රටට ආදා­යම් එන මාර්ග | දිනමිණ

රටට ආදා­යම් එන මාර්ග

ලෝකයේ ඕනෑම රටක මිනිසුන්ගේ ආදායම තත්ත්වය එම රටේ ආර්ථික තත්ත්වය මැන බැලීමෙහිලා ප්‍රධාන බලපෑමක් එල්ල කරනු ලබයි. කුමන ක්ෂේත්‍රයක රැකියාවක නියලුණත් ලබන ආදායම තත්ත්වය රටක සංවර්ධනය සඳහා සෘජු බලපෑමක් එල්ල කරන බව බොහෝ විශ්ලේෂකයින් තම ගවේෂණයන් මඟින් සොයා බලා තිබේ. පහත දැක්වෙන්නේ Ò ලංකාවට ආදායම් ලබා ගත හැකි මාර්ග Ò පිළිබඳව විද්වත් සටහනකි.

ආදායම යනු තමන් සතු නිෂ්පාදන සාධකයක් , දැනුමක්, හෝ තාක්ෂණය උපයෝගී කොට ගෙන සතිපතා, මාස්පතා, හෝ වාර්ෂිකව මුල්‍ය හෝ මූර්ත ස්වරූපයන්ගෙන් ලැබීමකි. මෙහි දී පුද්ගලයෙක් ආයතනයක් හෝ රටක් සතුව පවතින භූමිය, ශ්‍රමය,ප්‍රාග්ධනය හෝ ව්‍යවසාහකත්වය වැනි සම්පත් සැපයීම සිදු වේ. ඒවාට අමතරව වර්තමාන ලෝකයේ දී තොරතුරු තාක්ෂණය, බුද්ධිමය දේපළ, පර්යේෂණ සේවාවන් අඛණ්ඩව ලබා දීම මගින් ද ආදායමක් ලබා ගත හැකි ය.

රටකට ලැබෙන ආදායම , දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි ය. මෙහි දී දේශීය ආදායම යනු රටක, මහජනතාව, හා නිෂ්පාදන ආයතන උපයා ගනු ලබන වැටුප්, පොලී , කුලී හා ලාභ යන මුලාශ්‍රවලින් සමන්විත වන්නකි. එහෙත් රජය ගත් කළ දේශීය වශයෙන් , ආදායම රැස් කළ හැකි විවිධ ක්‍රම පවතී. රජයකට එ රටෙහි වෙසෙන ජනයාගෙන් හා ව්‍යාපාරවලින් , ආදායම් උපයාගත හැකි මාර්ග කොටස් 03 කට බෙදිය හැකි ය.

1- බදු පැනවීම මඟින් ආදායම් ලබා ගැනීම

2- බදු නොවන ආදායම් ලෙස රජයේ ‍සේවාවන් මහජනයාට හෝ ව්‍යාපාරවලට ලබා දීම මඟින් ආදායම් රැස් කර ගැනීම.

3- රජයක් , පෞද්ගලික අංශය මෙන් ම ව්‍යාපාර නිර්මාණය කොට ඒවායෙන් ලැබෙන ආදායම රජයට ලබා ගත හැකි ය.

මෙම ආදායම් මුලාශ්‍ර 03 න් ඕනෑම රටක රජයකට වඩාත්, පහසුවෙන් හා විශාල ප්‍රමාණයෙන් අත්කර ගත හැකි ආදායම් මුලාශ්‍ර වන්නේ බදු අය කිරීමයි.

බද්දක් යනු රජය විසින් මහජනයාට හෝ ව්‍යාපාර ආයතනවලට ආදායම, වියදම පදනම් කර ගෙන කිසියම් නිශ්චිත ප්‍රමාණයක් , රජයට ලබා ගැනීමයි. එහි දී බදු ගෙවීම , සෑම පුරවැසියකු මෙන් ම ව්‍යාපාර ආයතනයක් ම අනිවාර්යයයෙන් ම සිදු කළ යුතු බව නෛතික රාමුව තුළින් රජය ප්‍රකාශයට පත් කර‍යි. එම නිසා රජය පනවන බදු පැහැර හැරිය නොහැකි ය.ඕනෑම රටක,රජයේ මුළු ආදායමෙන් වැඩිම කොටසක් නියෝජනය වන්නේ ආදායම් බඳුයි.

