ගැළවෙන මඟ | දිනමිණ

ගැළවෙන මඟ

වාසනා (ඒ ඇගේ සැබෑ නම වෙනුවට මා යෙදූ ආරෝපිත නමකි.) මට හමුවූයේ දවස් තුන හතරකට පෙර ය. ඇය රජයේ කාර්යාලයක සේවය කරන්නියකි. අද කාලයේ කාර්යාල වෙත පැමිණෙන වෙළඳ ප්‍රජාව ඉතා විශාල ය. ප්‍රසිද්ධ සමාගම් නියෝජනය කරමින් වාරික වශයෙන් ගෙවීම් කිරීම සඳහා නූතන ගෘහ උපකරණ රැගෙන එන අලෙවි නියෝජිතයන්ට අමතරව විශාල සුළු වෙළඳ ප්‍රජාවක් ද කාර්යාලවල භාණ්ඩ අලෙවිය සඳහා පැමිණෙත්. සාරි වෙළෙන්දියෝ, හකුරු හා තලගුලි වෙළෙන්දෝ, තෙල් බෙහෙත් වෙළෙන්දෝ, කෘත්‍රිම අබරණ වෙළෙන්දෝ ආදි වශයෙන් මෙම වෙළඳ ප්‍රජාව විවිධ වෙයි. මහා පරිමාණ වෙළඳපොළක වෙළඳ කටයුතු කිරීමට ඇති විවිධ නොහැකියාවන් නිසා මේ අය රජයේ කාර්යාල හා පාසල් වැනි ස්ථාන සොයා පැමිණෙති.

වාසනාගේ කාර්යාලයට මෙවර පැමිණ ඇත්තේ තරුණියන් තිදෙනෙකි. අධ්‍යාපන කටයුතුවලට ඇවැසි බරපැන සෙවීම සඳහා මෙවන් සුළු වෙළඳාමක නිරත වන බව කියමින් පූර්ව ප්‍රචාරක පටය දක්ෂ අන්දමින් ඉදිරිපත් කළ ගැහැනු ළමයි ඉක්මනින් ම කාර්යාලයේ අනුකම්පාව හා අවධානය දිනාගත්හ.

“අපි ගෙනෙන අයිටම් තව ම මාකට් එකට ඇවිත් නැහැ. ඉස්සරහ දවස්වලදි එයි. හැබැයි අපි සර්ලට මිස්ලට දෙන ගණනට වඩා වැඩි ගණනකට තමයි ගන්න වෙන්නෙ. අලුත් අයිටම් හඳුන්වා දෙන්න තමයි කම්පනි එක අපට අඩු ගණනකට මේ අයිටම් දුන්නෙ. අපි පුංචි ලාභයක් තියාන සර්ලට මිස්ලට මේ අලුත් අයිටම් දෙනවා.”

නඩයේ සිටි කටකාර ම එකිය වෙස්සන්තර රජු මෙන් තමන් ද පරහිතකාමී බව පෙන්වමින් කියා සිටියා ය.

“ඇයි ඉතින් පුංචි ලාභයක් තියාන දෙන්නෙ. ඔයාලට පුළුවන්නෙ වැඩි ලාභෙකට දෙන්න.”

කාර්යාලයේ සිටින කට ඇති පුතෙක් කෙල්ලන්ට කෝචොක් එකක් දැම්මේ ය.

කාර්යාලයේ කාන්තාවෝ කට ඇති පුතා දෙස රවා බැලූ හ. ‘මූ අපට පෙන්නන පණ්ඩිතකම් අර අහිංසක කෙල්ලන්ටත් පෙන්නන්ට යනවා.’ වැනි ඉංගිතයක් රැවිල්ලේ ගැබ් ව තිබිණ.

ඉනික්බිතව පිරිසගේ අවධානය දිනා සිටි තරුණියෝ අයිටම් එකින් එක ගෙන ඒවායේ ක්‍රියාකාරිත්වය, විශේෂතා සිත් ඇඳ ගන්නා අයුරින් විස්තර කළහ. වාසනාගේ සිත ඇඳගත්තේ විදුලිය විසන්ධි වූ විට පාවිච්චි කරන හුරුබුහුටි ලයිට් එකකි. එහි පෙනුම, ආලෝකය ලබා දෙන විවිධ ආකාර ගැන විස්තර කරමින් තරුණියෝ එය උත්කර්ෂයට නැංවූහ.

