තෙවරක් ජනාධිපති! | දිනමිණ

තෙවරක් ජනාධිපති!

ජනාධිපතිවරණය ගැනත්; ජනාධිපති අපේක්ෂකයන්ගේ සුදුසුකම් ගැනත් බලවත් සංවාදයක් හිටිහැටියේ ඉස්මතු වී ඇත. මෙය සමාජය වෙතින් නැඟුණු සංවාදයක් නොව; කිසියම් පිරිසක විසින් කෘත්‍රීම ලෙස ඇතිකරන ලද සංවාදයක් බව පැහැදිලි ය. දේශපාලනයේ දී මෙබඳු උපායමාර්ග කරළියට එයි. ශ්‍රී ලංකාව තුළ ද දේශපාලන බල අරගලයක් ඇති බැවින් මෙබඳු දේවල් අපේක්ෂා කළ යුතුය. මේ සංවාදයේ මාතෘකාව වී ඇත්තේ දෙවරක්ම බලයේ සිටි ජනාධිපතිවරයකුට නැවත අපේක්ෂකත්වය ලබාගත හැකි ද යන්නය. පිරිසක් එය කළ හැකි බවට තර්ක කරති. තව පිරිසක් එය කළ නොහැකි බවට තර්ක කරති.

මේ ගැටලුව විසඳාගත හැකි මූලික නීති රාමුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ය. රටක පාලනයට අදාළ මූලික නීතිය ඇති ලියැවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැලැකිය හැකි ය. ව්‍යවස්ථාවේ 31 – II වගන්තියෙහි සඳහන් වන්නේ ජනතාව විසින් දෙවරක් ම ජනාධිපති පදවියට පත් කරගනු ලැබූ තැනැත්තකුට යළිත් එම පදවිය සඳහා අපේක්ෂකත්වය ලබාගත නොහැකි බව ය. තවද මැතිවරණ නීතියට අනුව ජනාධිපති අපේක්ෂකයකු දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. එම දිව්රුම් ප්‍රකාශය සාවද්‍ය වන්නේ නම්; අපේක්ෂකයාට වසර තුනක සිර දඬුවමක් ලබාදිය හැකි ය. මෙහි බරපතළකම ඒ අනුව වටහාගත හැකි ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය. එහි එක් අරමුණක් වූයේ කෙනකුට දෙවරකට වඩා වැඩි වාර ගණනක් ජනාධිපති පදවිය සඳහා තරග කිරීමට නෛතික ප්‍රතිපාදන ලබාගැනීම ය. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එය අහෝසි විය. එහි සැබෑ අර්ථය වන්නේ දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපති පදවිය සඳහා කිසිදු තැනැත්තකුට ඉදිරිපත් විය නොහැකි බව ය. අමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කරන්නේ ද එකී ක්‍රමවේදය යි. එරට දේශපාලකයන් ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට ගරුකරන බැවින් නීතියට අභියෝග කරන්නේ නැත. එහෙත් අපේ රටේ තත්ත්වය වෙනස් ය.

හිටපු ජනාධිපතිවරුන්ටත් යළි ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත හැකි බව කියන අය අලුත් මතයක් ඉදිරිපත් කරති. එම මතයෙන් කියැවෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ 18 ව්‍යවස්ථාවෙන් සම්මත කළ වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කළ යුතු බව දක්වන බවය. ඒ අනුව පළමු නීතිය අහෝසි වී නැති බවට තර්කයක් ඉදිරිපත් කරන ඔව්හු මේ අවුල විසඳා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බව ද කියා සිටිති. ජනාධිපති පදවිය හා එහි අපේක්ෂකත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්වචනයක් ලබාගැනීම නරක දෙයක් නොවේ. එහෙත් නීතියට අනුව එය කළ හැක්කේ බලයේ සිටින ජනාධිපතිවරයකුට පමණක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

මේ මාතෘකාවට අදාළව හිටපු ජනාධිපතිවරුන් ලෙස ගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. මේ දෙපළගෙන් කිසිවකුට යළිත් ජනාධිපති පදවියට තරග කිරීමේ ආශාවක් ඇතැ’යි නිශ්චිතවම කීමේ හැකියාවක් අපට නැත. චන්ද්‍රිකා මැතිනිය එබඳු අදහසක් කිසි තැනෙක කියා නැත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි කියන තැනක එතුමිය සිටින බවක් ද පෙනෙයි. මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන කියන්නේ ඉදිරියට බලමු වැනි අදහසක් බව ද පෙනෙයි. එහෙත් රාජපක්ෂ මහතා වටා සිටින පිරිසකට යළිත් මහින්ද රැල්ලක් ඇති කිරීමේ තදබල වුවමනාවක් ඇති බව පැහැදිලි ය. මේ මාතෘකාව කරළියට එන්නේ ද එම වුවමනාව නිසා බව කිව හැකි ය.

