එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අන්නන් දිවියට සමුදෙයි | දිනමිණ

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අන්නන් දිවියට සමුදෙයි

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අන්නන්ගේ අභාවය වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකයන් ‍සිය ශෝකය ප්‍රකාශ කරයි. 1938 අප්‍රේල් 08දා ඝානා ජාතිකයෙකු ලෙස උපත ලැබූ කොෆි අන්නන් අවුරුදු 80ක සිය දිවියෙන් සමුගැනීම සම්බන්ධයෙන් ප්‍රථම ශෝක පණිවිඩය නිකුත් කරමින් වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරෙස් පවසන්නේ ඔහු යහපත සඳහා ගාමක බලවේගයක් වූ බවය. කොෆි අන්නන් "විශිෂ්ට පුද්ගලයකු" බවත් ඔහු සැමදා රුසියානුවන්ගේ හදවත් තුළ රැඳෙනු ඇති බවත් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් පවසයි.

ඔහු සෑමවිටම "වඩාත් හොඳ ලොවක්" වෙනුවෙන් පෙනී සිටි බව හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි. තමා වෙත එල්ල වූ බාධක ජයගැනීමෙන් පසුවත්, යහපත් ලෝකයක් තැනීමේ ක්‍රියාවලිය ඔහු අත් නොහල බවද ඔහු අවධාරණය කරයි.

ලෝකයට අහිමි වූයේ ශ්‍රේෂ්ඨ අප්‍රිකානු රාජතාන්ත්‍රිකයකු පමණක් නොව, ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ මානව හිතවාදියකු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මේ ශෝකී අවස්ථාවේදී සිය ශෝකය පළ කරමින් කියා සිටියි.

මීට අමතරව හිටපු අමෙරිකානු ජනපතිවරයෙකු වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සයිද් රාද් අල් හුසෙයින්, එක්සත් රාජධානියේ අගමැතිනි තෙරේසා මේ ඇතුළු රාජ්‍ය නායකයන් සිය සංවේගය පළ කරමින් නිවේදන නිකුත් කර තිබේ.

1997 සිට 2006 දක්වා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය හෙබවූ අන්නන් මේ තනතුරට පත් එකම කළු අප්‍රිකානු ජාතිකයා ද වේ. ඔහුගේ මානුෂීය මෙහෙවර වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයෙන් පවා කොෆි අන්නන් පිදුම් ලැබීය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයෙන් සමුගැනීමත් සමඟ සිරියාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ලෙස කටයුතු කළ අන්නන්, සිරියානු අර්බුදය සඳහා ස්ථිරසාර විසඳුමක් සෙවීම සඳහා ප්‍රධානත්වය ගත් පුද්ගලයෙකු විය.

1938 වසරේ අප්‍රේල් මාසයේ උපත ලද කොෆි අන්නන් වසර ගණනක් පුරා ජිනීවා ආසන්නයේ ජීවත් විය. ස්විට්සර්ලන්තයේ බේන් නගරයේ රෝහලක දී ඔහු මිය යන විට ස්වීඩන ජාතික නීතිඥවරියක වන ඔහුගේ බිරිය නේන්(Nane) ද අමා(Ama), කොජෝ(Kojo) සහ නිනා (Nina) යන ඔහුගේ දරුවන් ද ඔහු අසල වූ බව අභාවය පිළිබඳව කොෆි අන්නන් පදනම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

නව අදහස දක්වන්න