මිසර පාරාවරුන්ගේ සුප්‍රකට කුරුලු දඩයම | දිනමිණ

මිසර පාරාවරුන්ගේ සුප්‍රකට කුරුලු දඩයම

ප්‍රාකෘත අවධීන්හි දඩයක්කාර මානව ප්‍රජාව වන ලැහැබ් අරා සතුන් හඹා ගොස් දඩයම් කිරීමෙහි නොතිත් වූහ. එය ඔවුන්ගේ ආහාර ලබාගැනීමේ ප්‍රධාන මාර්ගය වූවා පමණක් නොව, රාත්‍රියේ දී ගිනි මැල අසල සිය පිරිවරෙහි ඔල්වරසම මැද භරතමුණි කී සකළ අභිනයෙන්ම සතුන් මරා ගැනීමේ වික්‍රමය කියූ නාට්‍යය බිහිවීමේ ප්‍රාරම්භක අවස්ථාව ද විය. මෙසේ දඩයමෙහි නිරූපිත ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සිතුවම් ඇල්ටමිරා, ලැස්කෝ සහ තවත් ගුහා බිතක්කනවල සිත්තම්ගත විය. ම්ලේච්ඡ අවධිය පසුකර ශිෂ්ටාචාරගත වීමේ දී හා ඉන් ඔබ්බට බලය හිමි සමාජ කොට්ඨාස අතර දඩයම විකසනයව ගියේ ජීවන වෘත්තිය වශයෙන් පමණක් නොව, විවේකීය කී‍්‍රඩා මාධ්‍යයක් බවට ද පත්වෙමිනි.

මිසරය අද්විතීය ශිෂ්ටාචාරයකි. ගී‍්‍රක, ඉන්දීය බඳු ම සම තැන තැබිය හැකි ශිල්පීය ලකුණු පෙන්වන විසල් පිරමීඩ නිමැවීමේ සිට ඉසියුම්ම මී සැකසීමේ තාක්ෂණය දක්වා සූක්ෂ්ම ඥාන සම්ප්‍රදායක් ආදිමිසරයෝ උරුම කරගත්හ. ගී‍්‍රකයන් පවා සිය මූර්ති සහ චිත්‍ර නිර්මාණ සඳහා ආභාසය ලබාගත්තේ මිසර නිර්මාණ දෙස බලමිනි. වඩා ප්‍රාණවත් සහ ජංගමශීලී ශරීරමය නිමැවුම් ගී‍්‍රකයන් සතු වුවද මිසර වැසියන් පැපිරස් පත්‍රයෙන් කඩදාසි නිෂ්පාදනය කිරීමේ පටන් ගෙනගිය ක්‍රමික නිමැවුම් ඊට නොදෙවෙනි බව පිළිගත යුතුය. මිසරයේ පරම්පරා තිස් එකක් පුරා දිවෙන රජවරුන් සිටි අතර ඔවුහු‘පාරාවරු’නමින් හැඳින්වූහ.

මරණයෙන් මතු දිවිය සැපවත් කළ යුතුය යන මතයේ සිටි මිසර ජනතාව මරණය රමණයක් බවට පත්කරගත්හ. ලෝකෝත්තර අංශයට නැඹුරු වීමේ දී පවා එය ලෞකික සුඛවිහරණයක් සේ සැලකූහ. එබැවින් මමිය නිමවා, එහි පිළිවැස්මෙහි සිතුවම් ඇඳීම ද සුගන්ධවත් ඖෂධයන්ගෙන් සොහොන් කුටිය පිරවීම ද මිය ගිය පුද්ගලයා පරිහරණය කළ සියලු වස්තූන් කුටියේ තැන්පත් කිරීම ද සොහොන් ගැබ පුරා හයිරොග්ලිෆික්ස් අකුරු සහිත අලංකාර සිතුවම් ඇඳීම ද කර තිබෙනු දක්නට ලැබෙයි. මතු දැක්වෙන්නේ මිසරයේ

තීබ්ස්නම්ස්ථානයේ‘ආයි’පාරාවරයාගේ සොහොන් ගැබෙහි තිබී සොයාගත් කුරුලු දඩයම නම් සිතුවමයි.

