කැමරා ෆෝන් දිගු නොකර දේව මෙහෙයට ඇතුල් වෙන්න | දිනමිණ

කැමරා ෆෝන් දිගු නොකර දේව මෙහෙයට ඇතුල් වෙන්න

තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පාලක වික්ටර් ජයමාන්න පියතුමා

රාගම, තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකා පුදබිමේ පැවැත්වෙන රෝගීන් ආසිරි ගැන්වීමේ ගාම්භීර දේව මෙහෙය මේ මස 26 වන ඉරු දින ‍ප. ව. 1.30 ට ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවේ අපොස්තලික තානාපති අගරදගුරු අතිඋතුම් පියරේ ග්වේන් මැන්ටොම් හිමිපාණන් හා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මෙහෙයට දිවයිනේ සිව්දෙසින් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ජනකායක් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

මෙවර රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙයේ සුවිශේෂී තේමාව හා එය තෝරාගැනීමට හේතු වූ කරුණු සඳහන් කළොත්?

පියතුමා - මෙවර තේමාව වශයෙන් තෝරාගත්තේ “සුව සහනයේ එ‍ඬේරාණෙනි! අප සුවපත් කළ මැනව....” යන්නයි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන්ගේ අදහසකට අනුවයි මෙම තේමාව තෝරාගත්තේ. එතුමාණන් මෙම වර්ෂය “යහපත් එ‍ඬේරාණන්ගේ වර්ෂය” ලෙස ප්‍රකාශයට පත්කළා. ඒ හා සමගාමීවයි මෙම තේමාව තෝරාගනු ලැබුවේ.

මෙවර මෙම සුවදාන මෙහෙයට විශේෂයෙන් ඇරියුම් ලද්දේ කව්රුන්ද?

රෝගීන්ගේ සුවදාන මෙහෙයට දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් දෙමළ දේව ජනතාව සහභාගි වෙනවා. වසරක් පාසා දෙමළ ජනතාව නියෝජනය කරමින් රදගුරු හිමිපාණන්ගෙන් කෙනෙකු අරියුම් ලබනවා. මෙවර වෙසෙසින් ඇරියුම් කළේ දිවයිනේ උතුරු පළාතේ (යාපනය) රදගුරු අතිඋතුම් ජස්ටින් ඥාණප්‍රගාසම් හිමිපාණන්ට. එසේම විශ්‍රාමික කොළඹ අගරදගුරු අතිඋතුම් නික්ලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් හා අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ද, කොළඹ අගරදගුරු පදවි සහායක අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමිපාණන් හා අතිඋතුම් ජේ. සී. ඇන්තනි ජයකොඩි හිමිපාණන්ද, අගරදගුරු පදවියේ සියලු කලාපීය නාහිමිපාණන් ද, අගරදගුරු පදවි පූජක පැවිදි සංඝය ද මීට සහභාගි වීමට ඇරියුම් ලබා තිබෙනවා. එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සැදැහැවත් දේව ජනතාවගේ පැමිණීම අනිවාර්යයෙන් සිදු වෙනවා.

77 වැනි වරටත් පැවැත්වෙන මේ දේව මෙහෙය හා පුදබිමේ ඉතිහාසගත පුවත කෙටියෙන් සඳහන් කළහොත්?

ප්‍රථමයෙන් මේ පුදබිමේ ඉතිහාසය ඉතා ඈතට යන්නක්. බැසිලිකා සිද්ධස්ථානය දෙවන ලෝක මහා සංග්‍රාමයේදී යුද රකුසාගේ ග්‍රහණයට අප රට හසුවීමට යන්නට තිබියදී එවකට අගරදගුරු අතිඋතුම් ජින් මේරි මසොන් නි. ම. නි. හිමිපාණන් තේවතු පුදබිමේ දෙවන ලූර්දු ගුහාව අභියස දණින් වැටී දේව මාතාවන්ට බාරයක් වෙමින් මෙම රට දේශය යුද රකුසාගෙන් බේරා දුනහොත් තේවතු පුදබිමේ බැසිලිකා දෙව් විමනක් ඉදිකරන බවට දේව මාතාවන් මැදිහත්කමින් දෙවිඳුන්ට පොරොන්දු වුණා.