සාමාන්‍යයෙන් රජය පනවන බදු සෘජු බදු හා වක්‍ර ලෙස කොටස් දෙකකට බෙදන අතර , සෘජු බද්දක් යනු ආර්ථිකයක වෙසෙන ජනතාව හෝ ක්‍රියාත්මක වන ව්‍යාපාර,ආයතනික ව්‍යුහය , යනාදිය මත , පනවනු ලබන පැහැර හැරිය නොහැකි වූත් , එහි බර වෙනත් පාර්ශවයක් වෙත විතැන් කළ නොහැකි වූත් අනිවාර්ය වූත් කියවීමකි. සාමාන්‍යයෙන් ඕනෑම රටක සෘජු බදුවල ප්‍රමාණය හා සංයුතිය වාර්ෂික අයවැය ලේඛනය මගින් වෙනස් කළ හැකි ය. වක්‍ර බද්දක් යනු කිසියම් ව්‍යාපාර ආයතනයක ආදායම, වියදම නිපදවන ඒකක සංඛ්‍යාව , නිපදවන ඒකකයක මිල, ඒවායින් ලැබෙන ලාභය , යනා දී මත පනවනු ලබන , එම බදු බර, වෙනත් කෙනෙකු හෝ පුද්ගල කණ්ඩායමක් වෙත පැවරීම සිදු කළ හැකි බද්දකි. බොහෝ සංවර්ධනය වන රටවල රජයට වැඩි පිරිවැයකින් හා ආයාසයකින් තොරව ලබා ගත හැකි වන්නේ වක්‍ර බදු වලිනි. මෙය සාමාන්‍යයෙන් , මුළු බදු ආදායමෙන් 13% -14% ක අගයක ශ්‍රී ලංකාවේ පවතී.

රජයකට, බදු නොවන ආදායම් වශයෙන් , රජය සපයන සේවාවන් මුල් කර ගෙන ආදායම් ලබා ගත හැකි ය. ඉඩම් ලියාපදිංචි කිරීම, දඩ මුදල් අය කිරීම, පරිපාලන සේවාවන් ලබා දීම , යටි තළ පහසුකම් ලබා දීම , වැනි දෑ වලින් රජයට ආදායමක් උපයා ගත හැකිය. මේවා රාජ්‍ය ආදායමේ , එතරම් සැළකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය නොකරයි. වෙළෙඳපොළ ආර්ථිකයක වානිජ පදනමින් , නොසැපයෙන භාණ්ඩ හා සේවා හෝ ජනතාවට අවශ්‍ය යැයි හැඟෙන භාණ්ඩ , රජයේ ව්‍යාපාර ආයතන ස්ථාපිත කොට , නිපදවා , ඒ තුළින් ආදායමක් ලබා ගැනීම රජයට කළ හැකි ය. විදේශීය වශයෙන් රටකට ආදායම් ලබා ගැනීම සොයා බැලීම සඳහා රටක යොවුන් ශේෂය සහ එහි අන්තර්ගත කරුණූ සොයා බැලීම සිදු වේ. කිසියම් කාල පරිච්ජේදයක් තුළ දී ( සාමාන්‍යයෙන් කාර්තුවක් හෝ වර්ෂයක් ) රටකට, විදේශයන්ට භාණ්ඩ හා සේවාවන් සැපයීම, නිෂ්පාදන සාධක ලෙස සැළකෙන , භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය විදේශයන්ට අලෙවි කිරීම මඟින් ද තාක්ෂණික ඥාණය තොරතුරු, යනාදිය වෙනත් රටකට සැපයීම මගින් ද විදේශ රටවල , සේවය කරන අයගේ ආදායම මෙරටට ගෙන්වා ගැනීම මගින් ද රජයට ආදායමක් ලබා ගත හැකි ය. මීට අමතරව විදේශීය ආයෝජන ලබා ගැනීම , ඒවායේ ව්‍යාපෘතිවල වැඩ කරන අයගේ ආදායමෙන් කොටසක් රජයට ගැනීම සිදු කළ හැකි ය.