කුරුලු දඩයම සිත්තමේ දැක්වෙන්නේ සිය දියණිය ද භාර්යාව ද සුරතල් බිළාලයා ද සමගින් ඔරුවක නැ‍ඟී පැපිරස් ගස් සමූහයක වැද හෝ නානා වර්ණ පක්ෂීන් දඩයම් කරන තරුණ මිසර වංශාධිපතියෙකි. පුරුෂ රුවටත් පක්ෂීන්ටත් කේන්ද්‍රගතව සිතුවම නිමවා තිබේ. ස්ත්‍රී රූ කුඩා හා මධ්‍ය ප්‍රමාණ වෙයි. ලංකාවේ මහනුවර යුගයේ විහාර සිතුවම්වල එන දේවානම්පියතිස්ස රජ මුව දඩයමේ නියැළි අවස්ථා පෙන්වන චිත්‍රවල රජු විනා දඩයමට භාජනය වන සත්ත්වයා ප්‍රධානව පෙනෙන පරිද්දෙන්නොදැක්වෙයි. එහි දී සිත්තම් කරුගේ අභිලාෂය වූයේ බෞද්ධ මුහුණුවර හා රාජ්‍යත්වය ගළපා අවස්ථාවඉස්මතු කිරීම වන හෙයිනි. එහෙත් මිසර වැසියෝ කුරුලු දඩයමෙහි ප්‍රධානස්ථානය ලබා දෙනුයේ දඩයමට භාජනය වන කුරුලු සමූහයටය.

එබැවින් සිතුවමෙන් හරි අඩක් ම පක්ෂි සමූහයා හා අවට පරිසරය රචනා කිරීමෙහි ශිල්පියා නියැළෙයි.ඔරුවෙන් පහළ ඇති වැව් මත්තෙහි පිපි ජලකර පුෂ්ප හා කැකුළු ද, ඊට යටින් පිහිනන පුල්ලි සහ දිලෙන කොරපොතු සහිත පුෂ්ටිමත් මත්ස්‍ය ප්‍රජාව ද, ඔරුවෙන් ඉහළට කුරුමානම් අල්ලා, පක්ෂීන්කිහිප දෙනකු ඩැහැගන්නා තඹ පැහැ ලෝමයෙන් අනූන රාජකීය බිළාල පෝතකයාද, පත්‍ර විහිදි පැපිරස් පඳුරු සමූහය ද, ඒවා අතරින් ප්‍රභාමත් වර්ණිත පියාපත් විදහමින් ඉගිළ යන විවිධ වර්ගයේ පක්ෂීන් ද සහිත මෙම සිතුවම සජිවී දඩයමක්, නරඹන්නා ඉදිරියේ මවයි. කිසිඳු හිස් තැනක් ඇති නොවන පරිද්දෙන් සිතුවම පිරවීම නිසා එය බැලීමෙහි නිමක් නොවෙයි. මිනිසාගේ අවිඥානික ආශාවක් වන රුධිරය දැකීමෙන් ලබන වින්දනය සංකේතීයව ඉටුකරන ලේ වැගිරෙන, තුවාල ලත් සත්ත්වයන් සිතුවමෙහි නිරූපණය නොවෙයි.

මෙහි දී ප්‍රංශයේ ප්‍රභූ පැලැන්තියේ කෙළි පිණිස දඩයම් භාවිත වූ අන්දම මිසරය හා තුලනය කළ හැකිය. ගුස්ටාව්ප්ලෝබෙයාට්ගේ එමාබෝවාරි නවකතාව ඇසුරින් නිමවූ එනම් සිනමාපටයෙහි දඩබල්ලන් ද පිරිවරා ගොස් අලංකාර ගෝනකු මරා ලේ විදි පිහිතලය ගසක උලන දර්ශනය එමාගේ සිත පිළිබඳ සංකේතීය ඉඟියක් ලබාදෙන්නක් වුවත් ජුගුප්සා රස මවන්නකි. එහෙත් කුරුලු දඩයම පෙන්වා දෙනුයේ එවන් ඛේදජනක ස්වභාව නොව දඩකෙළියෙහි රමණීයභාවයයි. කෙළිලොල් තරුණ පාරා රජුගේ පසුබිමෙහි දැක්වෙන රූ සියල්ල එවකට මිසරයට පතිත දැඩි අවු රැසට ඔරොත්තු දුන් ශාක හා විසිතුරු සත්ත්ව ගහනය පිළිබඳව දෙස්දෙයි. තූතකන්කාමන් රජුගේ සොහොන් ගැබ සොයා හෝවාඞ් කාටර් කළ ගවේෂණයේ සටහන් කියවීමේ දී සහෘදයා පෙළන බියජනක හා ගූඪ හැගීම් සියල්ල කුරුලු දඩයම දර්ශනය වීමේ දී යටපත් වී යයි. අප මෙහි දකින මිසර වංශාධිපති තෙම දඩකෙළියෙහි උන්මාදයෙන් ද තරුණ ජවයෙන් ද කෙළ පැමිණ සිටී. විටෙක ඔහු දුඹුරු සමක් සහිත රතු ඉන්දියානු වාසියකුගේ මුහුණුවර ද මවාලයි. එබැවින් රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමයන්හි වලි කුකුල් දඩයමේ යෙදෙන්නට ප්‍රතිවාදියාට ආරාධනා කරන අපරාධකරු එවන ලියුම් කියැවීම පසෙක තබා අපි‘ආයි’පාරා රජ කුමරුගේ වික්‍රමය නරඹමු.

ඩිල්ෂානි චතුරිකා දාබරේ

නව අදහස දක්වන්න