සීමා නිර්ණ වාර්තාව සම්මත නොවුණොත් විකල්ප ක්‍රමයක් තියෙනවා | දිනමිණ

සීමා නිර්ණ වාර්තාව සම්මත නොවුණොත් විකල්ප ක්‍රමයක් තියෙනවා

සමන්මලී ප්‍රියශාන්ති

සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකකින් සම්මත නොවුණහොත් එය ක්‍රියාත්මක කිරීමේ විකල්ප ක්‍රමයක් ද පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ඒ අනුව කථානායකවරයා විසින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බවත් එම කමිටුවේ වාර්තාව මාස දෙකක් ඇතුළත ලබා දිය යුතු අතර එම වාර්තාවෙන් සීමා නීර්ණ වාර්තාව පිළි ගත යුතු බවට තීරණය කළහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සීමා නිර්ණ වාර්තාව සම්බන්ධව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයක පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“වයඹට ජලය“ ව්‍යාපෘතිය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ග්‍රාමීය වැව් 24000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් තමයි අද ජනාධිපති ප්‍රධානත්වයෙන් ආරම්භ වන්නේ. මොරගහකන්ද කළු ගඟ යෝධ ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරූ පසු මේ ක්‍රියාත්මක කරන්නේ දෙවැනි ව්‍යාපෘතියයි. එම ප්‍රධාන සැලසුමෙහි “වයඹට ජලය“ ව්‍යාපෘතිය අඩංගු වෙලා තිබුණේ නැහැ. නමුත් වයඹ පළාතේ නොයෙක් ප්‍රදේශ නියඟයත් සමඟ විශාල පීඩනයකට පත් වුණා. නියඟයට මුහුණ දුන් අයට සහන දෙන්න විශාල මුදලක් රජයට වැය කරන්න වුණා

රජයේ සේවක වැටුප් සංශෝධන හා වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දීමට මංගල සමරවීර ඇමැතිවරයා විසින් පසුගිය දා සේවක වැටුප් කොමිසමක් පත් කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඊට අනුමැතිය ලැබුණා. ජනාධිපතිතුමා මේ වන විට ඒ කොමිසමට සාමාජිකයින් 15 දෙනකු පත් කර තිබෙනවා. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වන එස්. රනුග්ගේ මහතායි. මේ කොමිසමේ වාර්තාව මාස දෙකක් තුළ ඉදිරිපත් කරන්න කියන ඉල්ලීමක් සමඟ මෙම සාමාජිකයින් පත් කර තිබෙනවා. 2019 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී මේ ගැටලුවට පුළුල් විසඳුමක් ඒ අනුව ලබා දීමට අපි රජයක් ලෙස බලාපොරොත්තු වෙනවා. එක් එක් අංශ අරගෙන වෙනම විසඳනවාට වඩා සමස්තයක් ලෙස පුළුල් විසඳුමක් දීමේ පරමාර්ථයෙන් රජය මේ වැඩපිළිවෙළට ගියා. මේ කොමිසම හරහා හොඳ විසඳුමක් ලබා ගෙන ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ පසු එතුමා කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කරනු ලබයි.

අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විටත් සිදු වෙනවා. බලමණ්ඩල පිහිටුවීම තවත් සිදු වෙනවා. මෙවර අප පක්ෂයේ සංවත්සර උළෙල සඳහා දින කිහිපයක් යෝජනා වී තිබෙනවා. ඒ සුදුසු දිනයක් යොදා ගෙන සංවත්සරය ඉහළින් පවත්වන්නට අපි සුදානම් වෙනවා.

සීමා නිර්ණය පිළිබඳ කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. එහිදී මේ ගැන සාකච්ඡා කරලා මේ විවාදය අදම ඉවර කරනවාද කියලා තීරණයක් ගනියි. එක් එක් පක්ෂවල ඉල්ලීම අනුව තමයි ඒ තීරණය ගන්නේ. අද සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කරන නිසා එය කියවන්න බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ සීමා නිර්ණය පිළිබඳ වාර්තාව අනුමත වෙයි ද නොවෙයිද කියලා කියන්න බැහැ. නමුත් තවත් විකල්ප ක්‍රමයක් සුදානම් කර තිබෙනවා. එහිදී යෝජනා වන්නේ කතානායකතුමා අගමැති ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් පත් කළ යුතුයි. එම කොමිසම මාස දෙකක් ඇතුළත ජනාධිපතිතුමාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. ඒ වාර්තාවෙන් මේ සීමා නීර්ණ වාර්තාව පිළි ගන්නවා කියලා නිර්දේශ කළොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ විවිධ මත දරණ අය ඉන්නවා. වාසි අවාසි බලන අය ඉන්නවා. ඒ නිසා අපට කියන්න බැහැ මේකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලැබෙයි ද නැද්ද කියලා. නමුත් මේ වන විට ඊට විකල්ප ක්‍රමයක් තිබෙනවා. තුනෙන් දෙක නොලැබුණත් සීමා නිර්ණ වාර්තාව ක්‍රියාත්මක කරන්න විකල්ප ක්‍රමයක් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපගේ ස්ථාවරය වන්නේ මෙවර පළාත් සභා මැතිවරණය වගේම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවා අළුත් මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවටයි. ජනතා විමුක්ති පෙරමුණත් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි යන මතයේ ඉන්නවා. සීමා නිර්ණය වාර්තාවට එකඟවීමට කලින් මුලින්ම අපි එය කියවා බැලිය යුතුයි. සංශෝධන කළ යුතු නම් ඒවා සිදු කළ යුතුයි.

