එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රද­ර්ශ­නය ‍මොන­රා­ග­ලදී | දිනමිණ

එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රද­ර්ශ­නය ‍මොන­රා­ග­ලදී

ව්‍යාපාර සමඟ ජනතාව නඟා සිටුවමින් ව්‍යවසායක පාරාදීසයක් බිහි කිරීමේ මාර්ගයන් පිළිබඳ සමාජය දැනුම්වත් කිරීමේ පුළුල් අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොනරාගලින් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

ඓතිහාසක වෙල්ලස්සේ ජනතාවට දිගු කලක් තිස්සේ නොලැබුණු ආර්ථික, සාමාජික හා අධ්‍යාත්මික දියුණුවක් උදාකර දීම සඳහා මේ ප්‍රදර්ශනයට සමගාමීව ගම්පෙරළිය කඩිනම් සංවර්ධන සංග්‍රාමය ක්‍රියාවට නංවන බව ද මංගල සමරවීර මහතා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව යන ප්‍රධාන කුලුනු දෙක මත සංවර්ධනය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සිදුකරන අතර, වසර 2025 දැක්ම නැතිනම් V 2025 පොහොසත් රටක් බිහිකර ගන්නා අන්දම මේ ප්‍රදර්ශනයෙන් එළිදක්වන බව ද මංගල සමරවීර මහතා පැහැදිලි කෙළේය.

මේ මස 29, 30 හා 31 තෙදින මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල අක්කර 22ක භූමිය පුරා මේ ප්‍රදර්ශනය පැවැත්වේ.

ප්‍රදර්ශනය කලාප 12 කින් යුතු වන අතර මෙහි රජයේ හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශකයන් 200 කට අධික පිරිසකගේ ප්‍රදර්ශන කුටි 515ක වෙළෙඳසල් රාශියක් පැවැත්වේ. ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වේ. දෙවැනි දින ප්‍රදර්ශනය විවෘත කරනුයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතාය. කථානායක දේශබන්ධු කරු ජයසූරිය මහතා 03වැනි ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වේ. ‍

ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රධාන රජයේ සෑම අමාත්‍යංශයක්ම, දෙපාර්තමේන්තුවක්ම මේ ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරති. ඒවා තුළින් රජය මෙතෙක් කළ වැඩ, කරන වැඩ හා වසර 2025 වන විට අවසන් කරන සංවර්ධන යෝජනා ගැන මහජනතාව දැනුම්වත් කරනු ලැබේ.

රටේ ජාතීන් අතර සමඟිය, සංහිඳියාව ගොඩනැඟීම උදෙසාත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහාත් මෙහි දී සිවිල් සමාජය දැනුම්වත් කරන ‘අහන්න’ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

මීට අමතරව ක්ෂේත්‍ර 12ක් ඔස්සේ මුළු රටේම සෑම ගමකම යටිතල පහසුකම් දියුණු කිරීමට ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ගමට පිවිසෙන මාර්ග, කුඩා වැව්, අමුණු, පාසල් සනීපාරක්ෂක, සෞඛ්‍ය, ජලසම්පාදන, විදුලිය ලබාදීම, නිවාස අලුත්වැඩියාව, ඉඩම් ඔප්පු ලබාදීම ප්‍රධාන මහජන සහභාගීත්ව සංවර්ධන වැඩ ක්‍රියාත්මක වේ.

මේ වසරේ දෙසැම්බර් 31 වැනි දින දක්වා ගමේ යටිතල පහසුකම් දියුණු කිරීමට රජය දැනටමත් රුපියල් බිලියන 32ක මුදලක් ජාතික අය-වැය මඟින් ලබා දී තිබේ.

ජයසිරි මුණසිංහ


නව අදහස දක්වන්න

Or log in with...