ගෝඨාභය-බැසිල්-චමල් බලය අතට ගනීවි යැයි මහින්ද රාජපක්ෂගේ පවුලේ අය බිය වී සිටිනවා | දිනමිණ

ගෝඨාභය-බැසිල්-චමල් බලය අතට ගනීවි යැයි මහින්ද රාජපක්ෂගේ පවුලේ අය බිය වී සිටිනවා

උපාලි කරුණාරත්න

ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ මහත්වරුන් තම කණ්ඩායමේ බලය අතට ගනීවි යයි මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය බිය වී සිටින බවත් එයට පිළිතුරක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාව තුන්වන වරටත් ජනපති කිරීමේ සිදුවීම කරලියට පැමිණ ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කරයි.

කීත් නොයාර් මාධ්‍යවේදියාව පැහැරගත් කණ්ඩායමේ දුරස්ථ පාලකය මහින්ද රාජපක්ෂ මහතා අතේ තිබූ බවද මන්ත්‍රීවරයා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය 2020ට ඉතා සන්තෝෂයෙන් සූදානම් වන බවද මන්ත්‍රීවරයා කීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ඊයේ(21) පිටකෝට්ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා කරන ඇතැම් ප්‍රකාශ පිළිබඳව සොයා බැලීමට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාටද වගකීමක් තිබෙන බව කී මන්ත්‍රීවරයා රටේ උරුමයන් විනාශ කිරීමට කිසිවෙකු ක්‍රියා කරනවා නම් එයට විරුද්ද වන බවද කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා-

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා තුන්වන වතාවටත් ජනාධිපති ධුරයට පත්වීමට තිබෙන ආසාව මේ දිනවල අලුතින්ම කරළියට පැමිණ තිබෙන මාතෘකාවක්. යුද්ධය අවසන් කිරීමට විශාල මෙහෙවරක් කළ මහින්ද රාපක්ෂ මහත්තය පසුගිය කාලයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් කරා ගමන් කළා. ඒ ආකාරයට බලය වෙනුවෙන් කෑදර වූ හිටපු ජනාධිපතිවරයා නැවතත් සවුත්තුවීමේ උත්සාහයක් ලෙසයි නැවත ජනාධිපතිධූරයට පත්වීමේ උත්සාහය අප දකින්නෙ. මෙවැනි උත්සාහන් නිසා එතුමාට මෙ වන විට තිබෙන ගෞරවයත් නැතිවී යනවා. මෙවැනි සිද්ධීන් අප දකින්නෙ ගෙවල්වල සිටින පැන්නීමට නොහැකි භූතයන්ගෙ ක්‍රියා වගෙයි. 2020ත් කෑදර ලෙස බලය ලබා ගැනීමට කරන උත්සාහයක් ලෙස මෙය අප දකිනවා. හිටපු ජනාධිපතිවරයා තුන්වන වතාවටත් ජනාධිපති ධූරයට පත්වීම පිළිබඳ කතාව එතුමාගේ පෞරුෂයට මහා හානියක්. මේ පිටුපස කතාන්දර ගණනාවක් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වදින බවට වැඩ සටහන් ගණනාවක් පසුගිය කාලයේ ගෙනගියා. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන්ද ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් පෙනී සිටියා. වාසුදේව නානායක්කාර මහතා ඇතුලු කණ්ඩායමක් අතින් චමල් රාජපක්ෂ මහතාගේ නමද කියවුණා. ශිරන්ති රාජපක්ෂ මැතිනිය පිළිබඳවද හීන් කෙදිරියක් ඇතිවුණා. මේ රටේ සාමාකාමී ජනතාව ගෝඨා පිළිබඳව බියකින් පසුවනවා. ජනතාව එසේ බියකින් සිටිනවාට වඩා විශාල බියකින් මහින්ද රාජපක්ෂ මහත්මා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ‘ මලයන්ඩිය බිය නොවන්න- දිනනා සැටි මා පෙන්වමි ‘ යයි පවසමින් තුන්වන වතාවටත් කරලියට පැමිණෙන්න උත්සාහ කරන්නෙ. රාජපක්ෂ ගෝඨාභය බලය ලබා ගනීද?, ඔහු මේ රටේ ජනාධිපති වෙයිද?.පොහොට්ටු පක්ෂයේ නායකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බවට පත් වෙයිද? මේ කටයුතු සිදුවුනොත් ගෝඨාභයගේ මිලිටරි පාලනය තුළ නැවතත් මහින්ද මහත්මයාට සහ නාමල් රාජපක්ෂට බලයක් ලබාගැනීමට පාරක් පෑදෙයිද?. කියා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙම පවුල තුළම බියක් ඇතිවී තිබෙන බව පෙනෙනවා. දේශපාන සටකපට ඥානයෙන් ඉහවහා ගිය බැසිල් රාජපක්ෂ මහතාට බලය ගියොත් නැවත මහින්ද රාජපක්ෂ මහතාගේ දරුවෙකුට රටේ නායකත්වය ලබා ගැනීමට හැකිවෙයිද?. චමල් රාජපක්ෂ මහතාට මේ රටේ බලය ගියහොත් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාට බලය යයිද?. එසේ වුවහොත් නාමල්ට සිදුවන්නෙ කුමක්ද ආදී වශයෙන් බියක් මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පවුලේ කණ්ඩායමට ඇතිවෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේයි නැවත වතාවක් මහින්ද මහත්මයා ජනාධිපතිධූරයට ඉදිරිපත් වීම පිළිබඳව කතාබහ ඇතිවී තිබෙන්නෙ.

