ඇඟට දැනෙන තවත් වැඩක් ! | දිනමිණ

ඇඟට දැනෙන තවත් වැඩක් !

අන්තර්ජාතික වාරි කළමනාකරණ ආයතනය දක්වන අන්දමට; 2025 වන විට ලෝකයේ ජල ඉල්ලුම 45% කින් ඉහළ යයි. මුල් කාලය තුළ වාරි ජලය බහුල ලෙසින් ‍භාවිත වූයේ කෘෂිකර්මාන්තය සඳහා ය. එහෙත් අද වනවිට තත්ත්වය වෙනස් වී ඇත. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ජල ඉල්ලුමට සමාන ඉල්ලුමක් දැන් පානීය ජලය සඳහා ද රාශිභූත වී තිබේ. මීට සමගාමී ලෙස ඉස්මතු වන අනෙක් ගැටලුව වන්නේ ආහාර සුරක්ෂිතතාවයි. මෝල්තස්ගේ න්‍යායට අනුව වැඩිවන ජනගහනයට අනුව ආහාර නිෂ්පාදනයේ ප්‍රසාරණයක් ඇති කිරීම සඳහා සූක්ෂම උපායමාර්ග භාවිත කළ යුතු වේ. මේ සන්දර්භය තුළ ජලය පිළිබඳ අභියෝගයක් අපේ පාලකයින්ට තිබේ.

මේ වනවිටත් ශ්‍රී ලංකාව ජල හිඟයකට මුහුණදී සිටී. මීට දසක කිහිපයකට පෙර සී. ආර්. පානබොක්කේ වැනි පර්යේෂකයන් අනාගතය පුරෝකථනය කොට පෙන්වා දී ඇත්තේ රටේ වැව් පද්ධතිය සක්‍රීය කිරීම ගැටලුවට ඇති එකම විසැඳුම බව ය. වැව හා බැඳුණු ආර්ථිකයක් සේම, වැව හා බැඳුණු සංස්කෘතියක් ද අපට තිබිණි. එම ආර්ථිකය, සංස්කෘතිය පමණක් නොව; වැව හා ඇළ මාර්ග ද පසුගිය කාලය තුළ විනාශ විය. වියළි කලාපයේ කිසිදු වැවක් අතීතයේදී නියඟයට මුළුමනින්ම පරාද වූයේ නැත. අද සමහර වැව් වසර පුරාවට ම ඉරිතලා තිබේ. තවත් වැව් මැටි කර්මාන්තය සඳහා යොදාගනු දැකිය හැකිය. තවත් සමහර වැව් තිබූ තැනක් සොයාගැනීම ද උගහට වී ඇත.

ගෙවීගිය වසර දෙක-තුන තුළ ද පළාත් කිහිපයක දැඩි නියඟයක් පැතිර ගියේ ජන ජීවිතය අවුල් කරමින් ය. කන්න කිහිපයක් වගා කිරීමට නොහැකි වූ අතර ගොවි පවුල්වල එදිනෙදා ජීවිතය ද අභියෝගයක් බවට පත්වැ තිබිණි. මේ තත්ත්වය කෙතරම් දුරට නරක අතට හැරුණේ ද යත්; රජයට වගා පාළුව සඳහා වෙනම ආධාර දෙන්නට සිදුවිය. ජන ජීවිතය ගොඩනැඟීම සඳහා නියං ආධාර වෙනම දෙන්නට සිදුවිය. ඒ අතර පානීය ජල ප්‍රශ්නයක් ද ඇති විය. එහිම අතුරු ඵලයක් ලෙස පළාත් කිහිපයක වකුගඩු රෝගය ව්‍යාප්ත විය. ජලය පිළිබඳ අර්බුදය උග්‍රවූ අතර ඒ සඳහා කෙටිකාලීන විසැඳුම් ලබාදීමට ද, දිගුකාලීන ස්ථාවර විසැඳුම් සැපයීමට ද රජයට සිදුවිය. මෙහිදී පාලකයන් සතු වගකීම ඉතා බරපතළ ය.

වත්මන් ආණ්ඩුව රටේ ජල ගැටලුව සම්බන්ධයෙන් බලවත් උනන්දුවකින් ක්‍රියා කරන බව මුල සිටම දැකගන්නට ලැබිණි. මොරගහකන්ද ව්‍යාපෘතිය මේ තත්ත්වය සනාථ කරන කදිම සාධකයෙකි. විශේෂයෙන් රටේ ප්‍රධාන පුරවැසියා වූ ජනාධිපතිවරයා වාරි කර්මාන්තය සම්බන්ධයෙන් අතිශය සංවේදී නායකයෙකි. ඔහු වරක් කියා සිටියේ මොරගහකන්ද ව්‍යාපෘතිය තම ජීවිතයේ සිහිනයක් බව ය. එහි මංගල දියවර නිකුතුව දා ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපති පදවිය ලැබුණු දිනයට වඩා අද සතුටුදායක දිනයක් බව ය. ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ පදනම වන්නේ කෘෂිකර්මාන්තයයි. කෘෂිකර්මාන්තයේ පදනම වන‍්නේ ජලයයි. විශේෂයෙන් වාරි ජලයයි.

