දුම්රිය මගියා පාරෙ නිදිකරලා පඩි ඉල්ලීම පාප කර්මයක් | දිනමිණ

දුම්රිය මගියා පාරෙ නිදිකරලා පඩි ඉල්ලීම පාප කර්මයක්

දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ලේකම්-සම්පත් රාජිත

එක් දුම්රිය වර්ජනයක කලබැගෑනිය පහව යන්නටත් පෙර තවත් සමිති කිහිපයක් වර්ජනය කරන බවට තර්ජනය කරමින් වැටුප් විෂමතා ඉවත් කර ගන්නටත් වැටුප් නංවා ගන්නටත් කැසකවනු පෙනේ. මෙසේ වර්ජනවල නියැලෙන වෘත්තිය සමිතිවල සදාචාරය කුමක් ද, ජනතා බදු මුදලෙන් යැපෙන, පාඩු ලබමින් දුවන දුම්රිය වැනි ආයතනයකට ජනතාව මත තව තවත් බර පටවමින් වැඩි පඩි ඉල්ලන්නට සදාචාරාත්මක අයිතියක් තිබේ ද? අද එහා ඉවුරෙන් සාකච්ඡා කෙරෙන්නේ ඒ පිළිබඳව ය.

 ජනතාව අපහසුතාවයට ලක්කරමින් දුම්රිය සේවක වෘත්තීය සමිති කරන වැඩ වර්ජන අයුක්ති සහගත යැයි චෝදනා එල්ල වෙනවා. මේ ගැටලුව නිරාකරණය කරගන්න වෘත්තීය සමිති හා රජය එකඟතාවයකට නොඑන්නේ ඇයි?

ඇත්තටම මෙතැන තියෙන ප්‍රශ්නය 2006 දී 6/2006 කියන චක්‍රලේඛයෙන් සමස්ත රාජ්‍ය සේවයම අවුල් කරපු එකයි. ඒක කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. එදා දුම්රියේ තිබුණ ශ්‍රේණි 127 ශ්‍රේණි 28කට පහත දැම්මා. මේ සිද්ධියත් එක්ක අසීමිත වැටුප් විෂමතාවයක් මතු වුණා. ඒ වෙලාවෙත්, අධ්‍යාපන, සෞඛ්‍ය කියන වෘත්තීය සංගම් එක්ක අපිත් මේ චක්‍රලේඛයට විරෝධය එල්ල කළා. ඒත් වැඩක් වුණේ නෑ. අද වෙලා තියෙන දේ වෙනවා කියන එක අපි එදා කිව්වා. එහෙම කරපු අය අද බලයේ නෑ. ඒ අය කරපු දේවල්වලට වෘත්තීයවේදීන් පීඩා විඳිනවා වගේම මහජනතාවත් වරින් වර පීඩාවට ලක් වෙනවා. අත්තනෝමතික තීන්දු තීරණ ගන්න එක දේශපාලකයාගේ වගකීමක් නෙවෙයි. දැන්වත් මේ රාජ්‍ය සේවයට අත්වෙලා තියෙන තත්ත්වය ඔවුන් අවබෝධ කරගන්න ඕන.

චක්‍රලේඛයෙන් එවැනි අර්බුදයක් නිර්මාණය වුවත්, වැටුප් වැඩිකර ගැනීම් කරගන්නේ චක්‍රලේඛයට අනුව නොවන බව පැහැදිලියි. අවශ්‍ය වෙලාවට වර්ජනවලට ගිහින් වැටුප් වැඩිකරගත්තා නේද?

