නිකිණි පොහොය | දිනමිණ

නිකිණි පොහොය

රාජකීය පණ්ඩිත මැදගම පඤ්ඤාරතන හිමි

නිකිණි පුන් පොහොය සමඟ වස්සාන සමය ආරම්භවේ. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. කඳු මුදුන් සහ පහත නිම්නයන් තෙත සහිත සීතල ජලය සහිත නිසා ගස් මුල් අසල අසුන්ගෙන බණ භාවනා කිරීමට මේ සමය උචිත නොවේ. මෙතැන් සිට මාස ‍තුනක කාලයක් වස් වසන්නට භික්ෂූන්වහන්සේ වෙත ප්‍රඥප්තියක් පනවා තිබෙන අතර බුද්ධ කාලයේදී විසූ පැවිදි පිරිස් වස් කාලය ඇතුළත චාරිකාවෙන් තොරව ආවරණ සහිත ස්ථානයක හිඳ මහණ දම් පිරීම කළහ. තුන්මසක් තිස්සේ වස්වසා අවසානයේදී චීවර මාසය උදාවනු ඇත.

ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් රහත් භාවය ලබාගත්තේද නිකිණි පොහොය දිනකය. අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ද ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහ රහතන්වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර විහාර පර්වතයේ සත්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම ‍සංගායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය.

බුදුරදුන් සිය 14 වන වස්කාලය ශ්‍රාවස්ථිපුර දෙව්රම්වෙහෙරේ වැඩ වසමින් සිටියදී රාහුල තෙරණුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශනා කරමින් සිටින අතර එම සූත්‍රයට දැඩි වුවමනාවකින් ඇහුම්කන් දෙමින් සිටි රාහුල තෙරණුවන් රහත්භාවයට පැමිණියේද නිකිණි පොහොය දිනකවීම විශේෂයකි.

වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදාවන සමය හැඳින්විය හැකිය. බුදුරදුන්ගේ ලලාට ධාතූන්වහන්සේ නිදන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහෝ දිනකදී සිදුවිය. එමෙන්ම ඓතිහාසික සේරුවාවිල පෙරහර ආරම්භ කරන්නේ නිකිණි පෝයත් සමඟමය.

ජයන්ති කුරේ

නව අදහස දක්වන්න