අන්තරේට අයිති අපේ සරසවිය | දිනමිණ

අන්තරේට අයිති අපේ සරසවිය

හැත්තෑව හා අසූව දසකවල දී “ශිෂ්‍ය මර්දනය” යන යෙදුමට ද “ශිෂ්‍ය ව්‍යාපාරය” යන යෙදුමටද විශාල පිළිගැනීමක් තිබිණි. ශිෂ්‍ය මර්දනය හැඟුම්බර යෙදුමක් වූ අතර ජනතාව ඒ ඉදිරියේ කම්පාවට පත්වූහ. “ශිෂ්‍ය ව්‍යාපාරය” යන යෙදුමට ජනතාව කිසියම් ගෞරවයක් දැක් වූ අතර එම ව්‍යාපාරයේ නායකයන් වීරයන් හැටියට සලකන ලදී. මේ තත්ත්වය තුළ එදා ශිෂ්‍ය සටන්වලට ජනතාවගේ සහයෝගය ලැබුණු අවස්ථා ද තිබේ. අද වනවිට තත්ත්වය මුළුමනින්ම වෙනස් ය. ශිෂ්‍ය මර්දනය යන යෙදුමට අද කිසිදු වටිනාකමක් නැත. එය ප්‍රෝඩාවක් හැටියට සලකනු ලැබේ. “ශිෂ්‍ය ව්‍යාපාරය” අද හැඳින්වෙන්නේ පාතාලය හෝ ත්‍රස්තවාදය හෝ යන අර්ථයෙන් ය.

කාලයත් සමඟ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය අන්තයට ම පිරිහී ඇත. එය බාල ගණයේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට සැලැකීම ඉතා නිවැරැදි ය. රටේ ලොකු ම පාතාලය ඇත්තේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යැයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියයි. ඇමැතිවරයාගේ අදහස මහජනයා ද පිළිගන්නා බව පෙනෙයි. එදා සරසවි ශිෂ්‍ය ප්‍රජාව තුළින් ශිෂ්‍ය නායකයන් බිහි වූ අතර අද දේශපාලන පක්ෂ විසින් ශිෂ්‍ය නායකයන් තෝරා පත්කරනු ලැබේ. මේ නායකයන් සැප වාහනවලින් ගමන් කරන අතර ඔවුන්ගේ සේවය ගලායන්නේ අදාළ දේශපාලන පක්ෂ වෙත ය. අද ශිෂ්‍ය සටන් නැත. ඒ වෙනුවට දේශපාලන සටන් ඇත. අද ශිෂ්‍ය මර්දනයක් නැත. ඒ වෙනුවට ශිෂ්‍ය සටන් ඔස්සේ ආණ්ඩු මර්දනයට ගන්නා උත්සාහයක් ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරේදා දිනයේත් කොළඹ නගරය අවුල් කළේ ය. මේ අවුල මසකට වරක්වත් සිදුකිරීමට අන්තරය වග බලා ගනී. හේතු ඇතිව ද, හේතු නැතිව ද මහ පාරේ විරෝධතා පැවැත්වෙයි. ඒ සඳහා තෝරාගනු ලබන්නේ රටේ ආර්ථිකයේ හදවත වූ කොළඹ ය. පෙරේදා විරෝධතාව නිසා කොළඹ වාහන ගමනාගමනයට බාධා එල්ල විය. කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා කැරලි මර්දනය සඳහා ගත් පියවර නිසා; කොළඹට පැමිණි සියල්ලෝ ම බලවත් පීඩාවට පත්වූහ. මේ මඟින් බලවත් ආර්ථික පාඩුවක් ද සිදුවන්නට ඇත. එහෙත් ඒවා ගණනයට ලක්වන්නේ නැත. අන්තරේ සතුටට පත්වන්නේ කලබලය උත්සන්න වූ තරමට ය. ඒ අනුව ඔව්හු කලබලය උත්සන්න කොට පසුව විසිර ගිය හ.