කලින් කිව්ව කාරණයත් එක්ක අපිට වැඩ වර්ජනවලට ගිහින් වැටුප් විෂමතාවය ඉවත් කරගන්න සිදු වෙලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි ගණනාවක් තියෙනවා. චක්‍රලේඛය නිසා වැටුප් කේත අංක වෙනස් වුණා. ඒ නිසා ආසන්නතම ශ්‍රේණිවල විශාල ප්‍රමාණයෙන් වැටුප් විෂමතා ඇති වුණා. අපේ තාක්ෂණ ශිල්පීන්, සහයක ශිල්පීන්, මාර්ග අංශ, පාලම් අංශ, දුම්රිය ස්ථාන යන අංශවල හිටපු සේවකයින් කාණ්ඩ හතරකට කැඩුවා. අද රාජ්‍ය අංශයේ සේවකයන් අතර බේදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට හේතුව මේ ශ්‍රේණි අතර ඇති කරලා තියෙන පරතරයයි. ප්‍රාථමික, ද්විතීයික, තෘතීක, මාණ්ඩලික කියලා සේවකයන් වෙන් කළා. ඒ තුළ රාජ්‍ය සේවයේ බේදය පටන් ගන්නවා. අද රාජ්‍ය සේවකයන්ට තියෙන්නෙ අප්‍රසන්න කලකිරීමක්, එදා ඉදලා අපි කියනවා මේ වැටුප් විෂමතාවය ඉවත් කරන්න කියලා. එහෙම කියපු වෙලාවල්වල සමහර අංශවල විතරක් වැටුප් විෂමතා ඉවත් කරන්න කටයුතු කළා. ඒක තමයි ඔබ ඔය මගෙන් අහන්නෙ. ඒත් කිසිම පාලකයෙක් සමස්ත සේවකයන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නය තේරුම් ගත්ත බවක් පේන්න නෑ.

ඔබ කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ එක්තරා සේවක පිරිසකගේ වැටුප් විෂමතා පමණක් ඉවත් කරලා තියෙනවා කියල ද?

ඔව්, සමහර අංශවලට කැබිනට් පත්‍රිකා මගින් වැටුප් විෂමතා ඉවත් කරලා තියෙනවා. ඒ වැඩි කරපු වැටුප්, වැටුප් කොමිසමේ නිර්දේශවලට පටහැනියි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි 5කට කැබිනට් පත්‍රිකාවකින් ශ්‍රේණි උසස් කරලා තියෙනවා. 15,005ක්ව තිබුණ ඔවුන්ගේ වැටුප ආසන්නයට පහළ ශ්‍රේණිවල අයගේ වැටුප් ඇවිත් තියෙනවා කියලා වැටුප් වැඩිවීමක් ඉල්ලුවා. 2016දී මේ ඉල්ලීමට කැබිනට් පත්‍රිකාවකින් 1,495ක මුදලක් වැඩි කළා. එහෙම වැඩි කරපු වැටුපට කේත අංකයක් නෑ. 6/2006 චක්‍රලේඛයට අනුව කේත අංකයකට යන්න නම් තවත් රුපියල් 320ක් වැඩි කරන්න ඕන. මෙන්න මේ රුපියල් 320 වැඩි කරගන්න තමයි, දුම්රිය වැඩ වර්ජනය ඔවුන් කළේ. ඒ රුපියල් 320ක මුදල දෙන්නම් කියලා ජනාධිපතිතුමා වැඩ වර්ජනය අතාරින්න කිව්වා.

ඔය රුපියල් 320 වැඩි වුණ ගමන්, අධ්‍යාපන සුදුසුකම් වෙනස් වෙනවා. ඒ ශ්‍රේණිවලට යන්න ඉන්න, 30%ක විතර අභ්‍යන්තර සේවකයන්ට ඒ උසස් වීම් අහිමි වෙනවා. අපි අහන්නේ වෛද්‍යවරුන් බඳවා ගන්න, උපාධිධාරීන් බඳව ගන්න සුදුසුකම්, දුම්රිය ධාවනය කරන්න ඕනද? නියාමකවරුන්ට උපාධියක් ඕනද? මේකෙන් වෙන්නෙ දුම්රිය සේවයේ යෙදිලා ඉන්න පළපුරුදු අයට ඒ ශ්‍රේණිවලට යන්න තියෙන මඟ ඇහිරීමක්.

ඔය කියන විදිහට වැටුප් විෂමතාවය ඉවත් කරන්න කියලා හැප්පි හැප්පි කෑ ගහන්නෙ නැතිව 6/2006 චක්‍රලේඛය ඉවත් කරන්න කියලා බලපෑම් කළා නම් හරි නේද?

ඒක තමයි අපි කියන්නෙ. පසුගිය මැයි 30 වැනිදා පැය 24ක සංකේත වැඩ වර්ජනයක් අපි කළා. එදා සරත් අමුණුගම කමිටුව පිළිගත්තා අපිට වැටුප් විෂමතාවයක් ඇති වෙලා තියෙනවා කියලා. ගණන් හදලා බැලුවාම 12%ක වැටුප් විෂමතාවයක් අපට ඇති වෙලා තියෙනවා. ඒක ඉවත් කරන්න සරත් අමුණුගම ඇමැතිවරයා පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉටු නොවුණත්, මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා මේ වැටුප් විෂමතාව ඉවත් කරන්න ඕන කියලා තීරණය කරලා තියෙනවා. ඒ ගැන වෘත්තීය සමිති නියෝජිතයෝ විදිහට අපි සතුටු වෙනවා.