පසුගිය කාලයේ ඒකාබද්ධය තුළ විවිධ සේනා, පාද යාත්‍රා පිළිබඳව කතාබහ ඇතිවුණා. ඔවුන් පළමු වෙඩි මුරය කීවා. දෙවෙනි වෙඩිමුරය කීවා. මහනුවර සිට පයින් පැමිණියා. සැප්තැම්බර් මාසයේ තවත් වෙඩි මුරයක් තබන්න හදනවා. හැබැයි මේ සෑම වෙඩි මුරයක්ම තබන තුවක්කු කඳ එන්න එන්න සීතල වෙමින් යනවා. මෙම කඳේ උෂ්ණත්වය පවත්වාගෙන යන්න දමන අලුත් මාතෘකාවක් ලෙසද මෙම ජනාධිපතිධූරය පිළිබඳ මාතෘකාව දැකිය හැකියි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදීත් ඒකාබද්ධය ජනතාව රැවැට්ටුවා. හැබැයි මහින්ද මහත්තය අගමැති වුණේ නැහැ. පෝයෙන් දෙකෙන් ආණ්ඩුව ගන්නවා කියා වහසි බස් දෙඩූ ඒකාබද්ධයේ කණ්ඩායම පසුගිය දිනවල විපක්ෂ නායක තනතුර ලබාගැනීම සඳහාද පොරයක් ඇල්ලුවා. එම සිහිනයද ඔවුන්ට නැතිව ගියා. ඒකාබද්ධ විපක්ෂයට නීති ගැටලු පවතිනවා නම් අධිකරණයේ මතය විමසිය හැකියි.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවේ තම ගමට ගිහිල්ල. එම කණ්ඩායමේ තිබෙන අර්බුධය මෙයට හේතුවයි. බැසිල් මහත්තයද එතුමාගේ ඇමරිකාවේ ගමට ගිහිල්ල. ඔවුන් ආරම්භ කළ වැඩ සටහන් වලට ඉදිරියේදී කුමක්ද සිදුවන්නෙ. එළියෙ ලයිට් දැන් ඕෆ් වෙලා. එළියත් එක්ක පියාසර කරන ලද සමනලුන්ට සහ කෘමීන්ට දැන් සිදුවන්නෙ කුමක්ද?. යුධ හමුදාවේ ඉහළ සිටි විශ්‍රාමික නිළයන් රාශියක් ගෝඨාභය මහත්මයා වටකරගෙන සිටියා. උදය ගම්මන්පිල මහත්මයාගෙන් කවුද ඇහුවා මහින්ද මහත්මයාගේ තුන්වන සම්ප්‍රාප්ති උත්සාහය පිළිබඳව. එතුමා එයට උද්යෝගයෙන් පිළිතුරු දෙන්නෙ නැහැ. අධ්‍යයනය කර බලන්න ඕනෙ වැනි පිළිතුරක් ලබා දෙනවා. උදය ගම්මන්පිල මහත්තයාද මහින්ද මහත්තයගෙ නැවත පැමිණීමේ උත්සාහයට කැමැති නැති බවයි පෙනෙන්නෙ.

මහින්ද රාජපක්ෂ මහත්මයා උදිත් ලොකු බණ්ඩාර මහතාට කතා කළ ආකාරය රටම දුටුවා. පුද්ලයෙකු වියපත් වෙන්න වෙන්න පරිනත වෙන්න වෙන්න කරුණාව දයාව සංවරකම තිබිය යුතුයි. මේ සිද්දිය නිසා විශාල පිරිසක් උදිත් ලොකු බණ්ඩාර මහතාට සිනහ වුණා. මහින්ද මහත්මයගෙ මේ හැසිරීම පිළිබඳව අපිට කනගාටුවක් ඇතිවෙනවා. කාමරයට ගෙන ගොස් කනට ගසා කාමරයෙන් එළියට එන විට කරට අත දාගෙන එන මහින්ද රාජපක්ෂ කෙනෙක් පිළිබඳව අප අසා තිබෙනවා.