මීට අමතරව ණය ලබා ගැනීම මඟින්ද රටකට මුදල් ලබා ගත හැකි වුව ද ඒවායේ අදායම් මුලාශ්‍ර ලෙස නොසැළකේ. ශ්‍රී ලංකාවේ විදේශ මුලාශ්‍රවලින් ලැබෙන ආදායම් ලෙස, ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි සේවය කොට , මෙරටට එවනු ලබන , ආමූක ප්‍රේෂණ වාර්ෂිකව, ඇමරිකා එක්සත් ජනපද ඩොලර්, බිලියන 5-7 ත් අතර ප්‍රමාණයක් වේ. මෙරට වැඩියෙන් ම ලබන විදේශීය ආදායම් මූලාශ්‍රය වේ. දෙවන ආදායම් මූලාශ්‍රය වන්නේ මසා නිමකළ ඇඟලුම් අපනයන කර්මාන්තය විසින් අපනයනය කොට වාර්ෂිකව උපයා ගනු ලබන ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 4-5 ත් අතර වන ආදායමයි. තුන්වන ආදායම් මූලාශ්‍රය වන්නේ තේ අපනයනය මඟින් උපයා ගනු ලබන ආදායම වුවත් මෑත වර්ෂවල දී සංචාරක ව්‍යාපාරය මගින් උපයා ගනු ලබන ආදායම ද , ඉහළ අගයක් ගනු දැකිය හැකි ය. ඊට අමතරව රබර් හා පොල් අපනයනය කිරීම මෙන් ම සුළු කෘෂි භෝග අපනයනය මඟින් ද මෙරටට ආදායම් ලැබේ.

පසුගිය වසර 70 තුළ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සැළකීමට හේතු වූයේ මෙරටේ ආදායම,රටේ ජනතාවගේ ජීවන තත්ත්වය , උසස් කිරීමට ප්‍රමාණවත් ‍නොවීමයි. දැනට වාර්ෂිකව ලබන ඒක පුද්ගල ආදායම , ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 4000 ක් පමණ වන අතර , ඒ අනුව ගණනය කළ විට , මාසිකව මෙරට වෙසෙන පුද්ගලයෙකුගේ ආදායම ( විනිමය අනුපාතය සැළකිල්ලට ගත් කළ ) රුපියල් 53,000 ක් පමණ වේ. මින් අදහස් වන්නේ මාසයකට රුපියල් 53,000 ක් නොලබන පුද්ගලයෙක් , අඩු ආදායම් ලබන පුද්ගලයෙක් ලෙස සැළකීමට සිදු වේ. මෙරට ඒක පුද්ගල ආදායම වැඩි කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගත හැකි ය.

1- රාජ්‍ය ප්‍රතිපත්ති රාමුව වෙනස් කොට , නිෂ්පාදනය වර්ධනය වීමට , අභිමුඛ වූ ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම .

2- නිෂ්පාදන කර්මාන්තය රට තුළ පුළුල් කිරීම.

3- මූල්‍ය සාක්ෂරතාවය , ලබා දීම තුළින් මෙරට ආයෝජන එලදායීකරණයට ලක් කිරීම.

4- නව ව්‍යාවසායන් ආරම්භ කොට , පෝෂණය කිරීම.

5- අධ්‍යාපනය, වෘත්තීය අභිමුඛ කිරීම.

6- මානව සම්පත් කුසලතා ප්‍රවර්ධනය කිරීම .

විදේශීය වශයෙන් ශ්‍රී ලංකාවට , වැඩි ආදායමක් අත් කර ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි ය.

1- නුපුහුණු ශ්‍රමය,පුහුණු කොට වෘත්තිකයන් විදේශයන්ට සැපයීම.

2- විදේශ ආමූක ප්‍රේෂණ , මෙරටට ලැබීමේ දී පිරිවැය අඩු කර ගැනීම හා සේවාවන් පුළුල් කිරීම.

3-අපනයන භාණ්ඩ මල්ල විවිධාංකරණය කිරීම සහ අපනයන වෙළෙඳපොළ විවිධාංකරණය කිරීම.

4- යටිතළ පහසුකම්, පුළුල් කිරීම මඟින් , දේශීය නිෂ්පාදන , ප්‍රවර්ධනය කිරීම.

5- සානුබල දිරි දීමනා , වැනි දෑ මූල්‍ය අධීක්ෂණ සේවාවන් පුළුල් කිරීම තුළින් ලබා දීම.

 මදාරා මුද­ලිගේ

 

කොළඔ විශ්ව විද්‍යා­ලයේ මූල්‍ය හා කළ­ම­ණා­ක­රණ පිඨයේ
මහා­චාර්ය
එච්.ඩී කරු­ණා­රත්න

නව අදහස දක්වන්න