ආණ්ඩුවේ වාරි කර්මාන්ත වැඩසටහනේ තවත් ජයග්‍රාහී පියවරක් අද පොල්පිතිගමදී ආරම්භ වෙයි. වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස එය හඳුන්වා ඇත. මේ වැඩසටහන මූලික වශයෙන් වයඹ පළාතේ ජල ගැටලුවට විසැඳුම් සපයන දැවැන්ත ක්‍රියාවලියක් බව පෙනෙයි. මේ සඳහා වැය කරන මුළු මුදල රුපියල් කෝටි 23,000ක් බව සඳහන් ය. වයඹ පළාත යනු නියඟය හා ජල හිඟය යන සාධක දෙක මත හෙම්බත් වූ කලාපයකි. ඒ ආශ්‍රයෙන් පැන නඟින සියලු අර්බුද එහි පවතී. එහෙත් සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ උතුරුමැද පළාත හැර හොඳම වී අස්වැන්න ලබාගත හැකි කලාපය වයඹ වීම ය. පාලකයන් දීර්ඝ කාලයක සිට එය අමතක කර දමා තිබිණි.

වයඹ පළාතෙන් විශාල භූමි ප්‍රමාණයකට හිමිකම් කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. මේ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ජල අවශ්‍යතා පිරිමැසූ ප්‍රධාන සාධක දෙක වූයේ කුඩා වැව් හා එහි ඇළ මාර්ග පද්ධතියයි. අවම ලෙස ගම් දෙකකට කුඩා වැවක් බැගින්වත් තිබිණි. සෙසු පළාත්වල වැසි දියෙන් වගා කැරිණි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වූයේ කුඩා වැව් ද වැසි දියෙන් පෝෂණය වීමය. පසුගිය කාලය පුරාවට ම දේශගුණික විපර්යාස දකින්නට ලැබිණි. ඍතු නියාම නියම ලෙස ක්‍රියාත්මක වූයේ නැත. මේ අනුව වගාවන් පමණක් නොව; වැව හා ජන ජීවිතයත් අර්බුදයට ලක්විය. මීට ලබාදිය හැකි එකම විසැඳුම මහා ජලාශ ඔස්සේ වැව් පද්ධතිය සක්‍රීය කිරීම ය. එහෙත් එය පහසු කටයුත්තක් නොවේ.

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට දැදුරුඔය යෝජනා ක්‍රමය ඔස්සේ ජලය ලැබෙයි. දැන් නව ව්‍යාපෘතිය ඔස්සේ කුරුණෑගලට ජලය ලැබෙන්නේ මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ය. මේ සඳහා ඇළ මාර්ග, උමං මාර්ග හා කොන්ක්‍රීට් නළ ද යොදාගනු ල‍ැබේ. ඇළ මාර්ගවල දිග කිලෝමීටර් අනූ ගණනක් ලෙස සටහන් වී ඇත. මූලික වශයෙන් දිස්ත්‍රික්ක දෙකක කුඩා වැව් 2400ක් මේ මඟින් යළි සක්‍රීය කරනු ලැබේ. රජය කෘෂිකර්මය කෙරෙහි යම් විශ්වාසයක් තබන්නේ නම්; ඊට ලබාදිය යුතු ප්‍රධාන අනුග්‍රහය වන්නේ ජලය සම්පාදනය කිරීම යැයි කිව හැකි ය. වියළි කලාපයට ජලය සැපයිය හැකි උපාය මාර්ගය ද වැව් සක්‍රීය කිරීම වන්නේ ය.

මේ ව්‍යාපෘතිය ඔස්සේ වයඹ කලාපය තුළ අලුත් ශිෂ්ටාචාරයක් බිහිවන්නේ යැයි කිවහොත් එය ප්‍රලාපයක් නොවනු ඇත. මෙහි ජලය මුදාහැරෙනවිට යල-මහ යන කන්න දෙකම වැඩ කළ හැකි ය. අවශ්‍යතා අනුව තවත් කන්නයක් වුව වගා කළ හැකි ය. ව්‍යාපෘතියේ සැලැසුම්වලට අනුව අතිරේක භෝග වගාව, පළතුරු වගාව ව්‍යාප්ත වෙයි. වාරිමාර්ග සමඟ මහාමාර්ග දියුණු වෙයි. අලුත් කඩවීදි හා අලුත් වෙළෙඳ පොළවල් බිහිවෙයි. සත්ව පාලනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ද අලුතින් ආරම්භ වෙයි. සාකල්‍යයෙන් සලකා බලනවිට වයඹට නව ප්‍රබෝධයක් ලබාදීමට මේ වැඩසටහන සමත් වනු ඇත.

ආණ්ඩුවේ ඇඟට දැනෙන සංවර්ධනය කෝ? යැයි විපක්ෂ කණ්ඩායම් විමසති. ආණ්ඩුව ප්‍රචාරක යුද්ධයක් පටන්ගෙන නැති නමුදු නිහඬව දැවැන්ත වැඩකොටසක් කරගෙන යයි. මේ ව්‍යාපාරයෙන් ලැබෙන වතුර කුරුණෑගල ජනයාගේ ශරීරවලට වැටෙනවිට ඇඟට දැනෙන සංවර්ධනය ගැන කට ඇර කියන්නට ජනතාවට සිදු වනු ඇත.


නව අදහස දක්වන්න

Or log in with...