞද්ධ සංස්කෘතියට ළංවී, යෝගී පිළිවෙත් ජීවිතයට එක් කර ගන්න. නොසැළෙන අධිෂ්ඨානයෙන්, දැඩි උත්සාහයෙන්, ඇප කැපවී යෝගා ප්‍රගුණ කරන්න. එය, ඔබ, ඔබටත් , මුළු මහත් මිනිස් සංහතියටත් කරන උසස් ම සේවයයි. එමඟින්, ඔබට දෙලොවම ජයගත හැකි ය.

 

භාස්ත්‍රික ප්‍රාණයාමයෙහි රැඳෙන පිළිවෙළ

ඔබේ යෝගාස්තරණය මත තදාසනයේ විනාඩි දෙකක් නිසසලව රැදී සිටින්න. දැන් සිද්ධාසනය, සුඛාසනය, අර්ධ පද්මාසනය, පත්මාසනය, ස්වස්තිකාසනය හෝ වජ්‍රාසනයේ රැඳී සිටින්න. ඉණෙන් ඉහළ කඳ කොටසත්, හිසත් කෙළින් තබා ගන්න. දෙඅත් දෙදණහිස මත රඳවා තබා ගන්න. කට වසා ගන්න. නාසයෙන් තදින් ගැඹුරට ආශ්වාස කරන්න. වේගයෙන් ප්‍රාශ්වාස කරන්න. වාර දහයක් මෙපරිද්දෙන් එක දිගටම හුස්ම ගනිමින් පිට කරන්න. ඊ ළඟ වාරයේදී ගැඹුරු හුස්මක් ගෙන, රඳවා තබා ගන්න. දැන් සෙමෙන් සෙමෙන් හුස්ම පිට කරන්න. මේ භාස්ත්‍රික ප්‍රාණයාමයයි. ඉන් පසු ටික වෙලාවක් සාමාන්‍ය ක්‍රමයට ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. එසේ සුළු විවේකයක් ගෙන, නැවත භාස්ත්‍රික ප්‍රාණයාමය කරන්න. මෙසේ ඔබට රිසි පරිදි කිහිප වරක් මේ ප්‍රාණයාමය කරන්න. එක වරක් කිරීම වුව ද ප්‍රමාණවත් ය.

 

භාස්ත්‍රික ප්‍රාණයාමයෙන් ලදහැකි ප්‍රතිඵල

භාස්ත්‍රික ප්‍රාණයාමයෙන් ඈලි මෑලි දුබල ගතිය දුරු කරයි. පීනස, ඇදුම, කැස්ස, ක්ෂය රෝගය,බඩේ වාතය පිරීම, උගුරේ ආබාධ ඇතුළු විවිධ ලෙඩ රෝග සුවපත් කරයි. වා, පිත් , සෙම් සමතුලිත කරයි. කුසගිනි වඩවයි. ආහාර රුචිය වර්ධනය වෙයි. කාන්තාවන්ගේ විවිධ අපහසුතා දුරු කරයි. මොළයේ, හෘදය වස්තුවේ සහ පෙනහලුවල ක්‍රියාකාරී බලයට නව ජීවයක් ලැබී ප්‍රබෝධයෙන් තබයි. ආයුබල වඩවයි. අධ­්‍යාත්මික බලය දියුණු කරයි.

 

ප්‍රවීණ යෝගාචාර්ය

අභය ශ්‍රී ගුරුගේ


නව අදහස දක්වන්න

Or log in with...