ඔය කියන චක්‍රලේඛයට දුම්රිය වෘත්තිය සංගම් ප්‍රබල ලෙස විරෝධතා දැක්වුවත්, අනෙකුත් රාජ්‍ය අංශ වෘත්තීය සංගම් එවැනි විරෝධයක් එල්ල කළේ නෑ නේද?

මේ ඉල්ලීම් දෙනව ද, නොදෙනව ද කියලා සමහර වෘත්තීය සංගම් බලාන ඉන්නවා. සමස්ත රාජ්‍ය සේවයම අද බලාන ඉන්නෙ දුම්රිය වැඩවර්ජකයන්ට ඒ ඉල්ලීම් දුන්නොත් පාරට බහින්න. ඒ අයට විතරක් වැටුප් විෂමතා මතුවෙලා නෑ. වැටුප් විෂමතා ප්‍රශ්නය සමස්ත රාජ්‍ය සේවයටම තියෙනවා. ඒ ගැටලුව පසුගියදා වැඩ වැරුව වෘත්තීය සංගමයට විතරක් බලපාලා තියෙන එකක් නෙවෙයි. අපි ජනාධිපතිවරයාට කියනවා දුම්රියේ ධාවනාගාර සේවකයේ 15,000ක් විතර ඉන්නවා. ඒ අයගේ වැටුප් විෂමතා ඉවත් කිරීම් නොකර කලින් කිව්ව සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමකට ගියොත් අපි හැමෝම පාරට බහිනවා. ඒ වගේම තැපැල්, සෞඛ්‍ය, අධ්‍යාපන කියන මේ සියලු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති මේ ප්‍රශ්නයට එරෙහිව අරගල කරනවා. ඒක අනිවාර්යයි.

වැටුප් වැඩිකර ගැනීම වෘත්තීය අයිතිවාසිකමක්. නමුත් ජනතාව පීඩාවට පත් කරන ක්ෂේත්‍ර විතරක් වැටුප් වැඩිකරගන්නෙ ජනතාව බිල්ලට තියලා. ඒක යුක්ති සහගත ද?

මෙතන තියෙන ප්‍රශ්නය තමයි, හැම ආයතනයකටම රජයට බලපෑම් කරන්න බෑ. බලපෑම් කරන්න පුළුවන් අංශ තමයි පාරට බහින්නෙ. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩ වර්ජනය කළා කියලා ආණ්ඩුවට දැනෙන්නෙ නෑ. එහෙම අයට ඉල්ලීම් දිනා ගන්නත් බෑ. ඒ නිසා තමයි ජනතා අවශ්‍යතා සඳහා කැපවුණ අය වැඩ වර්ජනවලට යන්නේ. සමහර වෘත්තීය සමිති නායකයෝ තමන් ගැන විතරක් හිතලා නිහඬව ඉන්නවා. සාමාජික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නෑ. එහෙම අය ඉන්න තැන්වලත් වැඩ වර්ජන දකින්න නෑ.

ඔබ චෝදනා නඟන වෘත්තීය සංගම් නිලධාරීන් දේශපාලන න්‍යාය පත්‍රයට යටත් වෙලා කියන එකද නිහඬව ඉන්නවා කියලා අදහස් කළේ?

ඔව්, ගොඩක් වෘත්තීය සමිතිවල තනතුරුවල ඉන්නේ දේශපාලඥයෝ ඇසුරු කරන අය. ඒ අයගෙන් පහළ පන්තිය ගැන අරගලයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා තමයි අපි ඉන්නේ. අපි නිතරම කම්කරු පන්තියට බලපාලා තියෙන ගැටලු මොනව ද කියලා පෙන්නලා දෙනවා. දේශපාලන වෘත්තීය සමිති නියෝජිතයෝ මේ ගැටලු පෙන්නලා ඔවුන්ගේ වැටුප් වැඩි කරගන්නවා. කවදාවත් පහළ පන්තියේ සාමාජිකයන්ගේ වැටුප් වැඩි වෙන්නේ නෑ. ඔවුන්ට යුක්තිය ඉටු වෙන්නේ නෑ. රාජ්‍ය ආයතන වනසලා තියෙන්නේ දේශපාලනයට සම්බන්ධ වෘත්තීය සමිති. එහෙම නොවුණා නම් අදටත් රාජ්‍ය අංශයේ බිඳ වැටීමක් නෑ. ඒ කාරණය ඒ වෘත්තීය සමිති සාමාජිකයන් තේරුම් ගත්ත දවසට ඔය කියන වෘත්තීය සමිති නායකයන්ට ගහලා එලවනවා. ඒක ඉර හද වගේ විශ්වාසයි.