ඒ වගේම අසිරිමත් අයුරින් රට දේශය බේරුණා. බාරය ඉටුකිරීමට පෙරාතුව එතුමාණන් ස්වර්ගස්ථ වුණා. එවකට යුව රදගුරු ධූරන්දරව සිටි (අද දේව සේවක) අතිඋතුම් තෝමස් බෙන්ජමින් කාදිනල් කුරේ නි.ම.නි. හිමිපාණන් අගරදගුරු ධුරයට මසොන් හිමි ස්වර්ගස්ථ වූ දිනයේදීම පත්වුණා. බාරය ඉටුකළේ කුරේ නි.ම.නි. හිමිපාණන්. එතුමාණෝ ඉතාම සුපේශල චරිතයකට හිමිකම් පෑ ශ්‍රේෂ්ඨ හිමිනමක්. එසේම උද්භිද විද්‍යාඥයෙක්. අද තේවතු පුදබිමේ අසිරිමත් වෘක්ෂලතා සංකීර්ණයේ නිර්මාතෘවරයා වන්නේ උන්වහන්සේයි. රෝගීන්ගේ දිනය ඇරඹුණේ 1941 වසරේයි. එදා මෙදාතුර සෑම වසරකම අගොස්තු මස අවසන් ඉරුදින මෙහෙය පැවැත්වෙනවා. ආරම්භයේදී ලූර්දු දේවමාතා දෙව්මැදුර (පරණ පල්ලිය අභියස) බාර වූ ලූර්දු ගුහාව ඉදිරිපිටත්, දෙවනුව ස්වාභාවික ගලින් නෙලූ අද විද්‍යමාන වන ලූර්දු ගුහාවේදීත් අනතුරුව ලංකා අප ස්වාමීදූගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානය අභියසදීත් (අද දක්වා) පැවැත්වෙනවා.

තේවතු පුදබිම ගැන කතා කිරීමේදී ලූර්දු දේවමාතාවන් ගැන කතා නොකරම බැරි බව අප දන්නවා. තේවතු පුදබිමේ අභිනවයෙන් ස්ථාපිත වූ ලූර්දු සිද්ධස්ථාන සංකීර්ණය ගැන යමක් සඳහන් කළොත්?

ලූර්දු දේවමාතාවන් හා තේවතු පුදබිම අතර පවතින සබඳතාව අසිරිමත් එකක්. මුලින්ම ලූර්දු දේවමාතා දෙව්මැදුර (පරණ පල්ලිය) ඓතිහාසික වටිනාකමක් ඇතිව බාධක මැද ගොඩනැඟුණක්. ප්‍රථම ලූර්දු ගුහාව ඇත්තේ පරණ පල්ලියට පහළින් ඇති “ශුද්ධවූ ළිඳ” ලෙස ප්‍රකට ස්ථානයේ. එදා බ්‍රවුන් සහ සමාගමේ සේවක පිරිස ළිඳ ඉදිරියේ කුඩා ලූර්දු ගුහාවක් ස්ථාපිත කළ අදත් එය එසේම පවතිනවා. අද වන විට ඉතාම දර්ශනීය අයුරින් ඉදිවී ඇති ලූර්දු සංකීර්ණය වර්තමාන අගරදගුරු හිමිපාණන්ගේ දූරදර්ශී නැණැසට නැඟුණක්.

