දෙවන වරටත් වහලයට නැඟීම! | දිනමිණ

දෙවන වරටත් වහලයට නැඟීම!

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ දෙවන වරටත් වහලය මතට නැංගෝය. විසි දෙනකු පමණ වහලය මත සිට උද්ඝෝෂණය කළ අතර සෙස්සෝ වාට්ටු තුළ සිට උද්ඝෝෂණය කළෝය. කාන්තා රැඳවියන් මීට පෙරද වහලය මතට නැඟ යකා නැටූ බව කාටත් මතකය. ඔවුන් දෙවන වරටත් වහලය මතට නඟින තුරු බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂකයන් එක්කෝ නිදාගෙන සිටිය යුතු ය. නැතහොත් රැඳවියන්ගේ කැරැල්ලට සහයෝගයක් ලබාදෙමින් සිද්ධිය නොදැක්කා සේ සිටිය යුතු ය. දෙකෙන් එකක් සිදුවන්නට ඇත. එසේ සිදු ‍ෙනා වූයේ නම්; මේ ස්ත්‍රී චරිතවලට වහලය මතට නඟින්නට හෝ එහි සිට කැරලි ගසන්නට හෝ ඉඩක් ලැබෙන්නේ නැත.

රැඳවියන්ගේ ඉල්ලීම් හා ක්‍රියාකාරකම් දෙස බලන විට පෙනී යන්නේ මේ අයටද වෘත්තීය සමිතියක් හෝ ඊට සමාන වෙනත් සංවිධානයක් හෝ ඇති බව ය. ඔවුන්ගේ එක් ඉල්ලීමක් වන්නේ සිරකරුවන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීම වහා නවත්වනු යන්නය. ඔවුන්ගේ තවත් ඉල්ලීමක් වන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා නිලධාරිනියන්ගේ ස්ථාන මාරුවීම් වහා අත්හිටවනු යන්න ය. නඩු විභාග කාර්යක්ෂම කොට ඉක්මන් තීන්දු ලබාදීම ද සිරකරුවන් උදෙසා තවත් පහ සුකම් ඉල්ලා සිටීම ද රැඳවියන්ගේ අනෙක් ඉල්ලීම් අතර පවතී. මේවා ලබාගැනීම සඳහා කරන සටනේ දී ඔවුන් හැසිරෙන්නේ තමන් මහා ශුද්ධවන්තයන් ලෙස සලකාගෙන ය.

මේ ස්ත්‍රී - චරිත සම්බන්ධයෙන් අමතක නොකළ යුතු කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමුවන්න නම් උද්ඝෝෂණයේ යෙදී සිටි අයගෙන් වැඩි දෙනා කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකාරියන් බවය. දෙවන්න නම්; ඔවුන්ගෙන් සමහරුන් බන්ධනාගාරයේ සිට ම කුඩු ජාවාරම හා වෙනත් අපරාධ මෙහෙයවන බවය. තෙවන්න නම්; දූෂිත බන්ධනාගාර නිලධාරීන් හා ඇතැම් රැඳවියන් අතර සන්ධාන ගොඩනැඟී ඇති බව ය. සන්ධාන යැයි කියූවද ඒවා කුඩා කුඩා මෆියා කල්ලිවලට සමාන යැයි කිව හැකිය. හතරවන්න නම්; මේ අපරාධකාරියන් බන්ධනාගාරය තුළ සිට සුඛෝපභෝගී ජීවිත ගත කරන බවය. නිදසුනක් කිවහොත් ඔවුන් කල්දේරම් බත කන්නේ නැත. ඒ වෙනුවට මිල අධික ආහාර පිටින් ලැබේ.

ප්‍රසිද්ධ නොවූ ආරංචිවලට අනුව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වාට්ටුවල සිට ම මත්පැන් සාද පවත්වන අවස්ථා තිබේ. මේවාට අවශ්‍ය මත්පැන් , සිගරට්, මස් වර්ග හා තවත් දේවල් පිටින් ගෙන්වා ගනු ලැබේ. ඇතමකු වාට්ටු තුළට මත් කුඩු පවා ගෙන්වා ගන්නා බවද වාර්තා වී ඇත. බලාගෙන යන විට මේ ස්ත්‍රී චරිතවලට ගෙදරට වැඩි සැපක් හිරගෙදර තිබේ. කැරලිකාර කාන්තාවන්ගේ ශරීර කූඩු දෙස බලන විට ද තත්ත්වය වටහා ගත හැකි ය. රැඳවියන්ට මේ සැප ලැබෙන්නේ දූෂිත නිලධාරීන් හා දූෂිත ආරක්ෂකයන් නිසා ය. දෙපාර්ශ්වය එකිනෙකට සලකාගන්නා බවක් පෙනෙන්නට තිබේ.