“මිස් මේ අයිටම් එක මාකට් එකට එනකොට රුපියල් එක්දාස් පන්සීයක් විතර වෙයි. අපි දෙන්නෙ දාහට.”

වාසනා රුපියල් දාහක් ගෙවා ඇගේ සිත් ගත් භාණ්ඩය මිලට ගත්තා ය.

දින කීපයකට පසු ඇය නිතර යන එන සාප්පු බඩු කඩයකට ගොඩවූවා ය. ඇය මිලදී ගත් තවම වෙළඳ පොළට පැමිණ නැතැයි කී අරුමැසි භාණ්ඩය එහි විය. ඇය එහි මිල ගණන් විමසුවා ය.

“ මිස් මේ අයිටම් එක රුපියල් හත්සීයට අපි විකුණන්නෙ. මිස් අපේ හිතවත් කස්ටමර් කෙනෙක් හින්ද අපි තව කීයක් හරි අඩුකරන්නම්.” මුදලාලි කීවේ ය.

තමා මෙන් ම තම කාර්යාල සගයන් ද බරපතළ ලෙස රැවටී ඇති බව වාසනා තේරුම් ගත්තී එවිට ය. කියවන ඔබ ද වාසනා මෙන් එක් වතාවක් හෝ මෙවන් අයට රැවටී ඇති බව නිසැක ය.

මේ කාලයකට පෙර සිදුවූ සිද්ධියකි. පාසලකට කිසියම් කුඩු විශේෂයක් ඇති පැකට් රැගෙන මිනිහෙක් ආවේ ය. ‘ඕනෑම භාණ්ඩයක් එහි ඇති කුණු යවා පොලිෂ් කර දෙන කුඩු විශේෂයක් තමන් ගෙන ආ බව කී’ මිනිසා මුලින් ම උප විදුහල්පතිවරයාගේ කණ්ණාඩි කුට්ටම සිය කුඩු ආලේප කොට පොලිෂ් කළේ ය. කණ්ණාඩි කුට්ටම අපූරුවට පොලිෂ් විය. විදුහලේ කාර්යාලයේ වූ පිත්තල බඳුනක්, කුසලානක් ඔපය දෙන ලෙස ඔහු පිරිසට පොලිෂ් කර පෙන්වී ය. ගුරුවර ගුරුවරියන් අතර පොලිෂ් කරන කුඩු පැකට් උණු කැවුම් සේ විකිණිනි. වෙළෙන්දා මුදල් රැගෙන යන්නට ගියේ ය.

මෙම පාසලේ අමතර ආදායම් උපයන කටයුත්තක් ලෙස පැකට් බඩු විකුණන ගුරුවරයෙක් සිටියේ ය. සිද්ධිය බලා සිට ඔහු වෙළෙන්දා ගිය පසු එදවස පැවති පැරකුම්බා දත් බෙහෙත් පැකට්ටුවක් ගෙන්වී ය. අනතුරුව පිරිසට පෙනෙන සේ කලින් වෙළෙන්දා ඔප දැමූ භාණ්ඩ ඔප දමා පෙන්වී ය.

“ඇයි ඔයා කලින් නොකීවෙ. ඒ මිනිහා ඉන්න කොට.” උප විදුහල්පතිවරයා කේන්තියෙන් විමසී ය.

“ඒ මිනිහත් මම වගේ ම පැකට් බඩු කාරයෙක්නෙ. ඇයි මම ඒ මිනිහට කපන්නෙ. ඔයාලගෙ මෝඩකම්වලට ඒ මිනිහවත් මමවත් පලි නෑනෙ.” පැකට් බඩු බිස්නස් කරන ගුරුවරයා ගණනකට නොගෙන කීය.