කොහොම නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු පිට පාඩු ලබන, මහජන මුදලින් නඩත්තු වෙන ආයතනයක්. එහෙම තැනක ඉන්න සේවකයෝ මහජනතාව බිල්ලට තබා වැඩි වැටුප් ඉල්ලීම ගැන මේ රටේ ජනතාවට ප්‍රසාදයක් නෑ?

දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ ජනතා සම්මුතියකින් ගොඩනැඟුණ දෙපාර්තමේන්තුවක්. එහෙම තැනක සේවය කරන උදවිය මේ ගැන ගැඹුරින් හිතන්න ඕන. වැඩ වර්ජනයක් කරද්දී, ඒක කරන්නෙ කොහොම ද කියලා වෘත්තීය සංගම්වලට විනයක් තියෙන්න ඕන. අපේ වැටුප් ප්‍රශ්නවලට ජනතාව පලි නෑ. ජනතාවගේ සේවකයෝ අපි. අපි ඔවුන්ට සේවය කරනවා වෙනුවට මහ පාරේ නිදියන තැනට පත් කරලා වැටුප් වැඩිකරපියව් කියනවා. ඒක අපි කරන පාපයක්. ඒකට ස්වභාවධර්මයා උත්තර දෙයි. අපි වෘත්තිය අරගල කරන්න ඕන තමයි, එත් ජනතාවට අවම පීඩාවක් එල්ලවෙන ආකාරයට තමයි ඒවා කරන්න ඕන. එදා දුම්රිය ධාවනය හිටි හැටියේ නවත්වනකොට, සමහර අම්මා, තාත්තා දෙන්නම දුම්රියේ යන අයට ගෙදර යන්න බැරි වුණා.

දරුවෝ අනාරක්ෂිත වුණා. මේ රටේ ජනතාව බදු ගෙවන්නෙ දුම්රිය වෙලාවට දුවන්න. එහෙම මිනිස්සුන්ට ගෙදර යන්න නොදී දුම්රිය ස්ථානවල ඔවුන් නිදි කෙරෙව්වා. මේවා යුක්ති සහගත නෑ. මේ සිද්ධිවලට පාලකයොත් වගකියන්න ඕන. අපේ ප්‍රශ්න විසඳන්නෙ නැතිව කල්මැරිම යුක්තිසහගත නෑ. ඒ වගේම දුම්රිය වෘත්තීය සංගම් ජනතාවගේ ආරක්ෂාව ගැන වගකීමෙන් කටයුතු කරන්න ඕන. ඊයෙ පෙරේදා වැඩ වර්ජනය නිසා මේ රට ගැන සංචාරකයෝ කලකිරිලා යන්න ගියා. ඒ වෘත්තීය සංගම් මේ රටට විශාල ආර්ථික පාඩුවක් කළා. ඒක ආයෙ නිවැරැදි කරන්න බෑ. වර්ජනයෙන් පස්සේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ කියලා කියන්න අපිටත් ලැජ්ජයි.

සමස්ත රාජ්‍ය සේවකයන්ටම වත්මන් ආණ්ඩුව රුපියල් 10,000කින් වැටුප් වැඩි කළා. ඔබලාටත් ඒ වැටුප ලැබුණා. තවත් වැටුප් වැඩිවීම් ඉල්ලන්නේ ඇයි?

ඇත්තටම අපි වත්මන් රජයට ස්තූතිවන්ත වෙනවා. රුපියල් 10,000ක් එකවර කවරදාකවත් අපිට ලැබුණේ නෑ. ඒක පිටුපස රාජ්‍ය සේවකයන්ට ලොකු වාසියක් තියෙනවා. 2020 වෙනකොට මේ 10,000 මූලික වැටුපට එකතුවෙලා ඉවරයි. විශ්‍රාම යන අපිට මේක විශාල වාසියක්. ඒත් එක්ක අපේ හැමදේම වැඩි වුණා. අපි ආණ්ඩුවට කඩේ යනවා නෙවෙයි. සියලුම රාජ්‍ය සේවකයෝ මේ ආණ්ඩුවට ගරු කරන්න ඕන.