මේ ආරවුල්වලට හේතුව බන්ධනාගාර තුළ සිදුවන විසමාචාර ක්‍රියා හා අක්‍රමිකතා නැවැත්වීමට පියවර ගැනීම ය. මේ ක්ෂේත්‍රය භාර අමාත්‍යවරිය ඍජු තීන්දු හා තීරණ ගනිමින් බන්ධනාගාරවල තත්ත්වය වෙනස් කිරීමට වැයම් කරයි. බොහෝ දෙනකු ඇයගේ ක්‍රියා කලාපය අගය කර තිබිණි. තලතා ඇමැතිනිය එක අතෙකින් බන්ධනාගාර ශුද්ධ කරන අතර තව අතෙකින් අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට පියවර ගනිමින් සිටී. එතුමිය පෙන්වා දී ඇති අන්දමට ඇතැම් දූෂිත බන්ධනාගාර නිලධාරීන් දිනකට අත යටින් උපයන මුදල රුපියල් විසිපන් දහසකට වැඩි ය. මේ සල්ලි ගලන්නේ කොතැනකින් ද? ඒවා කුඩු ජාවාරම්කාරයන්ගේ සල්ලි බව නිසැක ලෙසම කිව හැකි ය.

ජනාධිපතිවරයා වරක් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම නිසා රටට සිදුවන විපත්තිය ගැන බොහෝ දෙනා විවේචනය ඉදිරිපත් කරන්නේ වුව එය මැඩපැවැත්වීම සඳහා කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවය. මත්ද්‍රව්‍ය ජාවාරමට මෙන්ම තවත් අපරාධවලට ද සිරකරුවන් සම්බන්ධ බව මෑතක දී හෙළිදරව් වී ඇත. එය සාක්ෂි සහිතව සනාථ කර ගැනීමට ද හැකියාව ලැබී ඇත. බන්ධනාගාර යම් පමණකට හෝ ශුද්ධ කර ගතහොත් කුඩු ජාවාරම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගත හැකි බව විශ්වාස කළ හැකිය. ඒ සඳහා පියවර ගැනීම පහසු නැති බව බන්ධනාගාර තුළ සිදුවන දේවල්වලින් පැහැදිලි වෙයි. තලතා ඇමැතිනිය මෙහි දී තවදුරටත් එඩිතර හා නිවැරදි තීන්දු ගැනීම වැදගත් බව පෙනී යයි.

බාහිර ලෝකයේ සිට බලන්නකුට නො පෙනුණ ද බන්ධනාගාර රැඳවියන් අතර ඇත්තේ බලවත් සංවිධානයක් බව කිව යුතු ය. කාන්තා රැඳවියන් දෙවන වරටත් වහලය මතට නැඟීමෙන් ඔවුන්ගේ සංවිධාන ශක්තිය පැහැදිලි වෙයි. රැඳවියන් වහලය මතට නැඟ නිකම් සිටියේ නැත. ඔවුන් වහලයේ උළු කැට කඩා නිලධාරීන්ට පහර දී තිබේ.ගැටුමේදී නිලධාරීන් ගණනාවකට ද, රැඳවියන් තිදෙනකුට ද තුවාල සිදුවී ඇත. පසුව කාන්තා රැඳවියන් මෙල්ල කොට බස් රථවලට නංවා වෙනත් ස්ථාන කරා ගෙනගොස් තිබේ. එහිදී රැඳවියන් බසය තුළ සිටද කෑ- කෝ ගසා ඇත. මහ පාරේ ජනතාව වෙත සටන් පාඨ කියා ඇත. මෙය සැලැසුම් සහගත කැරැල්ලක් බවද එයින් කියැවේ.

මීට දින කිහිපයකට ඉහත දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට සන්දේශයක් ලැබිණි. එම සන්දේශය ඉදිරිපත් කර තිබුණේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය මඟින් ය. මේ සංවිධානය සන්දේශය භාර දෙන්නේ ද වැලිකඩ කාන්තාවන්ගේ පළමු කැරැල්ල ක්‍රියාත්මක වන්නේ ද එකිනෙකට සමීප දිනවල ය. සන්දේශයෙන් කියැවෙන්නේ අපේ බන්ධනාගාර තුළ මානව හිමිකම් උල්ලංඝනය වන බවය.මේවා අතර දේශපාලන සම්බන්ධයක් තිබෙන්නට පුළුවන. කුඩුකාරයන් ආරක්ෂාකරන දේශපාලකයෝ සිටිති. කුඩු ජාවාරමට සම්බන්ධ දේශපාලකයෝ ද සිටිති. ජාවාරම මෙල්ල කරන විට සියල්ලන්ගේම සිත් රිදෙනු ඇත.

රැඳවියන් වහලයට නැඟීම වෙඩි උණ්ඩ කිහිපයකින් නැවැත්විය හැකි ය. එහෙත් ආණ්ඩුව එබඳු තැනෙකට යන බවක් පෙනෙන්නට නැත. එහෙත් ඕනෑවටත් වඩා නිදහසක් හැම තැනටම අවශ්‍ය නැති බවද ආණ්ඩුව තේරුම් ගත යුතු ය.

 


නව අදහස දක්වන්න

Or log in with...