නිර්මාණය සීදූව “සුපුවත් අරණ” නිර්මාතෘ ගරු ඩැරල් කූඤ්ඤ පියතුමාගේ. පිරිවැය මැක්ලරන්ස් සමාගමේ අධ්‍යක්ෂ (හිමිකරු) රොහාන් ඩී. සිල්වා මහතාගෙන්. අද දහස් ගණන් ජනතාව මාසයේ පළමුවන සෙනසුරාදා දිනවල තේවත්ත පුදබිම කරා එන්නේ ලූර්දු දේවමාතා අනුහස ලබන්නයි. එහි ඇති ශු. බයිබලයේ එන “සීලොවම් පොකුණ” වැනි ආශීර්වාදිත ජල තටාකයෙන් එතෙරවීමේ ස්ථානය දේව ජනතාව ඇදී එන ජනප්‍රිය ස්ථානයක්. ප්‍රාතිහාර්යාත්මක සුවවීම් රාශියක් වාර්තා වෙනවා මේ වන විටත්. සතියේ සෑම සෙනසුරාදා ඉරිදා දිනකම මෙය විවෘතයි.

ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ රෝගීන්ගේ මෙහෙයට එනවා. පහසුකම් ගැන යමක් කීවොත්?

මෙය රජය මඟින් ජාතික සිද්ධස්ථානයක් ලෙස ගැසට් කර සියලු පහසුකම් ලබා දෙන ස්ථානයක්. ඇමැති ජෝන් අමරතුංග මහතා සම්බන්ධීකරණ කටයුතු කරනවා. ගම්පහ දිසාපතිවරයාගේ පූර්ණ සහය ලැබෙනවා. බොදුනුවකු වන ජාඇළ ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතාගේත්, ජාඇළ ප්‍රාදේශීය ලේකම්වරයාගේත් පූර්ණ සහාය අපට නිබඳවම ලැබීම ආශීර්වාදයක්. පොලිසිය ආරක්ෂක කටයුතු ඉහළින්ම ලබා දෙනවා. ප්‍රවාහන පහසුකම් සූදානම්. විශේෂ දුම්රිය සේවා රාගමටත්, බස්රථ සේවා තේවත්තටත් දීර්ඝ කර තිබෙනවා. පෞද්ගලික බස් සේවාවන් ද සහය දෙනවා. ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් උපරිමව ලැබී තිබෙනවා. දේව ජනතාවට මේ සියලු පහසුකම් තිබෙන නිසා කිසිදු බාධාවකින් තොරව සහභාගි වී දේවමාතාවන්ගේ මැදිහත්කමින් දිව්‍ය වෛද්‍යවරයාණන්ගේ ආශීර්වාදය ලබාගැනීමට පහසුකම් සැලසී තිබෙනවා. විවිධ පෞද්ගලික අංශවල සහාය ද අපට ලැබෙනවා. ප්‍රථමාධාර රාගම පෞද්ගලික රෝහල් මඟින් ලැබෙනවා.

රෝගීන් ආසිරි ගැන්වීමේ මෙහෙයේ උච්චතම අවස්ථාව දිව්‍ය සත්ප්‍රසාද ආශීර්වාදය. ඒ ගැන යමක් කිවහොත්?

පියතුමා - මේ උත්කෘෂ්ට අවස්ථාව ගැන නම් යමක් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මේ මොහොතේ ඊට භක්තියෙන් අනුගත වී අනුහස ලබන්න ඕනෑ. කැමරා ෆෝන් දිගු කරගනිමින් ඊට මුල්තැන නොදී දේව ආශීර්වාදය පැතිය යුතුයි. මා සමස්ත සැදැහැවතුන්ට මේ කරුණ අවධාරණය කරනවා.