රජයට අනුබද්ධ ආයතනවලින් වංචා නොවෙති’යි යන විශ්වාසයක් අප තුළ වෙයි. නමුත් එය එසේ ම නොවෙති’යි යන්න සනාථ කරවන සිද්ධියක් අගෝස්තු 12 වන ඉරිදා මට අසන්නට ලැබිණි. අදාළ නගරයේ සති පොළ පැවැත්වෙන්නේ ඉරිදා දිනවල ය. සංවර්ධන ලොතරැයි නමින් නාමකරණය කළ වෑන් රියක් ඉරිදාට නගරයේ ප්‍රචාරක කටයුතු කරමින් ස්වීප් විකුණයි. එදා ඔවුහු හඬ තලමින් කාඩ් පතක් සේ සැකසූ ලොතරැයි පහක් රුපියල් සියයකට අලෙවි කළහ. ටිකට් පත සීරූ විට මතුවන මුදල සමඟ සරුංගල් ලකුණක් මතුවුව හොත් අදාළ මුදල ලැබෙයි. කාඩ් පතේ එක ටිකට් පතකට වත් දිනුමක් නොලැබුණහොත් කුඩයක් ත්‍යාග සේ ලැබෙන බව පුන පුනා නිවේදනය වෙයි. මගේ මිතුරෙක් ද කාඩ් පතක් මිලට ගත්තේ ය. ටිකට්පත් ගන්නා අය එතැන ම කාඩ්පත සූරා වෑන්රියට දිගු කළත් මිතුරා ස්වීප් සීරුවේ අසල වූ හෝටලයකට ගොස් හෙමිහිට ය. දිනුමක් නොවිණ. තුන්වන කොටුවේ සඳහන්ව තිබුණේ රුපියල් දෙදහස් පන්සියයකි. සරුංගල් ලකුණ නැති බැවින් දිනුමක් නැත. එහෙත් පුන පුනා කරන නිවේදනයට අනුව කුඩයක් ලැබිය යුතු ය. මිතුරා ටිකට් කාඩ්පත වෑන්රියට දිගු කළේ ය.

වෑන්රියේ සිටි නිවේදකයා “දිනුම රුපියල් විස්සයි” නිවේදනය කරමින් මිතුරාට ටිකට් එකක් දිගු කළේ ය.

“මගේ ටිකට්වල දිනුමක් තිබුණෙ නෑ.” මගේ මිතුරා කියන විට ඔහු සීරූ ටිකට් කාඩ් එකක් ගෙන මිතුරාට දිගු කරයි. ඒ මිතුරා සීරූ දෙදහස් පන්සීයේ මුදල ඇතුළත් කාඩ්පත නොව වෙනත් එකකි. කාඩ්පත් ගොන්නකට දැමූ කාඩ් අතුරින් නියම කාඩ්පත කෙසේ නම් තෝරන්න ද?

“මහත්තයා අපි රට වටේ යන මිනිස්සු. මහත්තයා වගේ බයිලාකාරයෝ අපට හැමතැනදිම මුණගැහෙනවා.” අර මිනිහා කියයි. කේන්තියට පත් මගේ මිතුරා ලැබුණු රුපියල් විස්සේ ටිකට්පත ද අර මිනිහාගේ මුහුණට ම දමා ගසයි. අනතුරුව නිවේදනය ද වෙනස් වෙයි.

“කුඩයක් සමඟ සරුංගල් ලකුණ මතු වුවහොත් කුඩයක්.” ඒ ටික වෙලාවකට පමණි. නැවතත් පරණ නිවේදනය ‘තෑගි නැතොත් කුඩයක්’ නිවේදනය වන්නට වෙයි.

ලැබෙන වැටුපෙන් තෘප්ත නො වී අහිංසක මිනිසුන් අන්දවා මුදල් හොයන තැනට සමාජය ම පත්ව තිබේ. වංචාව යන වචනයේ සැර අඩු කරන්නට මේ අය ‘සම්‍යක් ප්‍රයෝග’ යන යෙදුම වහරති. (හැබැයි සම්‍යක් ප්‍රයෝග යන්නෙහි කෝෂාර්ථය ‘යහපත් යෙදීම’ යන්නයි.)

ඔබට වාසි සලසන්නට එන අය වංචාකාරයන් සේ සලකා ඈත්වන්න. ගැළවෙන්නට අන් මඟක් නැත.

මහානාම දුනුමාල
[email protected]

නව අදහස දක්වන්න