පූජක දිවියේ විසිපස් වසර සමරන ස්ටැන්ලි පීරිස් පියතුමා | දිනමිණ

පූජක දිවියේ විසිපස් වසර සමරන ස්ටැන්ලි පීරිස් පියතුමා

1984 දී ප්‍රැන්සිස්කන් සහෝදරතුමකු ලෙස දේව සේවයට එක්වූ ස්ටැන්ලි පීරිස් පියතුමා පසුගියදා සිය ජීවිතයේ 25වැනි සංවත්සරය සැමරුවේය. විසිපස් වසරක සේවාවේ තුතිදීමේ දිව්‍ය පූජායාගය පසුගියදා සිය උපන් ගම වූ මොරටුව, කොරළවැල්ල ශුද්ධ වූ මිඛායෙල් අග්‍රදූතයාණන්ගේ දෙව්මැදුරේ සිදු කරන ලදී.

වසර ගණනාවක් ප්‍රැන්සිස්කන් සහෝදරතුමකු සේ සේවය කිරීමෙන් පසු 1993 වසරේ දී සිය උපන් ගමේදීම පූජකවරය ලැබීමට තරම් වාසනාවන්ත වූ ස්ටැන්ලි පීරිස් පියතුමා මුළු ග්‍රාමීය ජනතාවම ඉමහත් ප්‍රිතියට පත් කළහ. එම දරුවන්ටත් මෙම උතුම් තත්ත්වයන් අයිතිකර ගැනීමට හැකි බැව් පෙන්වීය. දුප්පත්කම තුළ වූ අගහිඟකම්, නොදැනුවත්කම් මැනවින් තේරුම්ගත්, එලෙසම දුක වේදනා, පීඩනය හොඳින් ම හඳුනාගත් මෙතුමා, සිය පාසල් අධ්‍යාපනය හා දේව ධර්මය පිළිබඳ උසස් දැනුමද පන්නරය කරගනිමින් අද මිනිසාට අවශ්‍ය වූ පූජක සේවාවකට සමීප විය.

නොයෙක් ආකාරයෙන් සුවය පතා පැමිණෙන සියලු දෙනාවම කොපමණ කාලයක් ගතවුවත් ඔවුන් පිළිගන්නා පියතුමා, ඒ අයට ඇහුම්කන් දෙමින්, සිය අත තබාගෙන සිටින “කුරිසිය” ඒ අයගේ හිස මත තබමින් යාච්ඤාවේ යෙදෙමින් සැමට ආශිර්වාද පතන්නේය. වර්තමානයේද තඹකන්ද ශුද්ධවූ බෘනෝ මුනිවරයාගේ දෙව්මැදුරේ මීසම් පාලක පියතුමා ලෙස කටයුතු කරමින් මාසයේ පළමු සෙනසුරාදාද එතුමා සුවදානයේ මෙහෙය පවත්වයි.

විසිපස් වසරක පූජක දිවිය ගෙවූ කොරළවැල්ල වෙරළ ප්‍රදේශයෙන් බිහි වූ ගරු. ස්ටැන්ලි පීරිස් පියතුමා අද දුප්පත්, පොහොසත්, නැණවත් බලවත්, දුබලයන් ප්‍රබලයන් එමෙන්ම ලොකු කුඩ සැම දෙන වටකරගෙන පූජක සේවයේ යෙදීම අති මහත් වූ දෙව් වරමකි.

මෙලෙස උතුම් පූජක සේවාවන්වලට උරදෙන ස්ටැන්ලි පීරිස් පියතුමාට ඉදිරි කාලයේදීත් ජනතාව දෙවිඳුන් වෙත ළඟා කිරීමේ භාග්‍යය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමු.

කැමිලස් ප්‍රනාන්දු කොරළවැල්ල

නව අදහස දක්වන්න