මම අහන්නෙ, එහෙම වාසි ලබාගෙනත් ඇයි ජනතාව පීඩාවට පත් කරලා තවත් වැටුප් වැඩිකරන්න කියන්නේ?

ඒක දේශපාලන න්‍යාය පත්‍රයක්.

ඔය කියන්නෙ, පහුගියදා කළ වර්ජනය දේශපාලන කුමන්ත්‍රණයක්?

අපි දැක්කා ඉන්දික දොඩංගොඩ කියන ලේකම්තුමා බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක ඉන්නවා. එතුමා කුමාර වෙල්ගම හිටපු ප්‍රවාහන ඇමැතිවරයාගේ ඥාතියෙක් කියලා ලේබලයකුත් වැදිලා තියෙනවා. බැලූ බැල්මට පේනවා මේක දේශපාලන න්‍යාය පත්‍රයේ වැඩක් කියලා. ජනාධිපතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් කියනවා සාකච්ඡාවට එන්න කියලා. එහෙම කියද්දිත් නොයන්නෙ ඇයි. මේවා දේශපාලන මජර වැඩ. මේ ඉල්ලීම් නොදෙනවා කියලා ජනපතිවරයා කිව්වේ නෑ, කිව්වේ සියලුම රාජ්‍ය සේවකයන්ට ඒ වැටුප දෙනවිට මේ අයටත් දෙනවා කියලයි. එහෙම තිබියදී වැඩවර්ජනයකට යන්න වුවමනාව මොකක්ද කියලා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ රටේ දුම්රිය සේවකයන්ට විතරක් වැටුප් වැඩි කරලා හරියන්නෙ නෑ. සමස්ත රාජ්‍ය සේවකයන්ටම වැටුප් වැඩි වෙන්න ඕන. ඒ නිසා අපිට මාසයක් දෙකක් ඉවසගෙන ඉන්න පුළුවන්කමක් තියෙන්න ඕන.

මහජන බදු මුදලින් නඩත්තුවන දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම බෙදෙන්න ඕන ඔය ඉන්න සේවක පිරිස අතරේ විතරද? රට වැසියාට එහි වාසිය ලැබෙන්න ඕනෙ නැද්ද?

එහෙම මතයක් ජනතාව අතර තියෙනවා. දුම්රිය සේවකයන්ගෙන් පහළොස් දහස් ගාණක් කිසිම කරදරයක් නැතිව වැඩකරනවා. නමුත් තුන්දහස් ගාණක සේවක පිරිසක් තමයි මේකට වගකියන්න ඕන. ඔවුන් තමයි මේ දෙපාර්තමේන්තුව තමන්ට ලැබුණ රන් ආකරයක් කියලා හිතන්නෙ. මේක රටේ සම්පතක්, ඒකෙ වාසිය ජනතාවට ලැබෙන්න ඕන කියන එකට මගෙ තර්කයක් නෑ.

දුම්රිය වෘත්තීය සමිති දෙපාර්තමේන්තුවේ නාස්තිය දුෂණය වැනි දේ නවත්වලා ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න උත්සහ නොකිරීම ගැන මොකද කියන්නේ?

එක පැත්තකින් මහජන සේවා සපයන ආයතනයක් නිසා ලාභ ලබන්න බැරි තත්ත්වයක් තියෙනවා. අනෙක් පැත්තෙන් දේශපාලකයන් දෙපාර්තමේන්තුවට ඇතුළු කරන සේවක පිරිස වැඩියි. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩියෙන් සේවය කරන්න ඕන පිරිමි ශ්‍රමිකයින්.ඒ පසුගිය පාලන කාලයේ කාන්තාවන් 800ක් විතර සේවයට බඳවා ගත්තා. අද ඒ අයගෙන් රාජකාරියක් වෙන්නෙ නෑ. නිකරුණේ වැටුප් ගෙවනවා. මේවා විගණනය කරන්න ඕන. ජනතා බදු මුදලින් වැටුප් ගෙවන්නේ කාටද කියලා ප්‍රසිද්ධ කරන්න ඕන. ඔවුන් මේ රටට කරන සේවය කුමක්ද කියලා ප්‍රසිද්ධ කරන්න ඕන. එහෙම නැතිව මේ ආයතන ලාභ උපයන තත්ත්වයට ගෙන එන්න අමාරුයි.

 

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - චමින්ද නිරෝෂණ


නව අදහස දක්වන්න

Or log in with...