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් මහින්ද මහත්තයාගෙන් පසුගියදා රහස් පොලීසිය ප්‍රශ්න කළා. එහිදී මහින්ද මහත්තයා අදාළ සිදුවීම් තමාට මතක නැති බව පවසනවා. අදාළ සිද්ධිය වන විට මහින්ද රාජපක්ෂ මහතා දැන් සිටිනවාට වඩා වයසින් අඩුයි. 2008 සිදුවූ අදාළ කාරණාව පිළිබඳව මතක නැතිනම් 2020දී කොහොමද මේ රටේ නායකයා වෙන්නෙ. කීත් නොයාර්ව පැහැරගෙන යන විට දොම්පෙ ප්‍රදේශයට අරන් යන විට සිදුවන දේ මුල සිට අගට දන්න නිසා නේද මහින්ද රාජපක්ෂ මහතා ඇමැතුමක් ලබා දෙන්නෙ. මැර කණ්ඩායමක් විසින් කීත් නොයාර්ව පැහැරගෙන යාම පිළිබඳව සම්පූර්ණ සිද්ධිය දන්න නිසා අදාළ දුරස්ත පාලකය මහින්ද රාජපක්ෂ මහත්තයගෙ අතේ තිබූ නිසා නේද මහින්ද රාජපක්ෂ මහතා කරූ ජයසූරිය මහතාගේ ඉල්ලීම පිට දුරකතන ඇමැතුමක් දෙන්නෙ. කීත් නොයාර්ගේ ජීවිතය ලසන්ත වික්‍රමතුංග වැටුන ගිනුමට වැටෙනවාද, පෝදදල ජයන්ත වැටුණ ගිණුමට වැටෙනවාද කියා කඩ ඉම තීරණය වීමට තිබුනෙ ඔහු පැහැරගත් එදා රාත්‍රීයේ. පසුගිය පාලන කාලයේ මාධ්‍යවේදීන් තිහකට අධික පිරිසක් ඝාතනය වුණා. යහ පාලන ආණ්ඩුව කාලයේ කිසිදු මාධ්‍යවේදියෙකු ඝාතනය නොවුන බවට අගමැතිවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශයක් කර තිබුණා. වර්තමානයේ මාධ්‍ය විසින් ජනපති අගමැති විවේචනය කරනවා. රෝහිත අබේගුණවර්ධන මහතා නින්දෙන් ඇහැරිලාද මෙවැනි දේ ප්‍රකාශ කරන්නෙ කියා මා අසනවා.

ප්‍රදේශීය සභාවේදී, පළාත් සභාවේදී ජනතාව ඡන්දය දෙන ආකාරය විවිධාකාරයි. එක මැතිවරණයක් දෙස බලා සියල්ල තීරණය කරන්න බැහැ. ජනතාව පසුගිය පාලනයට මෝහනය වීම ප්‍රතිවිපාක අද දකිනවා. තමන් පත්කළ සභාපති වරයා ජනතාවට කියනවා සර් කියන්න කියා. තමන් දැමූ පොල්ලෙලි කෑල්ලට ඡනතාව ඡන්දය දුන් බව ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පවසනවා. මේක ජනතාවට කරන නිගරුවක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කරලියේ මාතෘකා මවන්නෙක් බවට පත්වෙලා.

එක්සත් ජාතික පක්ෂය 2020ට සූදානම් වන්නෙ සන්තෝෂයෙන්. අපේ අපේක්ෂකයෙන් ඉදිරිපත් කිරීමයි අපේ උත්සාහය. අග්‍රාමාත්‍යතුමා අපේ නායකයායි. එතුමා ඉල්ලනවා නම් අපි කැමැතියි. විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාගේ ඇතුම් ප්‍රකාශ අප දැඩිව ප්‍රතික්ෂේප කරනවා. විග්නේෂ්වරන් මහතා කරන ඇතැම් ප්‍රකාශ පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්ෂවේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාටද වගකීමක් තිබෙනවා. විග්නේෂ්වරන් කියන්නෙ එතුමාගේ මස්සිනා.

ඡායාරූපය- රොෂාන් පිටිපන

නව අදහස දක්වන්න