මේ, අගරදගුරු පදවියේ “යහපත් ‍එ‍ඬේරාණන්ගේ වස‍ර” තේමාව ද ඒ හා සමගාමීයි. දිව්‍ය එ‍ඬේරාණන් මත ජේසු සමිඳාණන් දේව ජනතාව වන සැමට සුව දානය කරනවා නොඅනුමානයි. අගරදගුරු හිමිපාණන්ගේ අදහසක් අනුවයි තේමාව ද තෝරාගෙන ඇත්තේ. දේව ජනතාව ඇදහිල්ලේ හා යාච්ඤාවේ ජීවිතය ශක්තිමත් කර ගැනීමට මෙය කදිම අවස්ථාවක්. ඊට දේව අම්මාට කැපවූ තේවත්ත පුදබිම දේව තෝතැන්නක්.

මෙම පුදබිම 26 ඉරුදින හා ඊට පෙරාතුව එන සැදැහැ ජනතාවගෙන් අප ඉල්ලන්නේ මේ සුවදායී පරිසරය රැකගැනීමට පූර්ණ සහය දෙන ලෙසයි. ගස්කොළං කිසිවකට හානි කිරීම නොකළ යුත්තක්. එසේම ගෞරවනීයව මෙම පුදබිම තුළ සංවරශීලීව හැසිරීම ද අපේක්ෂා කරනවා. පරිසරය දූෂණය කෙරෙන කිසිදු ක්‍රියාකාරකමකට දායක නොවන ලෙස ද අප ඉල්ලා සිටිනවා.

මෙම පුදබිමට එන දේව ජනතාවට අවසන් වශයෙන් ඔබවහන්සේ දෙන පණිවුඩය කුමක්ද?

තේවතු පුදබිම, කතෝලික දේව ජනතාවගේ ආදරය දිනූ තැනක්. දේවමාතාවන්ගේ ඇල්ම බැල්ම මෙහි තිබෙනවා. කතෝලික මෙන්ම සමහර අන්‍යාගමිකයන් පවා මේ පුදබිම කරා එදින ඇදී එනවා. මේ මෙහෙයේදී ජේසුස් වහනසේ ජීවමානව වැඩවසන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගෙන් ලැබෙන ඒ උත්කෘෂ්ට ආශීර්වාදය නොමඳව ලබාගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා. ආශ්චර්යය පාන දේවමාතා පුදබිමේ අසිරිය අතිමහත් බවට සාක්ෂි එදා මෙදාතුර ඕනෑතරම් තිබෙනවා. මෙහි පැමිණෙන දේව ජනතාව සිද්ධස්ථාන පරිපාලක හැටියට සාදරයෙන් පිළිගැනීමට මා සූදානමින් ඉන්නවා.

සංවාද සටහන - ඩික්සන් තොංගනීයන්

(රාගම විශේෂ)
ඡායාරූප තුෂාර ප්‍රනාන්දු

*********

කට්ටිමහන සාන්ත ආනා දේවස්ථානයේ කරත්ත මංගල්‍යය 25, 26 දිනවලදී

කට්ටිමහන සාන්ත ආනා ජාතික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ශ්‍රී ලංකාවේ දසදෙස ප්‍රසිද්ධ වී ඇත්තේ කරත්ත මංගල්‍යය ලෙසයි. අද ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවාවක් ලෙස ගැල් සේවාව දක්නට ඇත්තේ ඉතා කලාතුරකිනි. අනෙකුත් නවීන ප්‍රවාහන පහසුකම්වල දියුණුවත් සමඟ ගමනාගමනය සහ බඩු ප්‍රවාහනය සඳහා කරත්ත භාවිතය ක්‍රමයෙන් අඩුවී ගොස් ඇත. එහෙත් කට්ටිමහන සාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා කිතු බැතිමතුන් බොහෝ දෙනෙක් පැමිණෙන්නේ කරත්තවලිනි. කට්ටිමහන ග්‍රාමයේ මුල් පදිංචිකරුවන්ගේ දරු මුනුපුරු පරම්පරාව වෙන්නප්පුව, උල්හිටිය, කටුණේරිය ආදී ගම්වල සිට අදද, කට්ටිමහන මංගල්‍යයට එන්නේ කරත්තවලිනි.

