සබරගමුවට එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා යටතේ ලංකා බැංකු තුරුණු දිරියෙන් ණය | දිනමිණ

සබරගමුවට එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා යටතේ ලංකා බැංකු තුරුණු දිරියෙන් ණය

යොවුන් ව්‍යවසායකයින් නගාසිටුවීම අරමුණ කරගනිමින් එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා ව්‍යාපෘතිය යටතේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සහ ජාතික ප‍්‍රතිපත්තිහා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මකවන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් මේ වනවිටත් සබරගමුව පළාතේ ව්‍යවසායකයින් 12 දෙනෙකුට පමණ ණය පහසුකම් ලබා දීමට සමත් වී ඇත.
 
සබරගමුව පළාත තුළ මෙම ණය යෝජනා ක‍්‍රමය සදහා සුදුසුකම් සපිරූ 496 දෙනෙකු මේ වනවිට හදුනාගෙන ඇති අතර තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ව්‍යවසායකයින් 105 දෙනෙකු සදහා ව්‍යාපාරික සැලසුම් සකස් කර අනුමැතිය සදහා ලංකා බැංකු වෙත බාර දී ඇත. ණය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය17 වන දා රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ ප‍්‍රගති සමාලෝචන කමිටුවේ දී මෙම තොරතුරු අනාවරණය විය.
 
මෙම ප‍්‍රගති සමාලෝචන කමිටුව සදහා රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් ඇතුළුව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකය, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ලංකාබැංකුව සහ තරුණකටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ කුඩාව්‍යාපාර සංවර්ධන අංශය යන ආයතනයන්හි නිලධාරීන් සහ සබරගමුව පළාතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජිතවරු සහභාගීවූහ.
තුරුණු දිරිය ලංකාබැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් වසර 3ක කාලයක සිට ක්ෂේත‍්‍රයේ නියුතු උපාධියක් හෝ පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත අවුරුදු 40ට අඩු කුඩාපරිමාණ ව්‍යවසායකයින් සදහා ඇප නොමැතිව/ලිහිල් ඇපක‍්‍රමයක් යටතේ මෙම ණය ප‍්‍රදානය සිදුකරයි.
 
මේ පිළිබඳව තොරතුරු සියළුම ලංකාබැංකු ශාඛා මගින් හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගත හැකිය.
 

නව අදහස දක්වන්න