විරෝධතාවට හේතුව ලෙස දක්වා තිබුණේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ප්‍රශ්නාවලියකි. ශිෂ්‍ය ව්‍යාපාරය කියා සිටින්නේ එම විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය මර්දනයක් ඇති බව ය. අප කළ විමසුමකට අනුව පැහැදිලි වූයේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ශිෂ්‍යයන් ගණනාවකගේ පන්ති තහනම් කර ඇති බව ය. තවත් සිසුන් පිරිසකගේ විභාග තහනම් කර ඇති බව ය. මේවාට විසැඳුම් ඇත්තේ මහ පාරේ නොව; විශ්වවිද්‍යාල තුළම ය. ශිෂ්‍ය ව්‍යාපාර විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ සාකච්ඡාවලට යන්නේ නැත. නීතිය හා සම්ප්‍රදාය රකින්නේ නැත. මහ පාරේ විරෝධතා මඟින් සියල්ල විසඳා ගැනීමේ ප්‍රයත්නයක් ඔවුන් ළඟ තිබේ. මේවා අදට ගැළපෙන්නේ නැත.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ විනය අන්තයට ම පිරිහී ඇතැ’යි කියන්නට පුළුවන. මීට දින කිහිපයකට ඉහත දී කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් එකළොස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. හේතුව කථිකාචාර්යවරුන්ගේ අධ්‍යයන කාමරවලට බලහත්කාරයෙන් කඩා වැදී දේපොළට හානි කිරීම ය. පරීක්ෂණවල දී හෙළිදරව් වී ඇත්තේ මේ ශිෂ්‍යයන් හොඳට ම බීමත් ව විශ්වවිද්‍යාල භූමියට කඩා වැදී ඉහත බලහත්කාරය සිදුකර ඇති බව ය. අනාගතයේ රට භාරගන්නට සිටින බුද්ධිමතුන් යැයි කියන අය තම ගුරුවරයාට සලකන්නේ නැත. ඔහුට ගරු කරන්නේ නැත. ඒ හැරත් ඔවුන්ගේ උපායමාර්ගය වී ඇත්තේ බලහත්කාරය යි. මේ තත්ත්වය දිගට ම පැවතුණහොත් සරසවි ශිෂ්‍යයා ත්‍රස්තවාදියකු යැයි සමාජ මතයක් ගොඩනැගෙනු ඇත.

පෙරේදා පැවැති විරෝධතාවට එරෙහි තහනම් නියෝගයක් අධිකරණය විසින් ලබා දී තිබිණි. පොලිස් නිලධාරින් එය ඉදිරිපත් කළ ද ශිෂ්‍ය නායකයන් එය තුට්ටුවකට ගණන් ගත්තේ නැත. රටේ - නීතිය අධිකරණය හා සදාචාරය මායිම් නොකරන තත්ත්වයකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඇද වැටී ඇත. මේ අයුරින් ගත් කළ අපේ අනාගතය බරපතළ ඛේදවාචකයකින් සමන්විතයැයි කියන්නට පුළුවන. පෙරේදා සටනට අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයත් එක්වී සිටියහ. එම මණ්ඩලයේ හිටපු කැඳවුම්කාර ස්වාමින් වහන්සේ ද ගැටුමෙන් තුවාල ලැබූහ. මේ විරෝධතාවේ දර්ශන නරඹන කෙනෙකුට භික්ෂුන් වහන්සේගේ විනය හා සංවරය ගැන ද තීරණයක් ගත හැකි ය. උන්වහන්සේලාගේ හැසිරීම පාතාල මැරයන්ගේ හැසිරීමට වඩා වෙනස් වූයේ නැත.

සමස්ත ක්‍රියාවලිය දෙස බලනවිට පෙනී යන්නේ සියල්ලට පළමුව විශ්වවිද්‍යාල සිසුන්ගේ විනය හා ශික්ෂණය ඇති කළ යුතු බව ය. දෙවනුව ඔවුනට ලෝකය පිළිගන්නා අධ්‍යාපනයක් ලබාදිය යුතු බව ය. විභාගවලට පෙනී සිටීම සඳහා දේශන හා අභ්‍යාස 80% ක් පූර්ණ විය යුතු බවට නීතියක් තිබේ. එහෙත් මේ නීතිය ශිෂ්‍ය ව්‍යාපාර පිළිගන්නේ නැත. පැමිණීම හා සහභාගිත්වය කුමක් වුව විභාගවලට පෙනී සිටීමේ අවස්ථාව ලබාදිය යුතු යැයි අයුක්ති සහගත තර්කයක් ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනඟා තිබේ. මෙයින් සිදුවන්නේ අපගේ උපාධිය හෑල්ලුවට ලක්වීම ය. ශිෂ්‍යයන්ගේ නීති අනුව නො ව; ගුරුවරුන්ගේ නීති අනුව පාඨමාලා හා විභාග පැවැත්විය යුතු ය. 80% ප්‍රශ්නය මූලික කොට හටගත් ගැටුමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට සිදුවිය. ශිෂ්‍ය ව්‍යාපාරය ඊට වගකිව යුතු බව අපගේ පිළිගැනීම ය.

අප දන්නා හැටියට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් බහුතරය මේ විරෝධතාවලට හෝ වර්ජනවලට හෝ එකඟ නැත. එහෙත් ශිෂ්‍ය දේශපාලනයේ බලපෑමට අනුව බහුතරයට නිහඬ වී සිටීමට කරුණු යෙදී ඇත. නවකවදය මෙන් ම විරෝධතා ද බලහත්කාරයකි. ශිෂ්‍ය ව්‍යාපාරය බලහත්කාරය නිසා උසස් අධ්‍යාපනය කඩාකප්පල් වෙයි. රටේ ඉදිරි ගමනටත් බාධා එල්ල වෙයි. මෙය නතර කළ හැකි ය. ඒ සඳහා එඩිතර හා අවංක තීන්දු තීරණ ගත යුතු ය.

 


නව අදහස දක්වන්න

Or log in with...