එමෙන්ම ඈත ප්‍රදේශවලින් පවා බොහෝ කිතුනු බැතිමතුන් පැමිණෙන්නේ කරත්තවලිනි. දේවස්ථානය ආරම්භයේ සුරුවම වැඩමකරවීමට යොදාගත් කරත්ත පෙරහර අද දක්වාම නොකඩවා පැවැත්වේ. මෙම හේතුව නිසාම සාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට “කරත්ත මංගල්‍යය” යන නම පටබැඳී ඇත. දේවස්ථානයේ මංගල්‍යයට පල්ලියේ පියතුමාද එන්නේත් යන්නේත් කරත්තයෙනි.

ශ්‍රී ලංකාවෙන්ම කරත්ත මංගල්‍යයක් පවත්වනුයේ කට්ටිමහන සාන්ත ආනා දේවස්ථානයේ පමණි. මංගල්‍යයට සතියකට පමණ පෙර සිට පැමිණෙන බැතිමත්හු අවට ඉඩම්වල කූඩාරම් ගසාගෙන නතර වෙති. මේ ජනතාව ඒවායේ සැප පහසුකම් නොසොයති. මංගල්‍යයට පැමිණෙන ජනතාව ආගමික වතාවත්වලට සම්බන්ධ වන්නේ භක්තියෙනි. ඔවුන් වසරින් වසර ලබන්නා වූ අධ්‍යාත්මික දියුණුවට උපහාරයක් ලෙස මෙම සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන එන බව පැමිණෙන වැඩිහිටියෝ පවසති. දරුවන් නොමැතිව අසරණව සිටි පවුල් මෙතුමියට කරන ලද කන්නලව්වල ප්‍රතිඵලයක් ලෙස දරුවන් ලැබ ප්‍රීතියෙන් දිවිගෙවන මව්වරු පියවරු බොහෝය. මේ නිසා විවාහ බන්ධනවූවන්ගේ සැනසිලිකාරිය ලෙස සාන්ත ආනා මව්තුමිය හඳුන්වනු ලබන්නීය. තම ජීවිත දෙවියන් වහන්සේ වෙත ඔසවාලන මැදිහත්කාරිය ලෙස සුවහසක් බැතිමත්හු මෙතුමියට සුවිශේෂ ගෞරවයක් දක්වන්නාහ.

මෙවර කට්ටිමහන සාන්ත ආනා ජාතික දේවස්ථානයේ 123 වැනි වාර්ෂික මංගල්‍යය අගෝස්තු මස 25 සහ 26 දිනවල පැවැත්වේ. අගෝ 25 වැනි දින සන්ධ්‍යා මෙහෙය හලාවත රදගුරු අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, අගෝස්තු 26 වෙනිදා පෙරවරු 8.00ට මංගල්‍යය මහා දිව්‍ය පූජාව කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන් විසින් පවත්වනු ලබන බව එම්. ජෙරම් පෙ‍රේරා මීසම සේවක පියතුමා පැවැසීය.

කෝනාර එම්. ගුණපාල බංගදෙණිය සමූහ

********

“පියවර හතර ඥාන කාන්තිය” මාදම්පේදී

කතෝලික සභාව තුළ උත්ථාන වූ කිතු සමිඳුන්ගේ මාදම්පේ සංඝය සංවිධානය කරනු ලබන “පියවර හතර ඥාන කාන්තිය” සැප්තැම්බර් 01 සහ 02 යන දෙදින තුළ මාදම්පේ ‍ශුද්ධ වූ සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වේ. 1 වෙනි දින පෙරවරු 9.00 සිට පස්වරු4.00 දක්වා සහ 02 වෙනි දින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා මේ වැඩසටහන පවත්වනු ලබයි.

මාදම්පේ සමූහ - ඒ. පී. ගුණරත්න


නව අදහස දක්වන්න

Or log in with...