ජනාධිපතිවරණය සඳහා වන කාලය කෙමෙන් ළඟා වෙයි. මේ අනුව එකිනෙක දේශපාලන පක්ෂ හා කණ්ඩායම් යම් කලබලකාරී තැනකට ඇදවැටී ඇති බව ද පෙනී යන කාරණයකි. වැඩියෙන්ම කලබලකාරී වී ඇත්තේ ‍පොහොට්ටු පාර්ශ්වය යැයි කියන්නට පුළුවන. එම පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් කිහිපයක් ඉදිරිපත් වී ඇත. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඉන් කිහිපදෙනෙකි. ඉහත නාමයෝජනා සම්බන්ධයෙන් ආරවුල් හා ගැටුම් ඇති බව ද පැහැදිලි ය. මෙබඳු පරිසරයක් තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය උරගා බලන්නේ දේශපාලන උපායමාර්ගයක් ලෙස වන්නටත් පුළුවන.

රටේ දේශපාලනය දෙස ආපසු හැරී බලනවිට දකින්නට ලැබෙන්නේ “බල තෘෂ්ණාව” බොහෝ කණ්ඩායම් තුළ ඉහළින් ම ඇති බව ය. එය බුද්ධිමතුන්ගේ කලකිරීමටත්, පොදු ජනයාගේ අප්‍රසාදයටත් ලක්වන කාරණයකි. නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අභියෝග කිරීම, ආත්ම ගෞරවය කෙලෙසා ගැනීම, ගොඩපෙරකදෝරු මත ඉදිරිපත් කිරීම යන සියල්ල පසුපස ඇත්තේ “බල තෘෂ්ණාව” බව අමුතුවෙන් කිව යුතු නැත. අමෙරිකාවේ ජනාධිපතිවරුන් සිය පදවිය අතහැර විශ්‍රාම යන්නේ ඉතා සතුටෙන් ය. ඔවුන් නීතියට අභියෝග කරන්නේ නැත. යළි දේශපාලනයට එන්නේ ද නැත.අමෙරිකන් ජනතාව ද හිටපු ජනාධිපතිවරුන් දේශපාලනයට කැඳවීමට උත්සාහ කරන්නේ නැත. එරට දේශපාලකයන් මෙන්ම ජනතාව ද ශීලාචාර යැයි කිව හැකි ය.

මහින්ද රාජපක්ෂ මහතා ජනප්‍රිය දේශපාලන චරිතයකි. ඒ බවට විවාදයක් නැත. එතුමා ජනප්‍රිය නායකයකු බවට පත්වූයේ ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගත් නිසා ය. එහෙත් 2009දී නිදහස් කරගත් රට එතැන් සිට බුද්ධිමත් ලෙස මෙහෙයැවීමට මහින්ද මහතා සමත් වූයේ නැත. සාමය උදාකිරීම, ජාත්‍යන්තර කීර්තිය දිනා ගැනීම, ආර්ථිකය හැසිරවීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වැනි සාධකවලින් මහින්ද මහතා පරාජයට පත්වූ බව බොරුවක් නොවේ. එතුමාගේ පාලන සමය අවසන් වනවිට රට පැවැතියේ අවදානම් සහගත තැනෙක ය. මේ අනුව නියමිත කාලයට ද කලින් ජනාධිපති මැතිවරණයකට යෑමට මහින්ද මහතාට සිදුවිය. ජනාධිපතිවරණයෙන් එතුමා පරාජයට පත්විය.

මේ කුමන තත්ත්වයක් යටතේ වුව මහින්ද රාජපක්ෂ මහතාට යම් මහජන ගෞරවයක් තිබේ. ඊට හේතුව ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීම ය. රාජපක්ෂ මහතාට විරුද්ධ දේශපාලන කණ්ඩායම් පවා එය පිළිගනිති. එහෙත් දැනට සිදුවන සංසිද්ධිවලින් එම ගෞරවය කෙලෙසී යන බව පෙනෙයි. රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන්නේ නම්; එය එක අතෙකින් දේශපාලන විහිළුවක් වන අතර තව අතෙකින් නීතිමය අර්බුදයක් ද වන්නේ ය. මෙය එතුමා නොමග යවන්නට යොදන උපක්‍රමයක් වන්නට ද පුළුවන.

 


නව අදහස දක්වන්න

Or log in with...