අපි කිසිම වරායක් ජපානයට දෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිම වරායක් කාටවත් දීලා නැහැ. සියලු වරායන් තිබෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකරිය යටතේයි. හම්බන්තොට වරාය බදු දීලා තිබෙනවා. ඒ වෙනුවට බිලියන 1.12 ක මුදලක් භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා. දැනට කොළඹ වරායේ පෞද්ගලික අංශයේ වැඩි කොටස් සහිතව පර්යන්ත දෙකක් ක්‍රියාත්මක වෙනවා. සී.අයි.සී.ටී පර්යන්තය හම්බන්තොට දුන්න සමාගමටම තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ 2011 දී බදු දීලා තිබුණේ. නැඟෙනහිර පර්යන්තය තමයි අද අපට තිබෙන ගැඹුරුම පර්යන්තය. අද වන විට සී.අයි.සී.ටී.එක ප්‍රමාණය ඉක්මවා තිබෙනවා. නැව් එනවා වැඩියි. ඒ නැව් අපිට නැඟෙනහිර පර්යන්තයට ගෙන්ව ගන්න පුළුවන් නම් විශාල මුදලක් අපට ලැබෙනවා. එයත් අපි කරන්න හදන්නේ ජාත්‍යන්තර ටෙන්ඩරයක් මඟිනුයි. ඒ සඳහා ද කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මා අදහස් කරනවා. මේ අනුමැතිය ඉල්ලන්නේ මිලදී ගැනීමේ වැඩපිළිවෙළට යන තුරු අපිට ලිසිං ක්‍රමයට මේවා ලබා ගන්න. ඒ අනුව මාස තුනකින් විතර මෙය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ආයෝජන තිබෙන අවස්ථාවලදී අපි ඒවා කාටවත් දෙන්න අවශ්‍ය නැහැ. අපේ මුදල්වලින අපිට සංවර්ධන කටයුතු කරන්න හැකියාව තිබෙනවා. ඒ අයෝජන මුදල ප්‍රමාණවත් නැත්නම් තමයි පෞද්ගලික හෝ හවුල්කාරී වැඩපිළිවෙළකට යන්නේ. ජපානයේ ආරක්ෂක ඇමැතිවරයා කොළඹ වරායට ඇවිත් එහි වැඩ කටයුතු බැලුවා. ජපානය අපිට කොළඹ වරායේ සංවර්ධන කටයුතුවලට විශාල මුදලක් දුන්නා. ත්‍රිකුණාමලයටත් ඔහු ගියා. එම වරාය නවීන තාක්ෂණ ක්‍රම හරහා දියුණු කරන්න ජපානය අපට ආධාර ලබා දී තිබෙනවා. ඒවා බලන්න තමයි ජපන් ආරක්ෂක ඇමැතිවරයා පැමිණියේ. ඒ සඳහා අයිතියක් ඒ අයට තිබෙනවා. ඊට අමතරව ඉන්දියානු රජය එක්ක ශ්‍රී ලංකා රජය සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව මත්තල වැඩි දියුණු කරන්න ආධාර ලබා දීමට ඉන්දියාව කැමැති වෙලා තිබෙනවා. අද ලෝකයේ පාළුම ගුවන්තොටුපළ මත්තල ලෙසයි හදුන්වන්නේ. එය පණ ගන්වලා ක්‍රියාත්මක වන තත්ත්වයට ගෙන්න පුළුවන් නම් කවුරුත් සතුටු විය යුතුයි. ඉන්දියාව ඒ සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. එය අරගෙන ඒ අයගේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් හරහා මෙයට විශාල ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

චීනයෙන් බිලියන ගණනක විශාල මුදලක් අපට ලැබෙන්නේ ණයක් ලෙස නොවේ. එය අපට ලැබෙන ත්‍යාගයක්.

ඡායාරූපය- නිරෝෂන් බටේපොල


නව අදහස දක්වන්න

Or log in with...